ගෝඨාභය රාජපක්ෂ පෙසප ලුහුබඳින්නේ ඇයි?

 

රාජපක්ෂ ආණ්ඩු විසින් කිසියම් අපැහැදිලි හේතුවක් නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එලව එලවා පහරදෙන ආකාරයක් දක්නට ලැබේ. මෙය ඇත්තෙන්ම ආරම්භ වූයේ එම පක්ෂය ජවිපෙන් කැඩී ජන අරගල ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වෙමින් සිටියදීය. පෙසප ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ලලිත් හා කුගන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදී.

2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.

මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය.

පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවිණ.

මෙම අතුරුදහන් වීම සම්බන්ධ හබයාස්කෝපුස් නඩුවේදී සාක්ෂි විමසීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවන ලද මුත්, අධිකරණ ක්‍රියාමාර්ග හරහා ඔහු එය වළක්වාගැනීමට සමත් විය. (මූලාශ්‍රය බීබීසී)

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව, ගෝඨාභයගේ අනුගාමික යයි සැලකෙන හිටපු හමුදා නායකයකු වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්නගේ අනුදැනුම මත යයි අනුමාන කළ හැකි ආකාරයකින් 2020 ජුනි 9දා පෙසපට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී තිරශ්චීන ප්‍රහාරයක් එල්ල කරන ලදී. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව පෙසප විසින් පවත්වන ලද එම සාමකාමී උද්ඝෝෂණයට එතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කළේ ඇයිද යන්න තවමත් නොවිසඳුණු ප්‍රහේලිකාවකි.

කියවන්න: පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට ඒ තරම් හයියෙන් ගැහුවේ ඇයි?

තවත් මෙවැනි ප්‍රහාර ගණනාවක්ම එල්ල කරන ලද අතර, විරෝධතාවලදී අත්අඩංගුවට ගන්නා ලද ක්‍රියාකාරිකයන් නීති විරෝධී අන්දමින් නිරෝධායනයට යොමුකිරීම හේතුවෙන් රට පුරා දැවැන්ත විරෝධයක් පැනනැගිණි.

අලුත්ම තත්වය වන්නේ එතනිනුත් එහාට ගොස්, ක්‍රියාකාරිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හරහා ඔවුන්ගේ ජීවිත කොවිඩ්-19 අවදානමට ලක්කිරීමයි. මේ වන විට බන්ධනාගාර යනු අධික තදබදයෙන් යුතු, දැඩි කොවිඩ්-19 අවදානමක් පවතින ස්ථාන වේ. නීති අපහරණය කරමින් විරෝධතාකරුවන් හා ක්‍රියාකාරිකයන් රිමාන්ඩ් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ සමාජය බියගැන්වීම බව පැහැදිලිය.

කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ පෙසප ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම අලුත්ම තත්වයයි. ඒ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබන කැඳවුම්කරු උදාර සඳරුවන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල ඇතුළු පිරිස් වෙත යවනු ලබන පහත දැක්වෙන ලිපිය ඔවුන්ට එරෙහිව අනුගමනය කරනු ලබන අලුත්ම බියවැද්දීමේ උපායමාර්ගය පෙන්වාදෙයි.

එතනින් එහාට ගිය කල, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය දියත් කිරීම සඳහා සතුරකු නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පෙනේ. දෙමළ හෝ මුස්ලිම් සමාජයන් වෙතින් සතුරකු ඉස්මතු කරගැනීම වෙනුවට සිංහල සමාජයෙන් සතුරකු සොයාගැනීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ නොඉවසිලිමත් උත්සාහය පෙන්වූ අවස්ථාවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ වෛද්‍ය නජිත් ඉන්දික ෆේස්බුක්හි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ පළකළ සටහනක් පිළිබඳ පාර්ලිමේන්තුවේ පවා කතාකිරීමට ආණ්ඩුවේ ජාතිවාදී නායකයකු වන චන්න ජයසුමන පෙළඹීමයි. සිංහල රැඩිකල් සමාජයෙන් සතුරකු ඉස්මතු කර පෙන්වීමට දරන උත්සාහය එක පැත්තකින් සිංහල ජාතිවාදයට ද, විශේෂයෙන්ම, ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ආන්තික භික්ෂු බලවේගයට ද දැඩි අභියෝගයකි.

පහත දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය යැවූ ලියුමේ අන්තර්ගතයයි.

“කොතලාවල පනතට එරෙහිව අරගලයේ ක්‍රියාකාරීව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි යන පස් දෙනා ව්‍යාජ චෝදනා නගා අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන්  බන්ධාගාර තුළ දී කොවිඩ් වසංගතයට ගොදුරු කිරීමේ උත්සාහයක් පිළිබඳ බරපතල සැකයක් මේ වන විට මතුව තිබේ.

“කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට විරෝධතාවට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් බන්ධනාගාරය තුළදී කොවිඩ් අසාදනය වූ සිව්වැන්නා කෝෂිලා හංසමාලි සහෝදරියයි.

“කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගී වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ අගෝස්තු 03 වනදා රාත්‍රියේ සිය නිවසේ සිටියදීය. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇය මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. එහිදී සිදු කළ PCR වාර්තා අනුව පැහැදිලි වූයේ ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වී නොමැති බවයි. නිරෝධායන කාලයෙන් පසු නැවත ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත රැගෙනවිත් තිබුණි. එහිදී ඇති වූ රෝගී තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම බන්ධනාගාර පාලකයන් දැනුවත් කළද නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමකට යොමු කිරීමක් සිදුව තිබුණේ නැත.

“ඒ අනුව ඇයට අවශ්‍ය අතවශ්‍ය ඖෂධ හෝ ලබාදීමට අවස්ථාවක් නොලැබිණ. ඒ අනුව පසුගිය 8 වනදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල හා දේශපාලන පක්ෂ සිදු කළ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සැප්තැම්බර් 10 වනදා ඇය PCR පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණ. සැප්තැම්බර් 12 වනදා නිකුත් වූ එහි ප්‍රතිඵල අනුව කෝෂිලා හංසමාලි සහෝදරියට කොවිඩ් 19 අසාදනය වී ඇති බව හෙළි විය. කෝෂිලා අත්අඩංගුවට පත් වන මොහොතේ කොවිඩ් අසාදිතව නොසිටි බව තහවුරු වූයේ බන්ධනාගාරය මගින්ම සිදු කළ පරීක්ෂණවලිනි. ඒ අනුව බන්ධනාගාරගත වී දින 40 කට ආසන්න වෙද්දී  සිදු කළ පරීක්ෂණවලින් කොවිඩ් අසාදනය වී ඇත්නම් එසේ අසාදනය වී ඇත්තේ අනිවාර්යෙන්ම බන්ධාගාරය තුළදීය.

“මීට පෙර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බන්ධාගාර ගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප හා චමීර කොස්වත්ත සහෝදරවරු බන්ධාගාරගත කරන විට කෝවිඩ් අසාදිතයන් නොවන බව තහවුරු විය. නමුත් ඔවුන් බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව ඔවුන්ට කොවිඩ් 19 අසාදනය විය. එම නිරෝධායන මධ්‍යස්ථායනය තුළ ඉඩකඩ පැවතියේ රැඳවියන් 80 කට පමණි. නමුත් එහි රැඳවියන් 165 ක් රඳවා තබා තිබිණ. අගෝස්තු 22 වනදා මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිටි 120 ක් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව වසන්ත, අමිල, හා චමීර ඇතුළු 80 ක් වෙත කොවිඩ් අසාදනය වී ඇති බව හඳුනාගෙන තිබිණ. එහි ප්‍රතිඵල ලැබී තිබුණේ 24 වනදා ය. නමුත් ඒ පිළිබඳ කිසිඳු දැනුම්දීමක් එම රැඳවියන් වෙත සිදුකර ඔවුන් වෙන් කර තැබීම හෝ රෝහල් ගත කිරීමක් හෝ සිදු වූයේ නැත. අවසානයේ මේ පිළිබඳ මාධ්‍ය වෙත කරුණු වාර්තා වීමත් සමඟ 26 වනදා මොවුන්ට කොවිඩ් අසාදනය වී ඇති බව පිළිගැනීමට සිදු වූ අතර ඉන් පසු වසන්ත, අමිල, චමීර තිදෙනා පමණක් කිලිනොච්චි ඉයක්කච්චි රෝහලට ඇතුලත් කෙරිණ. නමුත් සෞඛ්‍ය නිර්දේශ අනුව කොවිඩ් 19 අසාදනය වූවෙකු දින 14 ක නිරෝධායන කාලයක් ගත කළ යුතු වූවත් එම කාල සීමාව සම්පූර්ණ වීමටත් ප්‍රථම එනම් දින 11 කට පසු මොවුන් තිදෙනා නැවත කොළඹ රිමාන්ඩ් බන්ධාගාරය වෙත රැගෙන එන ලදී. එසේ රැගෙන ඒමට පෙර ඔවුන්ට Antigen හෝ PCR පරීක්ෂණ හෝ සිදු කර නොතිබිණ. නමුත්  ඔවුන් රඳවා තබා ඇත්තේ වෙන වෙනම නොව විශාල පිරිසක් සමඟ එකටය. ඒ අනුව අනෙකුත් රැඳවියන්ගේ ජීවිතද බරපතල අවදානමට ලක් කර ඇත.

“ඒ අනුව වසන්ත, අමිල, චමීර හා කෝෂිලා යන සිව් දෙනාටම කොවිඩ් අසාදනය වී ඇත්තේ බන්ධාගාරය තුළදීය. මෙම අවදානම දිගින් දිගටම අධිකරණයට පවා කරුණු වාර්තා කරද්දී එය කිසි ලෙසකින්වත් සැලකිල්ල ගැනීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු නොකළ අතර මොවුනට ඇප ලබා ගැනීම සිදු කළ නොහැකි ලෙස පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර තිබිණ. ඒ කාඩ්බෝඩ් මිනී පෙට්ටි ආකෘතියක් ගිනිතැබීම හේතුවෙන් මාර්ගයට රු.177,000 ක අලාභයක් සිදු වුයේ යයි බොරු  චෝදනා ගොනු කරමිනි. එසේම මෙම නඩුව කැඳවූ අවස්ථා දෙකකදීම මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා තිබීම හා පොදු දේපල පනත යටතේම නඩු පවරා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප ලබා දීම යන කරුණුවලින් පැහැදිලි වන්නේ මෙම සිරගත කිරීම් හිතා මතා සැලසුම් සහගතව සිදු කරන බවයි.

“මීට පෙර මොවුනට අවශ්‍ය  අතවශ්‍ය ඖෂධ හෝ ද්‍රව්‍ය ලබාදීම් පමණක් නොව නීතිඥ මහත්වරුන්ට හමුවීමට හෝ අවස්ථාව ලබා දී නොතිබිණ. කොවිඩ් අසාදනය වූ පසු ඔවුනට හෝ ඥාතීන් වෙත හෝ දැනුම්දීමට තරම් බන්ධනාගාර බලධාරීන් කටයුතු නොකෙරිණ.

“බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ වගකීම ඇත්තේ ආණ්ඩුව සතුවය. එම පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා ජීවිත ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව අසමත් නම් ඔවුන් රඳවා තබා ගැනීමට කිසිඳු අයිතියක් ආණ්ඩුවට නැත.
මෙම සිව්දෙනාට බන්ධනාගාර තුළදී කොවිඩ් අසාදනය වීම හා එම අවස්ථාවන්වලදී බන්ධාගාර බලධාරීන් කටයුතු කර ඇති ආකාරය හා අධිකරණයෙන් ඇප ලබා නොදීම යන කරුණු අනුව මොවුන් වසංගතයට ගොදුරු කර ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවට සාධාරණ සැකයක් මතුවේ. මුල් අවස්ථාවේ වසන්ත, අමිල, චමීර තිදෙනාට කොවිඩ් අසාදනය වීමෙන් පසු හෝ අනෙකුත් රැඳවියන් සම්බන්ධ  ආරක්ෂිත පියවර නොගැනීම හරහා අවසානයේ කෝෂිලා සහෝදරියද ආසාදිතයෙක් බවට පත්ව ඇත.

“මොවුන් සියලු දෙනාගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව සහ මෙම ක්‍රියාවලිය සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන මඟින් භාරගත යුතු බව දැඩි අවධාරණයෙන් යුතුව කියා සිටිමු!”

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය