වසංගතය, දෛනික විද්‍යාව හා අනාගතවාදී විද්‍යාව


 September 7, 2021 Life

අජිත් පැරකුම් ජයසිංහ

මං ඇඳිරි නීතිවලට දැඩි ලෙස විරුද්ධ කෙනෙක්. ඇඳිරි නීති ප්‍රවර්ධනය කරන වෛද්‍ය විද්‍යාවටත් මං විරුද්ධයි. මිනිසා වැනි සමාජ සත්වයෙකුට බිත්තර කටුවක් තුළ හැංගිලා කොවිඩ්-19 වැනි වසංගතයක් පරාජය කරන්නට පුළුවන්ය කියා මං විශ්වාස කරන්නෙ නැහැ.

මං පෙනී ඉඳින්නෙ මාස්ක් දාගෙන වයිරස්වලින් බේරෙන්න හදන දෛනික (day-to-day) විද්‍යාවක් වෙනුවෙන් නෙමෙයි. වයිරස් එක්ක සටන් කරන්න පුළුවන්, එහෙම සටන් කරලා වයිරසය පරාජය කරන්නට පුළුවන් හා එයට ඔරොත්තු දෙන්නට පුළුවන් මිනිසුන්ගෙ ජාන මිනිස් වර්ගයා වෙනුවෙන් ඉදිරියට ගෙන යන විද්‍යාවක් වෙනුවෙන්. ඒක දෛනික විද්‍යාවක් නෙමෙයි. අනාගතවාදී විද්‍යාවක්.

විද්‍යාව විසින් කොවිඩ්-19ට එරෙහිව සටන් කරන්නට නිර්මාණය කරගත් ප්‍රධාන මෙවලම වන එන්නත ලංකාවේ දේශපාලනීකරණය වුණා. නිලධාරීන් හා දේශපාලකයන් එන්නත සොරකම් කළා. මරණ අවම කරන්නට ඕනැ නම් ප්‍රමුඛ පදනමින් එන්නත දිය යුතුව තිබුණේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හා බහුවිධ රෝගාබාධ සහිත අයටයි. ලංකාවෙ එහෙම කළේ නැහැ. දැන් මහළු අය හා බහුවිධ රෝගාබාධ සහිත අය බුරුතු පිටින් මැරෙනවා.

එන්නත් මාත්‍රා දෙකම දුන්නත්, කොවිඩ්-19 වැළඳුණොත් මහළු, දුබල අය හා රෝගීන් වයිරසයට ගොදුරු වුණොත් ඔවුන් මැරෙන්නට ඉඩ තියෙනවා. ඉතින් එන්නත දුන්නත් මරණ අඩුවෙන්නෙ නැහැ.

කොවිඩ්-19 මරණ සංඛ්‍යාලේඛන කියන්නෙ අපව බියකරන්නට අපම හදාගෙන ඉදිරිපත් කරන දත්ත වර්ගයක්. ලංකාවෙ දවසකට මිනිසුන් කීදෙනෙකු මැරෙනවද කියන එක සම්බන්ධයෙන් හරිහමන් දත්ත අපට නැහැ. ඒ දත්ත සපයාගැනීම පහසුත් නැහැ. සමහරුන් ගෙදර මැරෙනවා. තවත් සමහරුන් මිනීමැරුම්වලට ගොදුරු වෙනවා. තවත් සමහරු සියදිවි නසාගන්නවා. රෝහල්වල මැරෙන ප්‍රමාණයකුත් ඉන්නවා. මේ මරණ රජයට වාර්තා වීම සිදුවන්නේ උපත් හා මරණ ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර්වරුන් හරහායි. එහෙම අය ලංකාවෙ ඕනැ නම් දාහක් ඇති. ඔවුන්ගේ දත්ත එක්රැස් කර ගණනය කිරීමට ක්‍රමවේදයක් සකසා ගැනීම ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.

ඒ වුණාට, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ලංකාවේ දවසකට කීදෙනෙකු මැරෙනවාද, අවුරුද්දකට කීදෙනෙකු මැරෙනවාද කියලා සොයාගන්න බැහැ. ඒකෙ තියෙන්නෙ වෙන වෙන අපභ්‍රංස. ඔය වගේ දෙපාර්තමේන්තුවක් අපි මහජන මුදලින් නඩත්තු කරන්නෙ ඔය වගේ කාටත් අවශ්‍ය සරල දත්ත හරි අපට ලබාගන්නටයි.

කොවිඩ්-19 වසංගතය ආපු හැටියෙ අපි කොවිඩ්-19 මරණ විතරක් ගණන් හදන්න ක්‍රමයක් හදාගත්තා. දැන් ඒ නිසා අපට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවන් බල බලා බයවෙන්න ලේසියි. මං නම් කියන්නෙ 75ට වැඩි වයසක අය නම් කොවිඩ්වලින් නැතත් වෙනත් හේතු මතත් ඕනැ වෙලාවක මැරෙන්නට පුළුවන්. ඒ වගේම තමයි බහුවිධ රෝගාබාධ තියෙන අයත්.

මරණය කියන්නෙ ජීවිතයෙම කොටසක්. අප හැමෝම අපේ වෙලාව ආවාම යන්න ඕනැ. ඕනෑවට වඩා පොරබදන එක තේරුමක් නැහැ. දරුණු රෝගාබාධ තියෙන අයට වේදනාවෙන් තොර මරණය තෝරාගැනීමේ හිමිකමක් හෙවත් යූතනේෂියා තිබිය යුතු බව මං කිව්වෙ කාලෙකට කලින්. විද්‍යාවෙන් අපට ලබාගත හැකි එක් උදව්වක් ඒක. මරණය වේදනාවක්. හැබැයි, විද්‍යාවට පුළුවන් ඒක සුව නින්දක් බවට පත් කරන්නත්. ඒ වෙනුවට අද විද්‍යාව කරන්නෙ ජීවිතය සම්බන්ධ පාරිභෝජනවාදී ‘පැවැත්මක්’ ප්‍රවර්ධනය කරන එක. වකුගඩු, හදවත් ආදිය පවා බද්ධ කරගෙන ජීවත් කරවන්නට උත්සාහ කරන එක. අපි මොකටද එහෙම ජීවත් වෙන්නෙ? ඇයි අපට එහෙම තත්වයකදි මරණය භාරගන්න බැරි? එහෙම භාරගැනීමේ තියෙන වරද මොකක්ද?

ජීවිතය ගැන අපේ දැක්ම අලුත් කරගන්න වසංගතය අවස්ථාවක් දෙනවා. ෆිට් නැති අය වසංගතය විසින් අරගෙන යනවා. මේ මං වුණත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මොකද? ඒ යාම විසින් අප ලෝකයට ශක්තිමත් ජාන සම්පත් ඉතිරි කරනවා. අපි ආත්මාර්ථකාමී නොවන මිනිසුන් නම්, මිනිස් වර්ගයා වෙනුවෙන් කැපවීම් කරන්නට අපට හැකිවෙන්නට ඕනැ. අපට ලැබිලා තියෙන්නෙ මේ ජීවිතේ විතරයි. මං පුනර්භවය විශ්වාස කරන්නෙ නැහැ. ඔබ බෞද්ධයකු නම් පුනර්භවය විශ්වාස කරන්න. මේ භවය හැර ගිහින් වෙනත් භවයක උපදින්නට ප්‍රාර්ථනා කරන්න. මටත් හිතෙනවා මං පුනර්භවය විශ්වාස කරන්න ඕනැ කියලා. දර්ශනය කියන්නෙත් ප්‍රැග්මැටික් විද්‍යාවක්නෙ.

වර්තමානයේ හැමෝම ප්‍රවර්ධනය කරන්නෙ වසංගතයට බයවෙන්න ඕනැ කියන කාරණයයි. මගේ ප්‍රායෝගික භාවිතාව තුළ මං මේ බයට යටත් වුණේ නැහැ. මගේ බිරිඳත් එහෙමයි. ඇය සෞඛ්‍ය සේවිකාවක්. අපි රස්සා කළා. පරිස්සමින් වුණත්, නිදහසේ කටයුතු කළා. බොහෝ අධි පරිස්සම් අතහැර දැම්මා. තවමත් අපි මේ රෝගයෙන් බේරී ඉන්නවා. හෙට කොවිඩ් හැදිලා මැරෙන්නත් පුළුවන්. හැබැයි, ජීවන විලාසය හෙටට ඔබින විදියට වෙනස් කරගන්නට අපි දැන් උත්සාහ කරමින් ඉන්නවා. අපි ෆේල් වෙන්න පුළුවන්. හැබැයි, අපි ඒ වෙනුවෙන් මත ගොඩනගනවා. ඒවා හරි ඉතුරු වෙන්නෙ නැතෑ.

අපට කොවිඩ්-19 නොහැදී ඉන්නට අපේ මානසික ශක්තියත් ඉවහල් වෙනවා. වසංගතයට බයවෙන්න එපා. ඒක හරි වැදගත්. බිය පතුරුවන අය සැක කරන්න. ඔවුන්ට වෙනත් අරමුණු තිබෙන්නට පුළුවන්. ඔවුන් නොදැන වෙනත් අරමුණු වෙනුවෙන් පාවිච්චි වෙනවා වෙන්නත් පුළුවන්.

වසංගතයට බය වෙන එකෙන් ලොකු වෙළඳපොළකට දොරටු විවර වෙනවා. මාස්ක්, සැනිටයිසර්වල සිට, ඇන්ටිජන් පරීක්ෂණ, පීසීආර්, නීරෝධායන, එන්නත් වැනි භාණ්ඩ හා සේවා රැසක් වසංගත වෙළඳපොළ තුළ තිබෙනවා. බිය ප්‍රවර්ධනය කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වෙළඳපොළත් ප්‍රවර්ධනය කරනවා.

මං යෝජනා කරන්නෙ මේකයි: අපි බිය නොවී මේ අභියෝගයට මුහුණදෙමු. වසංගතයෙන් බේරී හැකි තරම් සාමාන්‍ය පරිදි ජීවත් වෙන්නට අරගල කරමු. කොවිඩ්-19 හැදුණොත් ඒකට මුහුණදෙමු. මැරෙන්නට වුණොත් මරණය භාරගනිමු.

වැඩකරන්නට පුළුවන් අය වැඩකරමු. ඒ ශක්තියෙන් තමයි අපට අපේ දුර්වල සහෝදර ජනයා රැකගන්නට වුණත් පුළුවන් වෙන්නෙ. ලංකාවට අදාළව නම්, අපි අපේ ආර්ථික ශක්තිය රැකගන්නට ඕනැ. එහෙම කළොත් තමයි, එන්නත්, බෙහෙත් හරි අපට සපයාගන්නට හැකිවෙන්නෙ. නිරෝගීකම පවත්වාගන්නට අවශ්‍ය ආහාර ටික සපයාගන්නට හැකිවෙන්නෙ.

අපි හදන්නට ඕනැ වයිරස්වලට ඔරොත්තු දෙන මිනිස් ප්‍රජාවක්. සොබාදහම අපට අවස්ථාවක් දීලා තියෙනවා පසුගිය සියවසක අපේ ‘දියුණුව’ ගැන නැවත සිතාබලන්න. වෛද්‍ය විද්‍යාවෙන් අප ලබාගත් දියුණුව සැබෑ දියුණුවක්ද?

වසංගතය විසින් අපට දුන් අවස්ථාව අපි පූර්ණව පාවිච්චි කරනවාද? නැතිනම් තාවකාලික පැලැස්තර දාලා ඊළඟ විනාශය වෙනකල් සතුටෙන් ඉන්නවාද?

ඔය ඇඳිරි නීති, ලොක්ඩවුන්, නිරෝධායන, එන්නත්, මාස්ක් පැළඳීම්, සැනිටයිසර් අසීමිතව ප්‍රවර්ධනය කරන විද්‍යාවයි මගේ විද්‍යාවයි අතර වෙනස ඒකයි.

මං ඒවා ප්‍රතික්ෂේප කරන කෙනෙකු නෙමෙයි. හේතුව, අපි හැමෝම පසුගිය සියවසක හෝ ඊට වැඩි කාලයක වෛද්‍ය විද්‍යාවේ දියුණුව මත පදනම් වුණ ජීවීන්. ඒ නිසා අපට පහසුවෙන් ආපසු සොබාදහම කරා යන්න බැහැ. ඒ නිසා දෛනික විද්‍යාව අපට වැදගත් වෙනවා. හැබැයි, සැබෑ විද්‍යාව තියෙන්නෙ ඒ දෛනික විද්‍යාවට එපිටින්.

මුල් ඡායාරූපය Some birds can’t fly චිත්‍රපටයෙන්

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය