දැවෙන විහඟුන්: සිනමාව රූප සෞන්දර්යය පමණක්ද?


 September 21, 2021 Cinema

අජිත් පැරකුම් ජයසිංහ

ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන් මතුගම ජානකී සිනමා ශාලාවේ ටිකට් අරගෙන බලන්නට උත්සාහ කළත්, සෙනග මදි බව කියා විනාඩි පහකින් දර්ශනය නැවැත්තුවා. ඉන් පසු, චිත්‍රපටය බලන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊයේ සිනමාවර්ල්ඩ් චැනල් එකේ දැවෙන විහඟුන් පෙන්නුවා. ඒ නිසා බැලුවා.

දැවෙන විහඟුන් ගැන මගේ කැමැත්ත අනුව මං සටහනක් දැම්මා එය දුර්වල චිත්‍රපටයක්ය කියලා. ඒක මගේ විනිශ්චය. විනිශ්චය කියන්නෙ තෝරාගැනීමක්නෙ. ඒ නිසා ඒක පෞද්ගලිකයි. අසාධාරණ ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්.

දැවෙන විහඟුන් ජාත්‍යන්තර සම්මාන ලද චිත්‍රපටයක්. ඒ නිසා මා එය දුර්වල චිත්‍රපටයක්ය කියනවා නම්, මා එය පැහැදිලි කළ යුතුයි. දුර්වල චිත්‍රපටයක් නම් එයට සම්මාන ලැබුණේ කොහොමද?

දැවෙන විහඟුන් දෙස සුබවාදී ඇසකින් බලනවා නම් එය රූප කාව්‍යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි සෑම රූප රාමුවක්ම, දර්ශනයක්ම මනාව සැලසුම් කර, සංවිධානය කර, සංරචණය, වර්ණ, ගැඹුර ආදී සියල්ල ඉතා නිර්මාණශීලී ලෙස අපේ ඇසට ඉදිරිපත් කරනවා. රූපය ගැන අධ්‍යක්ෂවරයාගේ සිතීමට අනුව නළු නිළියන්ගේ ඇඳුම් ආයිත්තම් පවා සකසා තිබෙනවා. ඒත්, චිත්‍රපටයක් කියන්නේ එවැනි දර්ශනීය දර්ශන එකතුවක්ද? සිනමාව කියන්නේ රූපය පමණක්ද?

සිනමාව සිනමාත්මක විය යුතු බව ඇත්ත. සිනමාත්මකභාවය යයි කියන්නේ හුදු රූපය පමණක්ද? නැහැ. සිනමාව කියන්නේම දෘෂ්‍ය මෙන්ම ශ්‍රව්‍ය මාධ්‍යයක්. ඒ වගේම සිනමා කලාවේ තවත් වැදගත් අංශ රැසක් තිබෙනවා. කතාව, තිර රචනය, රංග වින්‍යාසය, රංගනය, කලා අධ්‍යක්ෂණය ආදී අංශ රැසක් එයට අයත් වෙනවා. සිනමා නිර්මාණයක සමස්ත ගුණය නිර්ණය වෙන්නේ මේ සියල්ල සමග ඉදිරිපත් වන ප්‍රකාශනයෙන්. ප්‍රකාශනය කියන්නේ පණිවුඩය නෙමෙයි. කලා නිර්මාණයක් පණිවුඩයක් දෙන්නට අවශ්‍ය නැහැ.


දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රකාශනය ගැන කතාකරන්නට කලින් එහි අධ්‍යක්ෂ භූමිකාව ගැන කතාකළ යුතුයි. එයට තිර රචනයත් අදාළ වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රූප රාමුව ඇතුළේ සියලු චලනයනුත් දැඩි පාලනයකට යටත් කරනවා. එහි රංග වින්‍යාසය සමස්තයක් ලෙස ගත් විට අධ්‍යක්ෂවරයාගේ පාලනය තුළ නිසල කළ කෘත්‍රිම රංගනයක්. ළමයින්ගේ රංගනයේදී මෙය හොඳින් කැපීපෙනෙනවා. ප්‍රධාන චරිතය රඟන අනෝමා ජනාදරී දක්වාම අධ්‍යක්ෂවරයාගේ නළු නිළියන් මෙහෙයවීම තුළ නිර්මාණය වන්නේ කෘත්‍රිම රංගනයන්.

එයට හේතුව තිබෙන්නේ චිත්‍රපටයේ කතාව හා තිර රචනය තුළයි. එහි කතාව ඉතාම දුර්වල එකක්. ඒ වගේම තිරනාටකයේ නාටකීයභාවය ඉතා අඩුයි. චිත්‍රපටය 1987-90 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල කියන නිශ්චිත ඓතිහාසික සිදුවීම ස්පර්ශ කරන එකක් නිසා එහි පසුබිම, ගැටුම්, අන්තර් සබඳතා, ගතිකයන්, චලනයන් ආදිය චිත්‍රපටය විසින් ගවේෂණය කළ යුතුයි. ඝාතක කල්ලි මිනිසුන් පැහැරගෙන යන්නේ ඇයි? දරුවන් අටදෙනෙකුගේ පියකු වන දුප්පත් මාළු වෙළෙන්දකු ඝාතනයට ලක්වන්නේ ඇයි? විදුහල්පතිවරයකු ගෝනිබිල්ලකු වන්නේ ඇයි? තනිවුණ ස්ත්‍රිය ප්‍රචණ්ඩත්වයට, සමූහ දූෂණයට, ගණිකා වෘත්තියට ගොදුරුවන්නේ ඇයි? සිරෙන් නිදහස් වී පැමිණෙන ගැහැණිය විදුහල්පතිවරයා ඝාතනය කරන්නේ ඇයි? චිත්‍රපටය මේ සිදුවීම් පෙළෙහි වාර්තාකරණයක් මිස එම සිදුවීම් යටින් දිවෙන සමාජ ජීවිතයේ හා දේශපාලනයේ ගැඹුර විනිවිදින කලා නිර්මාණයක් නොවේ. ඒ කිසිවක් පිළිබඳ අධ්‍යක්ෂවරයාට අවබෝධයක් හෝ දැක්මක් ඇති බවක් චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ නැත.

එහෙයින්, දැවෙන විහඟුන්හි රූපමය සෞන්දර්යය තුළ නිර්මාණය වන්නේ ඉතා පැතලි, අජීවී, රූකඩ සංදර්ශනයකි.

ඒ අර්ථයෙන් ගත්කල චිත්‍රපටය ඇස්බැන්දුමකි. එහි රූපමය නිර්මාණශීලීත්වයේ මායා පටලයෙහි අරමුණ ලංකාව ගැන නොදත් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩල මුළාකිරීමයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක අවධානය යොමුවී තිබෙන අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනයන්, සුදු වෑන් පැහැරගැනීම් ආදිය රූප තුළට ඔබා තිබේ. එසේම, කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික ප්‍රචණ්ඩත්වය, මිනිස් ජාවාරම් වැනි ව්‍යාපෘති මාතෘකා ද මෙම චිත්‍රපටයට ඈඳා තිබේ.

මෙබඳු චිත්‍රපට නිර්මාණය කරන්නේ ලංකාවේ මිනිසුන් වෙනුවෙන් නොවේ. ඔවුන් වෙනුවෙන් සමාජ දේශපාලනික ප්‍රශ්න සංවාදයට භාජනය කිරීම, අතීතය ස්මරණීකරණය, ඉතිහාසය සංරක්ෂණය කිරීම වැනි කිසිවක් මෙවැනි චිත්‍රපටවල නැත. මේවා නිර්මාණය කරන්නේ විදේශික, සීමිත, එහෙත්, ඉතා සරුසාර, ඊනියා ප්‍රබුද්ධ වෙළඳපොළකටය. මෙම චිත්‍රපටවල සාර්ථකත්වය තිබෙන්නේ අන් කිසිදු කාරණයක් සමග නොවේ. එම නිශ්චිත වෙළඳපොළේ ගතිකයන් හඳුනාගෙන එතැනින් සම්මාන දිනාගැනීමට සමත් අති සාර්ථක අලෙවිකරණය තුළයි. එමගින් ලංකාවට ඩොලර් ගෙන එන මෙම සම්භාව්‍ය, සම්මාන සිනමාව විසින් කරන සේවය චිත්‍රපටයට සීමාවන්නේ නැත.

ලංකාව පිළිබඳ මෙවැනි නිර්මාණ මගින් ප්‍රබන්ධකරණය කරනු ලබන අර්ධ සත්‍යයෙන් සම්භාවනීය කලාකරුවන්, විචාරකයන් හා විශේෂයෙන්ම චැරිටි හෙවත් ආධාර බෙදාදෙන සංවිධානවල ඉහළ නිලධාරීන් ලබන අනුප්‍රාණය ශ්‍රී ලංකාවට තවත් ඩොලර් උල්පත් පාදන මාර්ග බවට පත්වේ. ලංකාවේ සමාජ, දේශපාලනික තත්වය, මානව හිමිකම් ආදිය පිළිබඳ මෙමගින් නිර්මාණය කරනු ලබන චිත්‍රය වාර්තාකරණ ගුණය පැත්තෙන් උසස්ය. එහි නැත්තේ කලාවය. ඒ අනුව, මෙම චිත්‍රපට කලා නිර්මාණවලට වඩා උද්දේශන ප්‍රචාරක පට ලෙස සැලකීම වඩා යෝග්‍ය යයි මම සිතමි.

කලාව තිබෙන්නේ වෙන තැනකය. අප එය සොයා යා යුතුය.

තවත් මෙවැනි චිත්‍රපටයක් පිළිබඳ සටහනක්:

සුළඟ අප කොහි රැගෙන යාවි ද?

Trailer of Burning Birds

Adapted from praja.lk

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?