මහින්ද සමග කතිරවේලු නම් වරෙන්තුකාරයෙක් ඉන්දියාවට යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගම්පහ දිස්ත්‍රීක් මන්ත්‍රී ප්‍රසන්න රණවීරට අතට අත දෙන ඡායාරූපය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවලට යන බොහෝ දේශපාලකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඇති වැඩක් නැත. දේශපාලන නායකයන් ඒවා පාවිච්චි කරන්නේ මහජන මුදලින් තම අන්තේවාසිකයන්ට ‘පිදුම්’ දෙන්නට ය. එය අලුත් දෙයක් නොවේ. අගමැති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ශූරයෙකි. ඔහු කොහොමත් මහජන මුදල් කන්නේ තමන්ගේ අතවැසියන් සමග බෙදාගෙන ය.
අප මෙහි පළකරන ඡායාරූපය බලන්න. එහි පසුබිමේ ධීවර හා ජලජ සම්පත් ඇමති ඩග්ලස් දේවානන්දා ද වෙයි. රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද මත ඉන්දීය සංචාරකයක යෙදෙන මෙම දේශපාලකයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තිබෙන බව ඔබ දන්නවා ද?
ලාංකික ‍දෙමළ සටන්කාමීන්ට ඉන්දීය රැකවරණය හා පුහුණුව ලැබුණු සමයේ 1986 වසරේ නොවැම්බර් 01දා චෙන්නයිහි චූලයිමඩුහිදී ඊලාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණට (EPRLF) එරෙහි මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා තිරුනාවුකරුසු නම් නීතිඥවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු දේවානන්දා අධිකරණය මගහැර ඉන්නා අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම අපරාධය සිදු වන සමයේ දේවානන්දා EPRLF සාමාජිකයෙකි. පසුව ඔහු එම සංවිධානයෙන් ඉවත්ව ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) පිහිටුවා ගත්තේ ය. ඔහු 1994 සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වෙමින් කැබිනට් ඇමති ධුර දැරුවේ ය.
ඉහත කී නඩුව හා සම්බන්ධව ඇප පිට නිදහස ලැබූ සෙසු විත්තිකරුවන් අටදෙනා ද අධිකරණය මගහැර සිටිති. මදුරාසි මහාධිකරණය මේ වන විට දේවානන්දාට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව අනුව ඔහුට ඇප ලබා දිය නොහැකි ය.
කෙසේ වෙතත්, මේ වන විට දේවානන්දාට එරෙහි නඩුව වෙන ම විභාග කරමින් තිබේ. 2016දී ඔහු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා අධිකරණය හමුවේ වීඩියෝ මගින් සාක්ෂි ලබාදුන්නේ ය.
1989 වසරේදී ළමයකු පැහැරගෙන ගොස් කප්පං ඉල්ලීම සහ තවත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් ද තමිල්නාඩු අධිකරණය ඉදිරියේ දේවානන්දාට එරෙහිව නඩු තිබේ. ඔහු සිටින්නේ ඒවායින් ද ඇප පිට ය.
මේ නිසා, පසුගිය කාලයේ ඔහුට ඉන්දියාවේ සංචාරය කිරීමට නොහැකි තත්වයක් තිබුණමුත්, රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාදවලට මුවා වී ඔහු මීට පෙර ද ඉන්දියාවේ නිල චාරිකා සඳහා සහභාගි වූයේ ය.
දේවානන්දාගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ක්‍රියාකාරිකයකු හා තෙල් සංස්ථාවේ සේවකයකු වූ වූ සුබ්‍රමනියම් කතිරවේලු ය. වෘත්තීය සමිති නායකයකු වූ ඔහුගේ මාමා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ පළමු සභාපති ධුරය දැරූ නිත්‍යානන්දන් ය. දේවානන්දා ඔහුගේ පෞද්ගලික සහකාර ලෙස සේවය කළේ ය. දේවානන්දාගේ සැබෑ නම කතිරවේලු දේවානන්දා වන අතර ඩග්ලස් යනු ඔහු මුලින් ම සම්බන්ධ වූ සටන්කාමී සංවිධානය වූ ඊරෝස් සංවිධානය විසින් ඔහුට ලබා දුන් නමයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා