අප්පිරිය ආණ්ඩුවක් සමග ජීවත් වීම

අජිත් පැරකුම් ජයසිංහ – ලංකා පුවත්පත සඳහා ලියන්නට පටන් ගත් අලුත් කොලම

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රියයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව දෙමළ මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුව අනුමත කළේ නැහැ. මා සිතන පරිදි, ජාතිවාදයට විරුද්ධ, ලිබරල්වාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති බොහෝ සිංහලයන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ නැහැ. මෙම සටහන තබන මා ද ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීම වැළැක්වීම සඳහා ඔහු පැරදවීමේ යම් ඉඩක් තිබුණේ යයි පෙනුණු අපේක්ෂකයකුට සහයෝගය දුන් කෙනෙක්.
දැන් බලයට පත් වී තිබෙන්නේ, හේතු කීපයක් නිසා ඉතිහාසයේ මා අකැමැති ම ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක්. මා දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ රාජ්‍යය වඩා ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙක්. එහිදී සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය වෙනුවට සියලු ජාතීන්, ආගමික ප්‍රජාවන්, කුල මෙන් ම විශේෂයෙන් ම කාන්තාවන් ඇතුළත් කරගන්නා, ඔවුන්ට සම අවස්ථා ලබා දෙන රජයක් වෙනුවෙන් තමයි මා අරගල කළේ. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළ බලවේගයෙන් බහුතරයක් දෙනා සිංහල බෞද්ධ ආධිපත්‍යය රාජ්‍යය තුළ තහවුරු කරන්නටත්, සුළුතර ප්‍රජාවන්ට තිබෙන තැන පවා අහිමි කරන්නටත් ඉල්ලා සිටිනවා. කාන්තාවන් සම්බන්ධයෙන් පවා වත්මන් ආණ්ඩුවේ සුබවාදී ආකල්ප ඇති බවක් පෙනෙන්නේ නැහැ. එය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි මූලික ආණ්ඩුවක්.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ම ද යන්න මා දන්නේ නැහැ. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ද මා ප්‍රතික්ෂේප කරනවා. එය වනාහි දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් හා එම රාජ්‍යයෙන් යැපෙන දැවැන්ත මධ්‍යම පන්තියක් මත පදනම් වූ රජයක්. එය කම්කරුවන්ට පමණක් නොව ව්‍යවසායකයන්ට ද හිතවාදී නැහැ. එවැනි රජයකට තිරසර සංවර්ධනයක් පවත්වාගෙන යන්නට බැහැ.
රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිහාසය යුදවාදීයි. මා යුද විරෝධියෙක්. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවා මානව හිමිකම් සම්බන්ධයෙන් යහපත් ඉතිහාසයක් නැහැ.
එහෙත්, ඕනෑම කෙනෙකුට, කණ්ඩායමකට වෙනස් වන්නට පුළුවන්. ඒ නිසා අපි සර්ව අසුබවාදී වෙන්නත් ඕනැ නැහැ. අඩු තරමේ ඉදිරි පස් වසරක් හෝ මෙරට පවතිනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දෙන ආණ්ඩුවක් වනු ඇතැයි යන්නයි මගේ තක්සේරුව. ඉතින් දැන් මා කළ යුත්තේ කුමක් ද? මා ද 2015 ජනවාරි 9දා “ඇයි සර්, මරල හරි ගත්තෙ (බලය) නැත්තෙ?” යන සංකේතාත්මක ප්‍රශ්නය ඇසූ හා එදා සිට 2019 නොවැම්බර් 16දා දක්වා එම ප්‍රශ්නයෙන් සංකේතවත් වන දේශපාලනයේ යෙදුණු ප්‍රජාව සේ ඉච්ඡා භංගත්වයෙන් යුතුව, කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් කටයුතු කළ යුතු ද? ආණ්ඩුව කරන සියලු දෙයට විරුද්ධ විය යුතු ද? හැකි හැම දෙයක් ම කඩාකප්පල් කළ යුතු ද? නීතියට පවා ගරු නොකළ යුතු ද?
ආණ්ඩුව කුමක් වුවත්, දිගු ඉතිහාසයක් මුළුල්ලේ පරිණාමය වන රජයක් අපට තිබෙනවා. රජය හැම විට ම පෙනී සිටින්නේ සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, සාමය වෙනුවෙන්. නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් හා ලෝකය සමග සුහද සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන්. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් පමණක් නොවෙයි බහුතර ජනතාව පවා මෙම අරමුණුවලට පටහැණිව කටයුතු කර තිබෙනවා.
එහෙත්, ආණ්ඩුව කාගේ වුවත්, රජය/ රාජ්‍යය පුරවැසියන්ගේ ය. රජය ප්‍රතිසංස්කරණ ඔස්සේ හෝ විප්ලවීය ලෙස හෝ වෙනස් කිරීමට පුරවැසියන්ට අයිතියක් තිබෙනවා. පුරවැසියා යනු නිකම් ගැහැණියක හෝ පිරිමියකු නොවේ. පුරවැසියා යනු, වගකීමකින් යුක්තව රජය, සමාජය හා තමා සමග කටයුතු කරන බුද්ධිමත් මිනිසෙකි. මා මට ද ඔබට ද යෝජනා කරන්නේ රජයට පක්ෂපාතීව පුරවැසියකු ලෙස කටයුතු කරන ලෙසයි. පුරවැසිභාවය වෙනුවෙන් දිගට ම පෙනී සිටින ලෙසයි. පුරවැසියකු ලෙස සංවාද කරන ලෙසයි.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)