2019-12-19

සිංහල බෞද්ධ රාජ්‍යයක සම්ප්‍රාප්තිය

අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15දා ලංකා පුවත්පතේ පළ විය)

පසුගිය නොවැම්බර් 16 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු විය. ප්‍රථම වරට සිංහල බෞද්ධ හෝ සිංහල හෝ ඡන්ද පදනම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ සිංහල ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් විය. පැවැත්වුණ ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශය වූ ආකාරය අනුව, සිංහල හා දෙමළ-මුස්ලිම් සමාජයන් අතර දැඩි ධ්‍රැවීකරණයක් හෙවත් දෙපසට විහිදීමක් දක්නට ලැබිණි.
Translations by Creative Content Consultants
නොවැම්බර් 16න් පසු යුගයේ තවමත් දෝංකාර දෙමින් තිබෙන්නේ මෙකී විභේදනයයි. එය දේශපාලනිකව ගත් කල සිංහල බෞද්ධ ආධිපත්‍යය නව වටයකින් ශ්‍රී ලාංකික රාජ්‍යය තුළ ස්ථාපිත කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. ශ්‍රී ලාංකික රාජ්‍යය තුළ සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය හුවා දක්වන අපගෙන් බොහෝ අය අසන ප්‍රශ්නයක් වන්නේ දෙමළ හා මුස්ලිම් ජාතිවාදයන් සම්බන්ධයෙන් අප කුමක් කියන්නේ ද යන්නයි. සරලව ගතහොත්, ලංකාවේ මහ ජාතිවාදය හා සුළු ජාතිවාදයන් යනු එකම කාසියේ දෙපැත්තයි. ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක පෝෂණය කරගනිමින්, එකිනෙක මත යැපෙමින් පවතී. බලයට කෑදර දේශපාලකයන් අත මෙම ජාතිවාදයන් හැමදාමත් සුරතල් වෙමින් තිබේ.
එහෙත් සුළුතර ජාතිවාදය නොවන වෙනත් සාධාරණ ඉල්ලීමක් දෙමළ හා මුස්ලිම් ජනතාව විසින් සියවසකට ආසන්න කාලයක් තිස්සේ මතුකරමින් තිබේ. ඒ වනාහි ශ්‍රී ලංකා රාජ්‍යය සියලු ජාතීන් ඇතුළත් කරගන්නා පරිදි ප්‍රජාතාන්ත්‍රික ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ ඉල්ලීමයි. පනහට පනහ ඉල්ලීමේ සිට තිම්පු මූලධර්ම දක්වා දෙමළ ඉල්ලීම් තුළ ද ඔලුවිල් ප්‍රකාශය දක්වා මුස්ලිම් ඉල්ලීම් තුළ ද ජාතිවාදය මෙන් ම මෙකී ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම ද ගැබ් විය.
සිංහල ජාතිවාදයට ප්‍රතිචාරාත්මකව හෝ ප්‍රතිරෝධාත්මකව හෝ දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් බලමුළුගැන්වීමෙන් ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සොයාගත නොහැකි බව මේ වන විට පැහැදිලි ය. එසේ ම, දෙමළ, මුස්ලිම් ජාතිවාදී බිල්ලකු මත භීෂණය පතුරුවමින් සිංහල බෞද්ධ ජාතිවාදය අලුත් අලුත් වටවලින් තීව්‍ර කරගැනීමෙන් ද ජාතීන්ගේ ප්‍රශ්නය තබා සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්නය හෝ විසඳෙන්නේ නැත. එහෙත්, මේ මොහොත වනාහි තව වටයක සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ලකට නැගී බැස යන්නට ඉඩ දී බලාසිටින්නට සිදු වී තිබෙන වකවානුවකි.
සිංහල බෞද්ධ ආණ්ඩුවක් යයි ශුද්ධ අර්ථයකින් හැඳින්විය හැකි පාලනයක් නිර්මාණය කරගැනීමට සිංහල බෞද්ධයන් සමත් වී තිබෙන බව අප පිළිගත යුතු ය. එය දැන් යථාර්ථයක් වී තිබේ. එබැවින් ඒ ගැන විවරණ කරන්නට පළමුව එය කුමන හැඩතල අත්පත් කරගනිමින් සිටින්නේ ද යන්න නිරීක්ෂණය කිරීම වටී.
ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ජාතිකවාදී හැඩතල පරීක්ෂාවට ලක්වන ප්‍රධාන හේතුව වන්නේ ලොව අන් සියලු රටවල් පරිද්දෙන් ම ලංකාව ද දැඩි ලෙස ගෝලීය ආර්ථිකය හා එහි නිෂ්පාදන සහ අලෙවි දාමයන් සමග සම්බන්ධව තිබීමයි. ලංකාවේ ජාතිකවාදී රාජ්‍යයක් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වන්නේ ආහාරවලින් හා බලශක්තියෙන් ස්වයංපෝෂිත නොවීම හා මිළ නිර්ණය කිරීමේදී ලංකාවට බලවත් කේවල් කිරීමේ හැකියාවක් ඇති අපනයන නිෂ්පාදන නොපැවතීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරා සිටින ප්‍රධාන කුළුණු සියල්ල ම දැඩි ලෙස පරාධීන ය. නිදසුනක් ලෙස රටේ ඉහළ ම ආදායම ලබාදෙන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකික විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේරණයි. ශ්‍රී ලංකාවට අනාගතයේදී වැඩි බලාපොරොත්තුවක් තැබිය හැකි අංශයක් වන සංචාරක කර්මාන්තය ද තනිකර ම රඳාපවතින්නේ විදේශිකයන් මත ය.
ජාතික හා ආගමික අන්තවාදයන් නිසා ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වන තත්වයට කදිම උදාහරණයක් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයට මුහුණ දෙන්නට සිදු වූ තත්වයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බොහෝ කඩාවැටී තිබුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තයට ලොකුම උත්ප්‍රේරකය වූයේ ට­වල් 40ක ධනවත් බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණ 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නයයි. එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබිණි. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් පැවසී ය.
වෙළඳ ප්‍රජාවක් වන බෝරාවරු ලංකාවේ සිටින මුස්ලිම් බහුතර ජනයා මෙන් සුන්නි මුස්ලිම්වරු නොවෙති. ඔවුහු ෂියා මුස්ලිම් ප්‍රජාවකි. ඔවුන් පිළිබඳ අධ්‍යයනයකින් තොරව ඇතැම් අන්තවාදී සංවිධාන මෙම සංචාරකයන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නට පැමිණි පිරිසක් ලෙස භීතිය වපුරමින් ඇතැම් විට ඔවුන්ට තර්ජන, හිරිහැර කිරීමට පවා ඉදිරිපත් වූ අතර, එවකට පැවති රජය එම තත්වයන් පාලනය කරගැනීමට සමත් වූයේ නැත. ඇතැම් තැන්වලදී අන්තවාදීන් ඔවුන්ට හිරිහැර, බාධා කරන ආකාරය වීඩියෝ කරගනිමින් ප්‍රචාරය කිරීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය යම් දුරකට අඩාල කිරීමට සමත් වූ හ. මෙම සමුළුවෙන් පසු ලංකාවේ සංචාරය කරන්නට සැලසුම් කර සිටි බොහෝ ධනවත් බෝරාවරු චකිතය හේතුවෙන් ඉක්මණින් ම රටින් පිට වී ගිය හ. එම දිනවල අන්තවාදීන් විසින් ප්‍රචාරය කරනු ලැබූ කරුණක් වන්නේ බෝරාවරුන් ශ්‍රී ලංකාවේ නතර වනු ඇති බවයි. ඔවුන්ගේ බොරු ඔවුන් මෙන් ම ඒවාට රැවටීමට සැදී පැහැදී සිටින පිරිස් විසින් ද නැවත පරීක්ෂා කරගන්නේ නැත. පිටරට සිට පැමිණි බෝරා ජාතිකයන් කිසිවෙකු මේ වන විට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවක් දැන් කවුරුවත් කියන්නේ නැත.
මේ වන විට ලංකාවේ ඇතැම් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට යනවිට ඉතිහාසයේ කිසිදු කලෙක නොතිබූ පරිදි ලාංකික මෙන් ම විදේශීය සංචාරක කාන්තාවන් මුළු සිරුර ම වැසෙන පරිදි රෙදි පොරවාගෙන යා යුතු තත්වයක් නිර්මාණය වී තිබේ. සංචාරක කර්මාන්තය කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන රටකට එතරම් දැඩි ආගමික පාලනයන් සමග ඉදිරියට යා නොහැකි ය.
ආයෝජකයන් ආකර්ශනය කරගැනීම, ශ්‍රී ලංකාව මුල්‍ය හා වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ආදී අනෙකුත් ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් ද රට තුළ ලිබරල් පාලනයක් හා නිදහස් සමාජයක් පැවතීම වැදගත් වේ. සුපිරි ලාභ බද්ද වැනි බදු ඉවත් කිරීමෙන් රජය බලාපොරොත්තු වන පරිදි එයින් අහිමි වන රු. බිලියන 50 මෙන් කීපගුණයක කළු සල්ලි ආර්ථිකයට පොම්ප වීම කෙරෙහි පවා රටේ පවතින නිදහස් වාතාවරණයෙහි යම් වැදගත්කමක් නැත්තේ නැත.
මේ අතර, ශ්‍රී ලංකා රජය පවතින්නේ දැවැන්ත ණය ආර්ථිකයක් මත ය. මේ ණය ගන්නට සිදු වූයේ ඇයි ද යන්න විමසිය යුතු ය. දේශපාලකයන්, ඉහළ නිලධාරීන්, රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් ඇතුළත් වන ලක්ෂ 20ක පමණ පිරිස් බලයකින් යුත් රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කිරීමට මේ ණයවලින් සැලකිය යුතු කොටසක් යෙදවිණි. තවත් සැලකිය යුතු මුදලක් වැය වන්නේ සුබසාධන ආර්ථිකය පවත්වාගෙන යන්නට ය. මේවාට සාපේක්ෂව ගත් කල ශුද්ධ දූෂණය එතරම් විශාල නැත. එය සුළුපටු එකකැයි මෙයින් අදහස් වන්නේ නැත. රජයට විදේශ ණය ලබාගන්නට සිදුවන්නේ විදේශ ණය ගෙවීමට පමණක් නොවේ. ආනයන හා අපනයට අතර ගෙවුම් ශේෂය තුලනය කරගැනීමට ශ්‍රී ලංකාව උපයන ඩොලර් ප්‍රමාණවත් නොවූ විට එය ද පියවාගත හැක්කේ විදේශ ණයවලිනි. විදේශයන්ගෙන් ණය ලබාගැනීමට නම් පළමුව රජයට ණය ආපසු ගෙවීමේ හැකියාව තිබෙන බව තහවුරු කර පෙන්විය යුතු ය. ඒ සඳහා ණය සම්බන්ධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල තත්වය ආරක්ෂා කරගත යුතු ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි රටවලින් සහන ණය ලබාදෙන්නේ රාජ්‍ය මුල්‍ය විනය අනුව ය. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සරලව කිවහොත් අන් යමක් නොවේ. රජය ආදායම් මාර්ග විධිමත් කරගැනීම හා වියදම් ඒ අනුව තුලනය කරගැනීමයි. රාජ්‍ය මුල්‍ය විනය යනු අප විසින් පවත්වාගෙන යා යුතු දෙයක් මිස වෙනත් අය බලපෑම් කළ යුතු දෙයක් නොවේ.
සිංහල බෞද්ධ රජය විසින් මේ වන විට රු. බිලියන 500කට වැඩි බදු ආදායමක් කප්පාදු කර තිබේ. ඒ සමග ම රාජ්‍ය මුල්‍ය විනය ද කප්පාදු කර ඇත. කලින් බරපතල දේශද්‍රෝහී ගිවිසුමක් ලෙස නම්ක රන ලද මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට දැන් ශ්‍රී ලංකා රජයට අවශ්‍යව ඇතිමුත්, හිටපු මුදල් ඇමති මංගල සමරවීර ට්විටර් පණිවුඩයක සටහන් කර ඇති පරිදි දැන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නව රජයේ ක්‍රියා කලාපය ගැන පරීක්ෂා කර බලා තීරණයක් ගැනීමට කල් ඉල්ලා තිබේ.
රටේ දේශපාලනය හැඩගැසෙමින් තිබෙන්නේ මෙසේ ය. රජය දැඩි විරෝධයකට ලක්වන කිසිවක් තවම සිදු වී නැත. තැන් තැන්වල මාධ්‍යකරුවන්ට පහරදීම වැනි සුළු ජවනිකා ආරම්භ වී තිබේ. ස්විස් තානාපති කාර්යාලය සම්බන්ධ පැහැරගැනීමේ සිද්ධිය මොන අතට හැරුණත් එයින් ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වේ යයි සිතිය නොහැකි ය.
මේ අතර මේ දිනවල අප වැඩිපුර ම කතා කරන උපරි ව්‍යූහ මාතෘකා අපගේ ප්‍රස්තුතය වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ නැගීම හා සම්බන්ධ ය. ඒ අතරින් ප්‍රධාන එකක් නම් තාප්පවල චිත්‍ර ඇඳීම ය. එය කෙනෙකුට බැලූ බැල්මට අහිංසක හා කලාත්මක කාර්යයක් ලෙස පෙනෙන්නට ඉඩ තිබේ. එහෙත්, එය එසේ නැත. එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් මිස කලාත්මක ප්‍රකාශනයක් ලෙස වරදවා වටහා නොගත යුතු ය. එය එක් පැත්තකින් අයුතු රංචුගැසීමකි. මෙම අයුතු ජනරාශි විසින් ආක්‍රමණය කරමින් තිබෙන්නේ සැමට ම අයත් පොදු අවකාශයි. රටක පොදු අවකාශයක චිත්‍ර නිර්මාණයක් ප්‍රදර්ශනය කිරීම බොහෝ සිතා බලා කළ යුතු දෙයකි. ඒ සම්බන්ධ නීති රීති දැනටත් ක්‍රියාත්මක ය. ඒවා සමග අනුගත නොවන්නේ නම් එය දෘෂ්‍ය දූෂණයක් බවට පත් වේ. මේ කරමින් සිටින චිත්‍රකර්මය හැඳින්විය හැකි යෙදුම දෘෂ්‍ය දූෂණයයි (visual pollution).
මෙම රූපසටහන් අතරින් ඇතැම් ඒවා දැඩි ලෙස සිංහල ජාතිවාදී අර්ථ සහිත ය. උදාහරණයක් ලෙස, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී පාන ලද ප්‍රචණ්ඩ අභිනයට පසු ඔහු විසින් පෙන්වන ලද දේශප්‍රේමිත්වය සංකේතවත් කරන සිංහ කොඩියට ඇඟිල්ල දිගුකිරීමේ දෙවන අභිනය මෙම චිත්‍ර කර්මාන්තයේ ජනප්‍රිය සංකේතයකි. මේ වන විට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් නීති විරෝධී ක්‍රියාවක් බවට තීන්දු කර දඬුවමට ලක් කර තිබෙන එම ක්‍රියාව ම වර්තමාන සිංහල දේශප්‍රේමිත්වයේ බොළඳකම ප්‍රදර්ශනය කරයි. සරලව කියන්නේ නම් රට ජාතිය වෙනුවෙන් බෙලි කැපීම කපන්නට සිදු වුවහොත් එය කළ යුතු ය. ඒ ගැන දේශපාලනිකව මිස මානව හිමිකම් මත පදනම්ව කටයුතු කිරීමට බැරි අවස්ථාවන් යෙදෙන්නට පුළුවන. දේශපාලනයේ හැටි එසේ ය. එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු එය ගැන ප්‍රසිද්ධියේ කයිවාරු ගැසීම නොවේ.