2019-11-29

අලුත් ජනාධිපති යටතේ අලුත් ගමනක ආරම්භය ගැන නිරීක්ෂණ

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 29 අනිද්දා පුවත්පතේ ද පළ වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. මෙම සටහන තබන අද දින ඔහු සිය පළමු නිල විදේශ චාරිකාව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග ඔහුගේ සාකච්ඡා හා සම්බන්ධතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතිශය වැදගත් ය. ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඔහුගේ පාලනය විසින් සලකුණු කර තිබෙන ලක්ෂණ කිහිපයක් අධ්‍යයනය කර බැලීම මෙම සටහනේ අරමුණයි.
ගෝඨාභය රාජපක්ෂ පාලනය යනු රාජපක්ෂ පවුලේ ප්‍රධාන බලවේග දෙකක් අතර බලතුලනයක් ලෙස සැලකිය හැකි ය. එම බලවේග දෙක නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අතර බල තුලනයයි. මෙම පුද්ගලයන් දෙදෙනා විසින් ඉතා පැහැදිලි දේශපාලන ධාරාවන් දෙකක් නියෝජනය කරන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනප්‍රියවාදී නායකයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනප්‍රිය දේශපාලන චරිතයක් වුව ද ඔහු ජනප්‍රියවාදියකු යයි කිව නොහැකි ය. මෙම ලක්ෂණ මේ දෙදෙනා බාහිර සමාජයට පෙනී සිටින ශාරීරික ප්‍රතිරූපවලින් පවා පෙනේ. මහින්ද රාජපක්ෂ රූප ලාවණ්‍යයට විශාල අවධානයක් යොමු කළ අයෙකි. ඔහු අඳින ඇඳුම විසින් පවා ජාතිකවාදී සංඥාර්ථවේදවලින් බහුල ය. චර්යාවන් ආගම්වාදය දෙසට නැඹුරු ය. නූතනත්වයෙන් ඔබ්බට චලනය වන ලක්ෂණ පෙන්නුම් කරයි. ගෝඨාභය රාජපක්ෂ ඊට හාත්පසින් ම වෙනස්ව නූතනවාදී ලක්ෂණ පෙන්නුම් කරන්නෙකි. ඔහුගේ කෙස්සේ ඩයි ද, අතේ පිරිත් නූල් ද නැත. ජනාධිපති ලෙස ඔහු අඳින නිල ඇඳුම පවා බටහිර ඌරුවෙහි යම් ආසියාතික තනුකකරණයකි.

Translations
දේශපාලනික වශයෙන් ගත් කල, ගෝඨාභය රාජපක්ෂගේ හා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත් කරගන්නා ලද කැබිනට් මණ්ඩලය හා ඇමති මණ්ඩලයේ ලක්ෂණ ද සුවිශේෂ ය. එහි මෙම බලවේග දෙක අතර බල තුලනයක් දක්නට ලැබෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මහින්දගේ සුරතලෙකුට සෙස්සන් අභිබවා කැබිනට් ඇමති තනතුරු ලැබෙන්නේ ද, මීගමුව ආසනය පවා පරාජය වූ නිමල් ලන්සාට නියෝජ්‍ය ඇමති තනතුරක් ලැබෙන්නේ ද ඒ අනුව ය.
වඩා කැපීපෙනෙන වෙනස්කම් දැකිය හැක්කේ රාජ්‍ය ඇමතිවරුන් අතර ය. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ වැදගත් කරුණු ගැබ් විය. දුම්රිය අමාත්‍යංශයක වැදගත්කම පිළිබඳ ඔහු පැවසූ අදහස් පොදු ප්‍රවාහනයපිළිබඳ පසුගිය රජයේ තිබුණු අසංවේදීත්වයට පිළිතුරක් ලෙස සැලකිය හැකි ය. ඔහු දේශීය වෙදකම හා සංචාරක කර්මාන්තය පිළිබඳ එකට කතා කළේ ය. දේශීය වෙදකම ඇත්තට ම සංචාරක කර්මාන්තය සඳහා කදිම රුකුලකි. සමාජ ආරක්ෂණ අමාත්‍යංශය හා දිළිඳුකම පිටුදැකීම ගැන ද ඔහු විශේෂයෙන් කතා කළේ ය. 53දෙනෙකුගෙන් සමන්විත සමස්ත ඇමති මණ්ඩලයේ ම කාන්තාවන් සිටින්නේ එක් අයෙකු පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 0.5ක් පමණ වේ. කාන්තා ඇමති ධුරය ද පිරිනැමුවේ පිරිමියෙකුට ය. එසේ කළේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන හා ශ්‍රියානි විජේවික්‍රම නොතකා හරිමින් වීම ද විශේෂ වේ. කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පිළිබඳ ජනාධිපතිවරයා විසින් පළ කරන ලද අදහස් තුළ පවා ගැටලු තිබේ. කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු නිසා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළ බව ජනාධිපතිවරයා පැවසුවේ ය. 2005 වසරේ සිට මෙම විෂය වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් තිබුණු බව ඔහු නොදැන සිටියේ ද? නැතිනම් මෙය රෝදය අලුතෙන් සොයාගැනීමක් ද?
දෙමළ ඇමතිවරුන් දෙදෙනෙකු සිටිය ද, එක් මුස්ලිම් ඇමතිවරයකු හෝ නොමැති වීම ද මෙම ඇමති මණ්ඩලයේ විශේෂත්වයකි. එය දේශපාලන සංඥාර්ථයක් ලෙස ඉතා වැදගත් ය. පාස්කු ප්‍රහාරයට පෙර සිට ම සිංහල ජාතිවාදී බලවේග විසින් මුස්ලිම් විරෝධය බලය සඳහා පාවිච්චි කරන ලද අතර පාස්කු ප්‍රහාරයෙන් පසු එය තීව්‍ර විය. මුස්ලිම් විරෝධයෙන් බලයට පැමිණි රජය මුස්ලිම් ජනයා මේ අන්දමින් කොන් කිරීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, එය නින්දිත තත්වයකි.
මේ අතර, ආණ්ඩුව තුළ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයෙහි තරම කෙතරම් ද යත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරගනු ලැබුවේ ද චමල් රාජපක්ෂ ය. ආරක්ෂක, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන යන ඉතා වැදගත් අමාත්‍ය තනතුරු සියල්ල තිබෙන්නේ රාජපක්ෂ පවුල අතේ ය.
අමාත්‍ය ලේකම්වරුන් පත්කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් මතභේදයට තුඩු දුන් වෘත්තීය සමිතියේ නායක අනුරුද්ධ පාදෙනියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර නොදී සිටින්නට රජය තීරණය කළේ ඒ සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය හේතුවෙන් නම්, එය හොඳ තත්වයකි. ඇතැම් විට, රජය එවැනි අදහසක නොසිටියා වන්නටත් ඇත. එය හුදු මාධ්‍ය ප්‍රබන්ධයක් පමණක් වන්නට ද පුළුවන. කෙසේ වෙතත්, පාදෙනිය ඒ ගැන කිසිවක් සඳහන් නොකිරීමෙන් අදහස් වන්නේ ඔහු ද එම තනතුරට ඇල්මක් දැක්වූ බවයි.
ජනාධිපතිවරයා තමා වෙත සමීප කරගන්නා නිලධාරීන් ද වැදගත් දේශපාලන සංඥාර්ථ ලෙස සැලකිය හැකි ය. ජනාධිපති ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ කලින් විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයකු ලෙස හඳුන්වන ලද පී.බී. ජයසුන්දර ය. ඔහු ඊටත් පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැරදි අන්දමින් පෞද්ගලික අංශයට විකිණීම සම්බන්ධයෙන් වරදකරු ලෙස හඳුනාගන්නා ලද අයෙකි. ප්‍රකට නව ලිබරල්වාදියකු වූ ඔහු දැන් විමල් වීරවංශ කියන ආකාරයේ වෙනස් අයෙකු ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.
බදු වර්ග අටක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සිය පළමු කැබිනට් රැස්වීමේදී ම තීරණය කළේ ය. එම බදු වර්ග අතර ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසිකිරීම, භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද 8% දක්වා පහ. හෙළීම, විදුලි සංදේශ බද්ද 25% දක්වා පහත හෙළීම, උපයනවිට ගෙවීමේ බද්ද සඳහා අවම මාසික ආදායම රු. ලක්ෂ 2 1/2 දක්වා වැඩි කිරීම, පොලියෙන් අය කරන බද්ද මාසිකව ලක්ෂ 2 1/2ට වැඩි පොළියට පමණක් සීමා කිරීම, ඉදිකිරීමේ කර්මාන්ත බද්ද 14%කින් පහත හෙළීම ඒ අතර කැපී පෙනේ. බදු අඩු කිරීමෙන් ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට රජය ඉලක්ක කරන බව පෙනේ. එහෙත්, ඒ සමග ම රජයේ ආදායම් සමබර කරගැනීමේ අභියෝගයකට රජය මුහුණ දෙනු ඇත. ඒ වෙනුවෙන් ද වැඩපිළිවෙලක් ඇති බව පෙනේ.

Translations by Creative Content Consultants
රාජ්‍ය ආදායම් නිසි ලෙස අය කරගැනීමෙහි ලා වැදගත් ආයතන තුනක් තිබේ. ඒවා නම්, දේශීය ආදායම්, රේගු හා සුරාබදු දෙපාර්තමේන්තු ය. මෙම දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාව නැංවීම සඳහා රජයට කඩිනමින් ක්‍රියා කිරීමට සිදු වනු ඇත. සමස්ත රජයේ සේවය සම්බන්ධයෙන් ම දැඩි තීරණ ගැනීමට රජය බලාපොරොත්තු වන බව පෙනේ. 2020දී, ලක්ෂ 15ක් පමණ වන රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට රු. ට්‍රිලියනයක් (1,000,000,000,000) වැය වන බව දළ වශයෙන් ගණන් බලා තිබේ. එවැනි සංදර්භයක් තුළ රජයේ සේවකයන් තවදුරටත් සුරතල් කිරීමට රජයට කිසිසේත් ම නොහැකි ය. පසුගිය රජය ඉතා වැරදි සහගත ලෙස රජයේ සේවකයන් සුරතල් කරන ලදී. සියයට 107කින් පමණ වැටුප් වැඩි කරන ලදමුත්, කාර්යක්ෂමතාව වර්ධනය වූයේ සියයට දශම ගණනකින් විය හැකි ය. ලබන ජනවාරියේ ද රජයේ සේවකයන්ට තවත් වැටුප් වැඩිවීමක් ලබාදීමට නියමිතව තිබිණි. දැන් එය නොලැබෙන බව පෙනේ. මේ වන විට රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ද අත්හිටුවා තිබේ. මහජන මුදලින් පිටරට සවාරි ගැසූ නිලධාරීන් රටට ගෙනැවිත් ක්‍රියාවේ යෙදූ දැනුම අල්ප ය. රජයේ සේවකයන්ගේ විදේශ චාරිකා ඵලදායී අරමුණු වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය. මෙය දේශපාලකයන්ට ද අදාළ ය. පසුගිය රජය සමයේ සීමාවකින් තොරව නිලධාරීන් හා දේශපාලකයන් මහජන මුදලින් රට සවාරි ගිය හ.
පසුගිය රජය සැලකිය යුතු අන්දමින් ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට අසමත් වූ බව ඇත්තකි. රජයේ අස්ථාවරත්වයට අමතරව, විපක්ෂය විසින් ආයෝජකයන්ට කරන ලද තර්ජන, විදේශ වෙළඳ ගිවිසුම්ආදිය ඉරා දමන බවට කරන ලද ශපථ කිරීම් ආදිය මෙන් ම, දෛනික පදනමින් සිදු වූ වැඩ වර්ජන ඇතුළු කඩාකප්පල් ක්‍රියා ද මෙම තත්වයට හේතු විය. ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැටුප් විෂමතා ගැටලුව උච්ච තලයකට ගෙනැවිත් තිබිණි. වැටුප් අහිමිකිරීමක් ද හමුවේ දැන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කරනු ඇත්තේ කුමක් ද?
ජාතික ආරක්ෂාවේ නාමයෙන් මහජන ආරක්ෂක පනතේ බලතල ප්‍රකාරව හමුදාව භූමියට කැඳවීමෙහි අරුත තේරුම් ගත හැකි වන්නේ මෙම සංදර්භය තුළ ය. ඉදිරි කාලයේත් රට තුළ දෛනිකව වැඩවර්ජන පැවතීම ආණ්ඩුව අපේක්ෂා නොකරනු ඇත. වෙනත් උද්ඝෝෂණකරුවන්ට ද පාරවල් වසා, මහජනතාවට හිරිහැර වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් නැවත සිතාබලන්නට සිදු වන බව ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන සිදුවීමක් පසුගිය සතියේ සිදු විය.
රාජපක්ෂ පවුලේ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිය පවුලත් සමග පසුගිය ඉරිදා ස්විට්සර්ලන්තය බලා ගිය බව ද, ඔහු එහි දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට ඉඩ ඇති බව ද වාර්තා විය. මෙම සිද්ධියෙන් පසු, නාඳුනන පිරිසක් විසින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් පැය කීපයක් රඳවා තබාගෙන තානාපති කාර්යාලයේ අභ්‍යන්තර තොරතුරු ලබාගෙන නිදහස් කර ඇති බවට ද වාර්තාවක් පළ විය. එය ස්විට්සර්ලන්ත තානාපති අංශ විසින් ද තහවුරු කර තිබේ. කාලය සති දෙකකට අඩු වුණ ද බොහෝ දේ සිදු වී තිබේ. ශ්‍රී ලංකාව සුසමාදර්ශීය වෙනසකට ලක් වන බව අප මීට පෙර නොවැම්බර් 17න් පසු ලංකාව ගැන ලියූ ලිපියේ ද පෙන්වා දෙන ලදී. කියවන්න: