මොකක්ද මේ දෙන්නට යන සයින්දමරුදු නගර සභාව?
අජිත් පැරකුම් ජයසිංහ
අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු ප්‍රදේශය වෙත වෙන ම පළාත් පාලන ආයතනයක් ලබාදෙන්නැයි එහි ජනතාව කරනු ලබන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ පසු කරන මුල් ම කාර්යයන් අතරට ඇතුළත් වන බව බැසිල් රාජපක්ෂ පවසයි. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව ඔහු පවසයි.
ඡන්ද ලබාගැනීම සඳහා ගසන මේ හොර ගිවිසුම් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ හා උසස් කිරීමේ ලා පවතින අවිධිමත්භාවය තවත් ඉහළ නංවනු ඇත.
සයින්දමරුදු කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ මහනගර සභාවට අයිති ප්‍රදේශයක්. එම ප්‍රදේශය මුස්ලිම් බහුතර ජනගහනයක් ජීවත් වන වේගයෙන් සංවර්ධනය වන ජනාකීර්ණ නගරයක්. 1987දී කල්මුනේ මහනගර සභාව පිහිටුවීමට පෙර සයින්දමරුදු ගමට ගම් සභාවක් තිබුණා. සයින්දමරුදු මහනගර සභාවේදී තම ප්‍රදේශය නොසැලකිල්ලට ලක්වන බවයි සයින්දමරුදු මුස්ලිම් ජනයාගේ අදහස.
මා ජීවත්වන ඉද්දගොඩ ගමට ද අතීතයේදී ඉද්දගොඩ-හොරවල නමින් ගම් සභාවක් තිබිණි. අප ආපසු ගම් සභා ක්‍රමයට යනවා නම් අප ද කැමති ය. එහෙත්, පළාත් පාලන ආයතන වෙන් කිරීමේදී භූගෝලීය සාධකවලට වඩා වාර්ගික සාධක ප්‍රමුඛ වෙනවා නම් එතැන යම් ප්‍රතිපත්තිමය ගැටලුවක් තිබිය හැකි ය. පළාත් පාලන මට්ටමේදී පවා අප වාර්ගික පදනමින් වෙන් විය යුුතු ද?
ධර්ගා නගරය වෙනුවෙන් ද නව පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. ධර්ගා නගරය මිහිරිපැන්න ලෙස නම් කළ යුතු යයි කියන සිංහල අන්තාවදීහු ද සිටින සංදර්භයක් තුළ මෙවැනි නව පළාත් පාලන ආයතනයක් නම් කිරීමේ පටන් ම ගැටලු ඇති විය හැකි ය. කළ යුතු දේ කළ යුත්තේ දේශපාලන වාසි වෙනුවෙන් හදිසි තීරණ නොගෙන බොහෝ දුර දිග බලා ය.
පසුගිය පළාත් පාලන ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලියේදී සයින්දමරදු ජනතාව තමන්ට වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සිටියා. හැබැයි ලැබුණේ නැහැ. දැන් මුස්ලිම් ඡන්ද වෙනුවෙන් මෙම ඉල්ලීම ලබා දෙන බව කියන බැසිල් රාජපක්ෂලා බලයේ සිටි 2010-12 වකවානුවේ පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කළේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.එල්.එම් අතාවුල්ලායි. ඒත්, ඒ ඉල්ලීම ලැබුණේ නැහැ.
එයට විරෝධය පළ කරන්නට ප්‍රදේශයේ මුස්ලිම් ආගමික පූජකවරුන් ඇතුළු නායකයන්ගේ මග පෙන්වීමෙන් යුතුව විශේෂ වැඩසටහනක් දියත් වුණා. ඒ 2018 පළාත් පාලන මැතිවරණයේදීයි. ඒක කළේ මෙහෙමයි.
ඔවුන්ගේ සම්ප්‍රදායික පක්ෂය වන මුස්ලිම් කොංග්‍රසයෙන් තරග නො කර, සයින්දමරුදු ප්‍රදේශයේ ආගමික අනුග්‍රහයෙන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ ලකුණ වුණේ දොඩම් ගෙඩිය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ දොඩම් ගෙඩියට කල්මුනේ මහ නගර සභාවේ ආසන 41න් ආසන 9ක් හිමි වුණා. සයින්දමරුදු ප්‍රදේශයේ ඡන්ද අති බහුතරයක් දිනා ගනිමින් ආසන සියල්ල දිනා ගත්තේ ඔවුන්.
එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම කල්මුණේ නගර සභා මැතිවරණය ජය ගත්තා. එහෙත් ඔවුන්ට හිමි වුණේ ආසන 12ක් පමණයි. දෙවන තැනට පත් වුණේ අප ඉහත කී සයින්දමරුදු ස්වාධීන කණ්ඩායමයි. දෙමළ ජාතික සන්ධානය ආසන 7ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයට ද, රිෂාඩ් බදුර්දීන් නායකත්වය දෙන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 5ක් දිනා ගනිමින් හතරවන ස්ථානයට ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 3ක් දිනා ගනිමින් පස්වන ස්ථානයට ද පත් වුණා.
වාර්තා වන ආකාරයට මෙම කල්මුනේ නගර සභාවට සභාපති පත් කරන රැස්වීමට පැමිණ තිබෙන්නේ තෝරා පත් කර ගන්නා ලද සභිකයන්ගෙන් 24ක් පමණයි. එහිදී එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව ඡන්දය දී සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුත්, උප සභාපති තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානයේ අයෙකුත් පත් කරගෙන තිබෙනවා.
කල්මුනේ නගර සභාවට අයත් ප්‍රදේශය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් තිබෙනවා. කල්මුනේ උතුර දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශයක්. එහි ජනතාව වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඉල්ලා සිටිනවා.
පළාත් පාලන ආයතන පිහිටුවීමේ ලා පවතින මෙම අවිධිමත්භාවය පිළිබඳ විමර්ශනය කිරීම පිණිස 2016දී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කරන ලදී. නීතීඥ චන්දක ජයසුන්දර සභාපතිත්වය දැරූ මෙම දස පුද්ගල කමිටුව හැඳින්නවුණේ නව පළාත් පාලන ආයතන සංස්ථාපනය සහ පවත්නා පළාත් පාලන ආයතන උසස් කිරීම සඳහා නිර්ණායක නිර්දේශ කිරීමේ කමිටුව ලෙසයි.
2017දී නිකුත් වූ එම කමිටු වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2016 වසර අවසන් වන විට මෙවැනි ඉල්ලීම් 57ක් ඉදිරිපත් වී තිබෙනවා. එම කාර්යය කිරීම සඳහා නිර්ණායක මාලාවක් ද කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. ජන ඝනත්වය, නිවාස සංඛ්‍යාව, නිවාස ඝනත්වය, සේවා සහ යටිතල පහසුකම්වල දියුණුව, ආර්ථිකය සහ වානිජ ගොඩනැගිලි ආදී සාධක රැසක් එම නිර්ණායක අතර තිබෙනවා. සයින්දමරුදු ප්‍රාදේශීය සභාව පිහිටුවිය යුත්තේ ද එම නිර්ණායක අනුවයි. එහෙම නැතුව දේශපාලන වාසි ලබාගැනීම සඳහා උප්පරවැට්ටි ලෙස නෙමෙයි.
අදාළ වාර්තාව මෙතැනින්