2019-11-02

සුජිත් විල්සන්, අනාරක්ෂිත ළිං හා දියේ ගිලීම් නම් නිශ්ශබ්ද මාරයා

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 3 ලංකා පුවත්පතේ පළ වේ

මාස දෙක තුනකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ගේ පුහුණුවකට සහභාගි වෙමින් සිටියදී දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් සිහිපත් වුණා. ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත ළිං නිසා මිනිස් ජීවිත, විශේෂයෙන් ම ළමා ජීවිත රැසක් විනාශ වෙන බවයි. 2012 මැයි 20දා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ‘අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න’ නම් ග‍්‍රන්ථය ලියූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර පැවසූ පරිදි වසරකට මරණ 1000කට වඩා දියේ ගිලීම නිසා සිදුවෙනවා. එය ඩෙංගු නිසා සිදුවෙන මරණ සංඛ්‍යාවට වඩා වැඩියි. එය දෙවෙනි වන්නේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණයි. ලංකාවේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව වසරකට 2,000කට වැඩියි.
Translations by Creative Content Consultants
මුළු ලෝකයේමත්, තත්වය මෙයයි. දියේ ගිලීම තමයි හදිසි අනතුරු මරණවලට ලොව දෙවන ප්‍රධාන හේතුව. ලෝකයේ වසරකට දියේ ගිලී මියයාම් ලක්ෂ හතරක් පමණ සිදුවෙනවා. ඒවා වැඩි වශයෙන් සිදුවන්නේ පහළ සහ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත ලංකාව වැනි රටවලයි. වැඩිපුර ම මියයන්නේ ළමයින්. සාමාන්‍යයෙන් ගත් කල ලොව සෑම මිනිත්තුවකට ම ළමයකු දියේ ගිලී මිය යන්නේ යයි සැලකෙනවා. වැඩිහිටි අවධානයෙන් තොරව වතුර සමග සෙල්ලම් කළ කුඩා දරුවකු බාත් ටබ් එකක අඟල් කීපයක ජලයේ වුණත් ගිලී මිය ගිය අවස්ථා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය මෙය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සලකනවා.
පසුගිය සතියේදී ගල්ගමුව, කරඹෑව පදිංචි සප්රාජිගේ සුහයිල්කාන් නමැති අවුරුදු දෙකක් පමණ වයස දරුවා මිය ගියේ වැසි වතුර එක්‌රැස් කරගැනීමට තබා තිබූ වතුර භාජනයකට වැටී දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් බව මාධ්‍ය වාර්තා කළා.
වවුනියාව නෙඩුන්කේණි පට්ටකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ මවක් ඔක්තෝබර් 29 වැනිදා තම දරු දෙදෙනා ළිඳකට තල්ලු කර ඇය ද ළිඳට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළා. කුඩා දරුවන් දෙදෙනා මිය ගොස්, මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබුණා. එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ පෙර රිය අනතුරකින් මිය යාම නිසා ඇය විෂාධ තත්වයකින් පෙළෙන්නට ඇති. මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර තිබුණේ ජීවත් වීමට ක්‍රමයක් නැතිකම නිසා කාන්තාව සියදිවි නසාගත් බවට පූර්ව නිගමනයක් දෙමිනුයි. (සියදිවි නසාගැනීමට හේතු වහා වාර්තා කරන මාධ්‍යකරුවන් එය විෂාධය නිසා සිදු වන බව හඳුනාගන්නේ නැහැ.)
දිවයිනේ ප්‍රධාන පෙළේ පාසලක පිහිනුම් තටාකයේ ගිලීමෙන් පිහිනුම් ක්‍රීඩාවේ යෙදුණු දරුවකු ද අසාධ්‍ය තත්වයට පත් වුණා. සිළුමිණ හා රැස පුවත්පත්වල හිටපු කර්තෘ චාමර ලක්ෂාන්ගේ මරණය සිදු වුණේත් හෝටලයක නාන තටාකයක දියේ ගිලීමෙන්.
Surjeeth Wilson
තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි සුජිත් දරුවා වැටුණේ ජලය ලබාගැනීම සඳහා හාරනු ලැබ, නොවසා අත්හැර දැමූ පටු ළිඳකට ය. එයට වැඩිහිටියකු වැටෙන්නට ඉඩක් නැත. වැඩිහිටියා එහි මුල ම හිර වෙයි. එහෙත්, දරුවා මුලින් අඩි 26ක් යට සිරවුණේ ය. ඔහුගේ අත්වලට මදු දමා ඔහු බේරාගැනීමට උත්සාහ කරන අතරතුර ඔහු අඩි 88ක් දක්වා කීපවරකට පහළට වැටුණේ ය. එසේ වැටෙන අතරතුර ඔහු බරපතල තුවාල ලබන්නට ඇත.
වල තුළට යවන ලද කැමරාවලින් දරුවා පණ පිටින් සිටින බව සොයාගැනිණි. වල තුළට අඛණ්ඩව ඔක්සිජන් පොම්ප කරන ලද මුත්, එතැනින් එහාට හෑරීම සඳහා ගල් හාරන, සංකීර්ණ යන්ත්‍රයක් යොදාගැනීමට සිදු විය. මුලින් ගෙනෙන යන්ත්‍රයට පසුව ඊට වඩා ප්‍රබල යන්ත්‍රයක් ද ඉන්පසු පෞද්ගලික අංශයෙන් ඊටත් වඩා ප්‍රබල යන්ත්‍රයක් ද කුලියට ගෙන හෑරීමට සිදු විය.
අඩි 110ක් යටට වලවල් තුනක් හාරා, ඉන් පසු එමවලවල් එක වලක් ලෙස පුළුල් කර, ජීවිතාරක්ෂක භටයන් දෙදෙනා බැගින් එතැන් සිට වල දෙසට අඩි හයක් හරස් අතට හාරා සුජිත් බේරාගත යුතු විය. මෙම මෙහෙයුම සෙමින් ඉදිරියට යන අතර ප්‍රදේශයට වැසි වැටෙන්නට ද පටන් ගත්තේ ය.
සඳුදා රාත්‍රියේ මෙම දැවැන්ත මෙහෙයුම නවත්වන ලදී. ඒ වන විටත් ඔවුන් තවත් අඩි 35ක් හෑරිය යුතුව තිබිණි. දරුවා හුස්ම ගන්නා හඬ ද නොඇසෙන බව වාර්තා විය. දරුවා මියගොස් ඇති බව පසුදා නිවේදනය කරන ලදී. ශරීරය නරක් වීම ආරම්භ වී, වල තුළින් දුගඳක් හමමින් තිබිණි.
මෙවැනි සිරවීම්වලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි ඉන්දීය ආපදා කළමනාකරණ අංශ විසින් තවමත් සංවර්ධනය කර නැත. එහෙත්, මෑත වකවානුවේදී මෙවැනි ළිංවලට වැටී ජීවිත දහයක් පමණ විනාශ විය.
අවසානයේදී මෙවැනි සිරුරක් ගොඩගැනීම සඳහා තිබෙන ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි අනුව යමින් කොක්කක් යවා කැබලි වශයෙන් සිරුර ගොඩ ඇද ගන්නා ලදී. සිරුර ගොඩගැනුණේ දරුවා එහි වැටී පැය 81කට පසුවයි.
අනාරක්ෂිත ළිං ශ්‍රී ලංකාවේ ඉතා සුලබයි. මෙවැනි ළිං පෙර පාසල්, පාසල් හා ටියුෂන් පන්ති වැනි ළමයින් ගැවසෙන තැන්වල හෝ ඒ ආසන්නයේ හෝ තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි ළිං සම්බන්ධයෙන් පනතක් තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා පෙන්වා දුන්නා. එම පනත වන්නේ ළිං හා වලවල් ආඥාපනතයි. එය 1884 තරම් පැරණි කාලයේ ගෙන එන ලද පනතක්. ඒ අනුව, ඉඩමක විවෘත ළිඳක් හෝ වලක් තිබේ නම්, එය වටා අඩි දෙකහමාරක් උස තාප්පයක් හෝ නිසි ලෙස නඩත්තු කරන ලද ආරක්ෂක වැටක් ඉදි කර තිබිය යුතුයි.
මෙම ආඥා පනත අනුව දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙවැනි අනාරක්ෂිත ළිං හා වලවල් පිළිබඳ සොයාබැලීමට පරීක්ෂකවරුන් පත් කළ හැකියි. එවැනි ළිං හෝ වලවල් සම්බන්ධයෙන් ආරක්ෂක පියවර ගන්නැයි උපදෙස් දෙන්නත්, එම උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ඒවා සාදවා ඉඩමේ හිමිකරුගෙන් මුදල් අයකරගන්නටත් රජයට බලය තිබෙනවා. මෙම නීති ඉතා පැරණියි. ඒවා ක්‍රියාත්මක වීම කොයි තරම් නොසලකා හැර තිබේ ද යත්, ඒවා සංශෝධනය කරන්නට හෝ අවුරුදු සියයක් තිස්සේ ම අවධානය යොමු වී නැහැ. මෙම ආඥාපනත අනුව වරදකරුවකු වන අයෙකුට පැනවිය හැක්කේ රු. 50කට වැඩි නොවන දඩයක් හෝ මාස තුනක සිරදඬුවමක් පමණයි.
විශේෂඥ වෛද්‍ය විජය ගොඩකුඹුර සිය ලිපියේ පෙන්වා දෙන පරිදි දියේ ගිලීමට ආසන්නව සිට බේරා ගන්නා අයගෙන් දළ වශයෙන් 70%ක් සම්පූර්ණ සුවය ලබනවා. 5%කට සදාකාලික මොළයේ ආබාධ සහිතව ජීවත් වන්නට වනවා. ඉතිරි 25% මිය යනවා.
මේ පිළිබඳ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන විසින් සිය ඕපන් මයින්ඩ්ස් බ්ලොග් අඩවියේ තබන ලද සටහනක මෙසේ දැක්වෙනවා. “දියේ ගිලීමකදී පෙනහළු ජලයෙන් පිරෙනවා. එවිට රුධිරයට නිතිපතා අවශ්‍ය ඔක්සිජන් ලබා ගත නොහැකි වනවා. මොළයට යන රුධිරයේ ඔක්සිජන් අඩු වී, පළමුව සිහිය නැති වී දෙවනුව හදවත නවතිනවා.
“දියේ ගිලූණු කෙනකු ගොඩට ගත් පසු හැම තත්පරයම තීරණාත්මක නිසා රෝහලකට ගෙන යන තුරු ප‍්‍රථමාධාර දිය යුතුයි. ගොඩගත් වහා ම ගිලුණු තැනැත්තා හුස්ම ගන්නවා දැයි සොයා බලා එසේ නොකරයි නම් පෙනහළුවල ජලය ඉවත් වන්නට සළස්වා කෘත‍්‍රිම ශ්වසනය (මුඛයෙන් මුඛයට) Cardio Pulmonary Resuscitation (CPR) සහ හදවත් ස්ථම්බනය කළ යුතුයි. ජීවිතාරක්‍ෂකයෝ මෙය හොඳින් දන්නවා.
“ඔවුන් කෙනකු ළඟ නැතිනම් තරමක් දුරට හෝ ඒ ප‍්‍රථමාධාර දීමට අසල සිටින අය තැත් කළ යුතු යයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා. ඒ සඳහා මූලික ප‍්‍රථමාධාර දැනුමක් හා පුහුණුවක් තිබිය යුතුයි. මේ හැකියාව පුළුල් කිරීමෙන් වසරකට දියේ ගිලෙන ජීවිත රැසක් බේරා ගත හැකියි.
“කුඩා කාලයේදී ළමුන්ට පිහිනීමේ පුහුණුව ලබාදීම වැදගත් පියවරක්. එය අවුරුදු දෙකේදී වුවද කළ හැකියි. මෙයට පිහිනුම් තටාකම අවශ්‍ය නැති බවත්, වෙනත් නොගැඹුරු ජලාශ පවා යොදා ගත හැකි බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා. වැව් පොකුණුවල උණ බම්බු ආධාරයෙන් පිහිනුම් පුහුණුව දෙන ක‍්‍රමයක් (අපට වඩා දුප්පත්) බංගලාදේශයේ කැරෙන බව ඔහු පෙන්වා දෙනවා.”