2019-09-17

රාජ්‍ය සේවයේ හා දේශපාලනයේ යථාර්ථය හෙළිකරන කෘෂිකර්ම බිල්ඩිම

අජිත් පැරකුම් ජයසිංහ

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීම අගමැති රනිල් වික්‍රමසිංහට පැවරූ අතර, අගමැතිවරයා සාක්ෂි දෙමින් එහි වගකීම කෘෂිකර්ම ඇමති හා ජනාධිපතිවරයා වෙත පවරන ලදී.
Translations by Creative Content Consultants
සත්‍ය තත්වය වන්නේ මෙහි වගකීම කිසිදු දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු විසින් නොගැනීමයි. සෑම අයෙකු ම පවසන්නේ ගනුදෙනුවට අදාළව තමන්ගේ වගකීම නීත්‍යානුකූලව ඉටු කර තිබෙන බවයි. මෙම විමර්ශනයෙන් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ මහජන මුදල් සම්බන්ධයෙන් මේ කිසිවකු වගවීමට සූදානම් නැති බවයි.
මේ දක්වා රජය මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රු. බිලියන 2.1ක් හෙවත් රු. කෝටි 210ක් වැය කර ඇති බව හෙළි විය.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ විචක්ෂණභාවය පිළිබඳ විගණකාධිවරයා විසින් කර තිබෙන ප්‍රශ්න කිරීම් සැලකිල්ලට ගෙන නැති බව ද, කුලියට ගත් ගොඩනැගිල්ලේ ඉන්වෙන්ට්‍රියේ සඳහන් බඩු තිබේ ද යන්න පරීක්ෂා කර තිබෙන්නේ කුලියට ගෙන මාස ගණනකට පසුව බව ද, විදුලි සෝපාන දෙකෙන් එකක් අබලන් ව තිබූ බව ද, අකුණු සන්නායකය ද ක්‍රියාත්මක නොවන බවට සැකයක් තිබූ බව ද, ගිනි නිවන පද්ධතියේ ද ගැටලු තිබුණු බව ද ඒ දිනවල වාර්තා විය. ගොඩනැගිල්ල කුලියට දෙන විට එය කෘෂිකර්ම අමාත්‍යාංශයට අවශ්‍ය ප්‍රමිතියෙන් තිබී නැත. මාස ගණනක් තිස්සේ එය කුලී ගෙවමින් ම නැවත සැකසීමට සිදු විය. අලුතෙන් ම හෙළි වන කරුණු අනුව, මෙම ගොඩනැගිල්ල අයත් ඉඩම සම්බන්ධයෙන් නඩුවක් ද තිබේ. එසේම ගොඩනැගිල්ල අනවසර එකකි. නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ලැබුණු මහල් ගණන වන හත වෙනුවට එහි මහල් 10ක් ගොඩනගා තිබේ. මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමෙන් පසු එය පාවිච්චියට සුදුසු තත්වයට පත්කරන්නට තවත් රු. මිලියන 402.5ක් වැය කර තිබේ.
මෙම ගොඩනැගිල්ල ම කුලියට ගන්නැයි දේශපාලකයකු හෝ නිලධාරියකු බලපෑම් කළ බවක් හෝ එය පසුපස කොමිස් ජාවාරමක් තිබුණු බව තවම හෙළිදරව් වී නැත. එය එසේ නම්, මෙමගින් හෙළිදරව් වන කාරණය වන්නේ රාජ්‍ය අංශය කෙතරම් අකාර්යක්ෂම ද යන්නයි. වගකිවයුතු නිලධාරීන් කිසිවෙකු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකියයි ද? එසේම, ඇමතිගේ සිට අගමැති හරහා ජනාධිපති දක්වා කර තිබෙන අධීක්ෂණය, ප්‍රතිපත්ති සම්පාදනය, සපයා තිබෙන නායකත්වය කුමක් ද? දේශපාලකයන් පමණක් නොව, මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරි තන්ත්‍රය ද නම් කර ලජ්ජාවට පත් කළ යුතු ය.
මෙම ගොඩනැගිල්ලෙන් හා එහි පවත්වාගෙන යන කාර්යාලවලින් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වෙනත් ආයතනවලින් ද, පළාත් සභා නවයෙහි කෘෂිකර්ම  අමාත්‍යාංශවලින් ද, එම කෘෂිකර්ම අමාත්‍යාංශවලට අයත් ආයතනවලින් ද මේ රටේ කෘෂිකර්මාන්තයට ඇති බලපෑම කුමක් ද? කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කලක් කරමින් සිටි ප්‍රධාන කාර්යය වූයේ වී ගොවීන්ට පොහොර සහනාධාරය දීමයි. රජය පොහොර වෙනුවට ඍජුව ම මුදල් ගොවීන්ට ලබා දීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබෙන වැඩ තවත් අඩු විය.
කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා මධ්‍යස්ථාන, ව්‍යාප්ති සේවා ආදිය විසින් කාර්යක්ෂම සේවාවක් ඉටු කරයි ද? කුඹුරු ඉඩම් ගොඩකිරීම යම් දුරකට පාලනය කරන බව පෙනෙනමුත්, නාස්ති වන ඉඩම්වලින් ප්‍රයෝජනයක් ගැනේ ද? ගොවි සංවිධාන පද්ධතිය නගාසිටුවීමට හෝ සුළු වාරිමාර්ග නඩත්තු කිරීමට හෝ ප්‍රමාණවත් කාර්යභාරයක් මෙම දැවැන්ත ව්‍යූහයෙන් ඉටුවේ ද? 
විවිධ බෝග පිළිබඳ පර්යේෂණායතන ආදිය ද තිබේ. එහෙත්, ඒවායින් සේවාවන් ලබා ගැනීම සඳහා නිලධාරීන් පසුපස යමින් සෑහෙන රස්තියාදුවක් විය යුතු ය. මෙම බොහෝ ස්ථානවල රැකියා කරන ඇතැම් රජයේ සේවකයන් ඒ ස්ථානවලට සේවාදායකයන් පැමිණීම දිරිගැන්වෙන පරිදි කටයුතු කරන්නේ නැත. සාමාන්‍යයෙන් ගත් කල, මේ සේවා ස්ථාන සේවා දායකයන් සොයා යාමක් ඇත්තේ ම නැත. ඒවායේ ඇත්තේ ඉතා නිද්‍රාශීලී, අලස වාතාවරණයකි. සමස්තයක් ලෙස ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රජයේ සේවකයන් අතරින් කම්කරුවාගේ සිට ඇමති දක්වා ම අති බහුතරය තමන් ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාදවලට සරිලන මෙහෙයක් කරන්නේ නැත. මේ ආයතනවල ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන ප්‍රධාන කාර්යයන් වන්නේ විවිධ පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා විදේශගත වීම හා දේශපාලකයන් වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමයි.
කෘෂිකර්මය සම්බන්ධයෙන් පවතිනවා ය කියන මෙම රාජ්‍ය ආයතන සපයන සේවාවන් වැඩිපුර ම ලැබෙන්නේත් මහජන මුදලින් යැපීම පිණිස ම වී ගොවිතැනේ එල්ලී සිටින ග්‍රාමීය දිළින්දන්ටයි. මේ ග්‍රාමීය දිළින්දන් අඩු තරමේ දිළිඳුකමෙන් එගොඩවීමවත් සිදු වන්නේ නැත. මේ අතරවාරයේ රජයේ උපකාර බලාපොරොත්තු නොවී වෙළඳපොළ මත පදනම්ව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට මේ අමාත්‍යාංශයේ තියෙන අදාළකම මොකක් ද? පසුගිය දිනවල වට්ටක්කා ගොවීන් අමාරුවේ වැටුණු විට ඔවුන්ට අතදෙන්නට කාගිල්ස් සමාගම කළ දේවත් කරන්නට රජයට පුළුවන් වුණා ද? ගොවීන් එවැනි අමාරුවේ වැටීම්වලට ලක් වන්නෙ වෙළඳපොළ ප්‍රවණතා නිරීක්ෂණය කරමින් ඔවුන් නියාමනය කරන්නට කිසිවෙකු නැති නිසා. කෘෂිකර්ම අමාත්‍යාංශය කරනවා නම් කළ යුතු ඒ වැඩ ය. ඊටත් වඩා ක්ෂේත්‍රයට මැදිහත් වෙන්නට අවශ්‍ය නම් ඕනෑ නම් ශීතාගාර වැනි පහසුකම් පිහිටුවන්නට කටයුතු කරන්නට පුළුවන්. මා හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශෙ බිල්ඩිමට ගෙවන කුලිය නතර වෙනවා නම් මාස දෙක තුනකට සැරයක් හෝ එවැනි ශීතාගාරයක් කොහේ හරි විවෘත කරන්නට පුළුවන.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැදගත් ම සේවය අමාත්‍යාංශය පවත්වාගෙන යාමයි. එහි සේවකයන්ට වැටුප් ගෙවීමයි. නිලධාරීන්ට හා දේශපාලකයන්ට වැටුප්වලට අමතරව තවත් වරප්‍ර‍සාද දීමයි. සෙසු සියලු රාජ්‍ය ආයතනවලින් මෙන් ම මෙම අමාත්‍යාංශයෙන් ද සේවය සලසන්නේ වෙන කිසිවක් සඳහා නොවෙයි. අමාත්‍යාංශය පවත්වාගෙන යාම සාධාරණීකරණය කිරීම පිණිසයි. ඒ නිසා මේ සේවාවන්වල කිසිම වැදගත්කමක් නැත.
ගොවිජන සේවා කාර්යාලයක්

මෛත්‍රීපාල ජනාධිපති; සජිත් අගමැති වෙන, එජාප වනසන ගේම් පැලෑන මෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ.
Translations by Creative Content Consultants
ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත් වන බවක් නොපෙනේ.
මේ අතර ඔහු බැරෑරුම් ලෙස උත්සාහ කරමින් සිටිනුයේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය සමග සම්මුතියකට එළැඹ, සජිත්ට අගමැති ධුරය පොරොන්දු වෙමින් ජනාධිපති ලෙස තරග කිරීමටයි. ඒ වෙනුවෙන් ඔහු සජිත් අගමැති ලෙස පත් කිරීමට පවා සූදානමින් පසුවන මුත්, සජිත් පක්ෂය කඩාගෙන ගොස් අගමැති පදවිය ලබාගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත.
සජිත් පාර්ශ්වය සමග එක් වී මෛත්‍රීපාල, මහරාජා සමාගමේ සහ මලික් සමරවික්‍රමගේ මුල්‍ය අනුග්‍රහයෙන් සහ මංගල සමරවීරගේ මූලෝපායික සැලසුම් අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලාගැනීමේ සියුම් මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබේ.
එය සාර්ථක වුවත්, අසාර්ථක වුවත්, එක්සත් ජාතික පක්ෂය භේදභින්න කර, දුර්වල කර, සජිත් පාර්ශ්වය දැපනෙ දමාගෙන, වත්මන් ජනාධිපති ලෙස තමන්ට හිමි බලය ද පාවිච්චි කරමින් තමා ජනාධිපති ධුරයට තරග කිරීම සිරිසේනගේ මූලෝපාය වී තිබේ.
ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ අතර තුන්කොන් තරගයක් ඇති කරගැනීමෙන් තමන්ට වාසිදායක තත්වයක් ඇති කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
කෙසේ වෙතත්, දේශපාලනයේදී තමන්ට සහයෝගය දෙන කිසිවකු සමග සමීප මිත්‍රත්වයක් නොමැති, එසේම, කිසිවකු විශ්වාස ද නොකරන සජිත් ප්‍රේමදාස හට ඔහුගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස වෙතින් සිදුවන බලපෑම හේතුවෙන් ඔහු රනිල් වික්‍රමසිංහට එරෙහිව යාමට සහ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී යාමට මැලිකමක් දක්වයි.
සජිත්ගේ පියාණන් වන ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව 1992දී ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිනී දිසානායක ඇතුළු පිරිසක් විසින් දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ පක්ෂ නායකයා වන ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා මුල් වී ක්‍රියා කළේ එවකට ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු වූ රනිල් වික්‍රමසිංහයි. ඒ සම්බන්ධයෙන් කෘතවේදිත්වය පවත්වාගෙන යා යුතු බව හේමා ප්‍රේමදාස මෑණියන් විසින් සජිත් ප්‍රේමදාසට අවධාරණය කර තිබීම සජිත්ගේ පසුබෑමට හේතුවයි.

2015ට සාපේක්ෂව රජයේ සේවක වැටුප් දෙගුණයකින් වැඩි වෙලා – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති කියති

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ. රසවත් ම කාරණය වන්නේ 2015ට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 100%කට වඩා ඉහළ ගොස් ඇති බව ද අනධ්‍යයනය වෘත්තීය සමිති විසින් පෙන්වා දීමයි. ඔවුන් කියන්නේ තමන්ගේ වැටුප වැඩි වුණේ 90%ක පමණ ප්‍රමාණයකින් නිසා තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බවයි.
Translations by Creative Content Consultants
ඒ ගැන විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප‍්‍රියන්ත පසුගියදා මාධ්‍යවලට මෙසේ පැවසී ය.
2015 ට සාපේක්ෂව 2020 වන විට රාජ්‍ය සේවයේ වැටුප 107.7%කින් වැඩි වෙලා. ඒ වගේම ව්‍යවස්ථාපිත මණ්ඩලවල වැටුප 2015 ට සාපේක්ෂව 2020 දී 107.7%කින් වැඩි වෙලා. නමුත් විශ්වවිද්‍යාල සේවයේ වැටුප 2015 ට සාපේක්ෂව 2020 වන විට 92%කින් පමණයි වැඩි වෙන්නේ.

මේ අනුව විශ්වවිද්‍යාල සේවයේ වැටුප් කප්පාදු කිරීමට ලක්කරලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනෑ, 2015 වන විට රාජ්‍ය සේවයේ වැටුපට වඩා විශ්වවිද්‍යාල සේවයේ වැටුප 20.6%කින් ඉහළින් තිබුණේ. 

අතීතයේ විශ්වවිද්‍යාල සේවයේ අපේ වැටුප රාජ්‍ය සේවයට වඩා 36%ක් වැඩියෙන් තිබුණා. ඒක 11% දක්වා කප්පාදු කිරීමට එරෙහිව තමයි අපි මේ අරගලයට අවතීර්ණ වුණේ.

අපි ඉල්ලා සිටින්නේ 2015 වන විට විශ්වවිද්‍යාල සේවයේ තිබූ තත්ත්වය ස්ථාපනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සේවකයාගේ වැටුප අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වගේම සියයට 107.7%කින් වැඩි කරන ලෙසයි.

2019-09-16

ලංකාවේ ගිනස් වාර්තා රජු වූ කුමාර් ආනන්දන්

අජිත් පැරකුම් ජයසිංහ

කුමාර් ආනන්දන් යනු 1960, 70 දශකවලදී තරුණ හදවත් කුල්මත් කළ ශ්‍රී ලාංකික වීරයෙක්. මේ ක්‍රීඩාශීලී යෞවනයා ගිනස් වාර්තා කිහිපයක් ම තැබූවෙක්.
Translations by Creative Content Consultants
වෛද්‍ය රුවන් එම්. ජයතුංග ඔහු පිළිබඳ මතකය ෆේස්බුක්හි අවදි කිරීමත් සමග ඔහු ගැන දන්නා බොහෝදෙනෙකු විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණා.
වසර 1962දී, වයස අවුරුදු 18දී කුමාර් ආනන්දන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනුවා. ඔහු එය කළේ ඊට පෙර මුලින්ම එසේ පිහිනා එම වාර්තාව තැබූ ඔහුගේ මාමා වන මුරුගපිල්ලෙයි නවරත්නස්වාමිට ගෞරව පිණිසයි. 1954දී වැල්වැටිතුරෙයි සිට දකුණු ඉන්දියාවේ කැලිමියර් තුඩුවට පිහිනීමට නවරත්නස්වාමිට පැය 28ක් ගතවුණා. ඔහුගේ මෙම වීර ක්‍රියාවට දෙරටේ අගමැතිවරුන් වූ ජෝන් කොතලාවල, ජවහර්ලාල් නේරු වගේ ම එලිසබෙත් රැජිනත් සුබපැතුවා.
1962දී මේ පිහිනීම ම කරන්නට කුමාර් ආනන්දන්ට පැය 42ක් ගතවුණා.
වයස අවුරුදු 27ක් වෙද්දී, 1971දී ඔහු පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ ගිනස් වාර්තාවක් පිහිටෙව්වා. ඔහුට ඒ වෙනුවෙන් පැය 51ක් ගතවුණා.
කුමාර් ආනන්දන් අපූරු ගිනස් වාර්තා ගණනාවක් ම පිහිටෙව්වා. පැය 128ක් නොකඩවා දඟර නැටුම් නැටීම, සැතපුම් 1487ක් දුරට පැය 187ක් නොනවත්වා බයිසිකල් පැදීම, පැය 187ක් තනි පයින් සිටගෙන සිටීම, විනාඩි දෙකකින් වාඩි වී නැගිටින අභ්‍යාස 165ක් කිරීම පැය 80ක් නොකඩවා වතුරේ ඇවිදීම එම වාර්තායි.
අවසානයේදී ඔහු මියගියේ ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමට උත්සාහ දැරීමේදීයි. ඒ 1984 අගෝස්තු 6දායි. එතකොට ඔහුගේ වයස අවුරුදු 40යි.
ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද කුමාර් ආනන්දන් වෘත්තියෙන් නීතිඥයෙක්. ඔහුගේ සම්පූර්ණ නම විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන්.  
කුමාර් ආනන්දන් විවාපත් වූ මානෙල් සමරවීර, ඇමති මංගල සමරවීරගේ නැන්දායි. කුමාර් ආනන්දන්ගේ පුත් රාජන් ආනන්දන් අට වසරක් ගූගල් සමාගමේ ගිනිකොණදිග ආසියාවේ සහ ඉන්දියාවේ උප සභාපති ලෙස කටයුතු කළා.
1999දී ශ්‍රී ලංකා රජය කුමාර් ආනන්දන් නමින් තැපැල් මුද්දරයක් නිකුත් කර ඔහුට ගෞරව දැක්වූවා. කුමාර් ආනන්දන් සිහිවීම සඳහා ඔහුගේ ගම වන, ප්‍රභාකරන්ගේ ද ගම වන වැල්වැටිතුරෙයිහි 2019දී ඔහු නමින් පිහිනුම් තටාකයක් විවෘත කෙරුණා.

ජනාධිපතිවරණය තනියෙන් දිනන්නට එජාපට බැහැ – අගමැති

එක්සත් ජාතික පක්ෂයට හිමි ඡන්ද පදනමින් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුළු ජාතික, සිවිල් සමාජ, අලුත් ඡන්ද, පාවෙන ඡන්ද ආදී වෙනත් ඡන්ද පදනම් දිනාගන්නා ආකාරය පිළිබඳ එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන අය සැලසුම් ඉදිරිපත් කළ යුතු බව අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ, පුරවැසි හා වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායම් දෙකක් සමග අද දින පවත්වන ලද සාකච්ඡාවලදී පැවසී ය.
Sinhala Tamil English Translations and Content Writing
සිවිල් සමාජ කණ්ඩායම් කීපයක් සමග අගමැතිවරයා අද දින සාකච්ඡා පැවැත්වී ය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද ලක්ෂ 64ක පමණ ප්‍රමාණය ලබාගැනීම එක්සත් ජාතික පක්ෂයට තනිව කළ නොහැක්කක් බව ද ඒ සඳහා අවශ්‍ය බලවේග දිනාගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
එජාප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් සිවිල් සමාජ කණ්ඩායම් විසින් මතු කරන ලද ප්‍රශ්නයට අගමැතිවරයා නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.
මේ අතර, එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ඡන්ද පදනම් ගොනු කරගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බව වාර්තා වේ. සජිත් පාර්ශ්වය දෙමළ, මුස්ලිම් ඡන්ද පදනම් හෝ දිනාගැනීම සඳහා කිසිදු මුලපිරුමක් කර නොතිබුණ අතර, දැන් ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර තිබේ.

2019-09-15

ලංකාවේ සංචාරක කර්මාන්තයට රු. බිලියන 10ක් ආදායම් ගෙනා ආෂුරා මුබාරකා

අජිත් පැරකුම් ජයසිංහ

ට­වල් 40ක බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණා.
Sinhala Tamil English Translations and Content Writing
එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබුණා. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් පවසනවා. මෙම සමුළුව පැවැත්වුණ සමයේදී කොළඹ හෝටල් සහ සුපිරි නිවාසවල නවාතැන් ගාස්තු 20% සිට 80% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් කාමර 3000කට වැඩි ප්‍රමාණයක රැඳී සිටියා.
සමුළුවෙන් පසුව බොහෝ සංචාරකයන් ආපසු ගොස් තිබෙන අතර, පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවල සංචාරය කරමින් සිටියා.
ඇතැම් අන්තවාදී සංවිධාන මෙම සංචාරකයන්ට තර්ජන, හිරිහැර කිරීමට ඉදිරිපත් වූ අතර, රජය එම තත්වයන් පාලනය කරගැනීමට සමත් වුණා. එහෙත්, ඇතැම් තැන්වලදී අන්තවාදී දේශද්‍රෝහීන් ඔවුන්ට හිරිහැර, බාධා කරන ආකාරය වීඩියෝ කරගනිමින් ප්‍රචාරය කිරීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට කැළැල් ඇති කිරීමට සමත් වුණා.
අෂරා මුබාරකා නම් වූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව ,  ඕස්ටේ‍්‍රලියාව, බහරේනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ඊජිප්තුව, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ජපානය, කෙන්යාව, කුවේට්, මැලේසියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ,  ඕමානය, පාකිස්තානය , පෘතුගාලය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, ස්වීඩනය, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්ය,ය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල බෝරා නියෝජිතයන් සහභාගි වුණා.
අෂාරා මුබාරකා කියන්නේ මුහරාම් හෙවත් ඉස්ලාමික කැලැන්ඩරයේ පළමු මාසයේ පළමු දින දහයේ පැවැත්වෙන උත්සවයක්. එහිදී මුහම්මද්ගේ මුණුබුරා වන හුසේන් ඉබ්න් අලිගේ ජීවිත පරිත්‍යාගය සිහිපත් කරනවා. වතාවත් පිළිපදිමින්, දේශනාවලට සවන් දෙමින්, රාත්‍රියේ රැස්වෙමින් මුල් දින ගතකරන ඔවුන් 10වන දින ආෂුරා පවත්වනවා. මේ තමයි කර්බාලා යුද්ධයේදී පළමු යාසිද්ගේ නියෝගයෙන් හුසේන්, ඔහුගේ පවුල සහ අනුගාමිකයන් 72ක් ඝාතනය කළ දිනය. ඉතිරි වූ පිරිස අත්අඩංගුවට ගෙන ඩැමැස්කස් වෙත ගෙනගොස් සිරගත කළා.
මෙම උත්සවය අවුරුදු පතා ලොව විවිධ තැන්වල පැවැත්වෙනවා. එහිදී ඩායි අල් මට්ලාක් නම් වන ඔවුන්ගේ ආගමික නායකයා විසින් ම දේශනා පවත්වනු ලබනවා.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බටහිර ඉන්දියාවේ ගුජරාටයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ වෙළඳ ප්‍රජාවක් වන ඩාවුඩි බෝරාවරුන් ලංකාවේ බහුතර මුස්ලිම් ජාතිකයන් අයත් වන සුන්නි කුලකයට අයත් නැහැ. ඔවුන් ෂියා මුස්ලිම් ප්‍රජාවක්. ලංකාවේ මුලින්ම ස්ථානගත වූ බෝරා ව්‍යාපාරිකයා ජැෆර්ජී එසාජී ලෙස සැලකෙනවා.
ලංකාවේ ප්‍රධාන බෝරා ව්‍යාපාරික පවුල් අතර පැරණිම පවුල තමයි එසාජීගේ පුතා වන කැරිම්ජී ජැෆර්ජීගේ පවුල. ජැෆර්ජී සමාගම 1831 සිට ලංකාවේ ක්‍රියාත්මකයි. එහි ශාඛා ඉන්දියාවේ හැම තැනම මෙන් ම මුරුසියේ ද තිබෙනවා. ඔවුන් සෑම ආකාරයක ම අපනයන සහ හාල්, සීනි, පිටි ආදී ආනයන කළා. කැරිම්ජී තමයි ගාල්ලේ පළමු බෝරා පල්ලිය හදන්න මුල් වෙලා තියෙන්නෙ.
ආදමලි සමාගම 20වන සියවස ආරම්භක සමයේ ලංකාවේ විශාලතම ආනයන අපනයන සමාගම වුණා. ඔවුන් සතුව කොළඹ, නුවර සහ නුවරඑළියේ දේපල තිබුණා. අවිස්සාවේල්ලේ අක්කර 300ක ෆෙයාර්ෆීල්ඩ් වත්ත ද ඔවුන්ගේයි. ආදමලි සමාගම හිමිව සිටි සහෝදරවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඊ.ජී. ආදමලි 1920 සිට 1925 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ ඉන්දීය ප්‍රජාව නියෝජනය කළ සාමාජිකයා ලෙස කටයුතු කළා. බම්බලපිටියේ බෝරා පල්ලිය ආසන්නයේ ආදමලි වීදිය නම් කර තිබෙන්නේ ඔහු නමින්.
හෙබ්තුලාබෝයි, ජීවන්ජී, නූර්බායි, ඩාවුඩ්බෝයි, මුසාජී, අබ්දූල් අලි, අක්බර් ආදීන් තමයි අනෙකුත් ප්‍රසිද්ධ බෝරා ව්‍යාපාරික නායකයන්.
මහනුවරට මුලින් ම සංක්‍රමණය වුණ බෝරා ව්‍යාපාරිකයා තමයි වලිබෝයි හසන්අලි. බදුල්ලට ගිහින් තියෙන්නෙ එස්මල්ජී කරිම්බෝයි.
මුලින් ආනයන අපනයන පමණක් කළ බෝරාවරු දැන් ඇඟලුම්, ප්ලාස්ටික්, වානේ වැනි කර්මාන්ත රැසක ද හිමිකරුවෝයි.
ජැෆර්ජී බ්‍රදර්ස්, ඊ.ජී. ආදමලි සහ සමාගම, හේමාස් ගෘප්, අක්බාර් බ්‍රදර්ස්, ටී.ඒ.ජේ. නූර්බායි සහ සමාගම, ආදම්ජී ලුකමන්ජී සහ පුත්‍රයෝ වැනි සමාගම් බෝරා ජාතිකයන්ට අයිති ඒවායි.
බුර්හානි සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල බෝරා ප්‍රජාව විසින් ආරම්භ කරන ලද වෙනත් ජාතීන්ටත් විවෘත පාසලක්.
ඔවුන්ගේ චාරිත්‍ර ඔවුන්ට අනන්‍යයි. දරුවකු ඉපදුණ විට ඔහුගේ කණ් දෙකට කුරාන පාඨ කිහිපයක් කොඳුරනවා. නම් තබන්නේ සයවන දිනයේ උත්සවයකින්. හත්වන, 14වන හෝ 21වන දිනයේදී හිස මුඩු කර, එළුවකු දරුවා වෙනුවෙන් කැප කර, එම සතාගේ මස් පවුලේ අය විසින් ආහාරයට ගන්නවා. ඔවුන් උපන්දින සැමරුම්වලදී කරන්නේ පොල් හෝ පලතුරු පලංගානක් හිස වටා කරකැවීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ: People of Sri Lanka, “Sri Lankan” – Our Identity; “Diversity” – Our Strength, Ministry of National Coexistence, Dialogue and Official Languages

2019-09-14

පාසල්වල උගන්වන දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම්

ඊශා කප්පරගේ

1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි.
Sinhala Tamil English Translations and Content Writing
මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.
එකල පවා බොහෝ නිවෙස්වල තිබුනේ වල වැසිකිළි. ගම්බද මේ තත්ත්වය වැඩිපුර තිබුණා. නිවෙස් දෙක තුනකට එක වැසිකිළියයි තිබුණෙ. අද වගේ පෞද්ගලික පවුල් ඒකක නොතිබුණු ඒ යුගයේ එකම මූලයකින් පැවත එන නෑදෑයින් පිරිසක් මහ ගෙදර අවටම නිවෙස් තනා⁣ගෙන වාසය කරන විට පොදු ළිඳ, පොදු වැසිකිළිය තමයි තිබුණේ.
වැසිකිළි ගොස් සබන් යොදා අත සේදීම කළේ නැහැ. වැසිකිළි ගොස් සේදීමට වතුර ගත්තෙත් අත්හැර දමන ලද ළිඳක, වළක තිබූ අපිරිසිදු වතුර. කිරි හට්ටියක්, කැඩුණු බාල්දියක්, ප්ලාස්ටික් බූලියක් වැනි යමකුයි එයට භාවිතා කළේ.
වර්තමාන ලංකා⁣ව කෙතරම් සෞඛ්‍යවත්දැයි සිතෙන්නේ මේවා කල්පනාවට ගන්නකොටයි. ලංකාවේ අද වැසිකිළියක් නැති නිවසක් නැති තරම්. කුඩා දරුවෙකු පවා දන්නවා වැසිකිළි ගිය පසු සබන් යොදා අත සේදිය යුතු බව. දැන් වළ වැසිකිලි, බාල්දි වැසිකිළි නැහැ. මේ හේතුව නිසාම පාචනය, පණු රෝග අවමයි. ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉහළ දැමීම සඳහා මේ සෞඛ්‍යවත් වැසිකිළි භාවිතය ඉහළ දායකත්වයක් දක්වා තිබෙනවා.
හැබැයි තවමත් අපට වැසිකිළිය ගැන හරිහමන් දැක්මක් නැහැ. අපේ මිනිසුන්, ගැහැණුන් පොදු වැසිකිළි භාවිතා කරන්නට නම් දන්නේ ම නැහැ. නිවෙස්වල වැසිකිළි භාවිතයේ වුණත් වැඩි වෙනසක් නැහැ.
වැසිකිළි භාවිතය ඉගෙන ගන්නට තිබෙන තැනක් තමයි පාසල. හැබැයි, පාසල්වල වැසිකිළි තමයි ලෝකෙ තියෙන අපිරිසිදු ම වැසිකිළි. ඒ වුණාට අපි කියන්නෙ හොඳම දේ දරුවන්ට කියලායි. දරුවනුත් නිවැරදි වැසිකිළි භාවිතය පාසලෙන් ඉගෙනගන්නෙ නැහැ. පාසල්වල වැසිකිළිවලට ගල් දැමීම, කෝටු කැබලි දැමීම වැනි පරීක්ෂණ පවා කරන ළමයින් ඉන්නවා.
පාසල්වල උගන්වන ලොකු ලොකු දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම් නරක ද?

ජීවය තිබිය හැකි අලුත් ග්‍රහලෝකය ගැන විස්තර

බර්ටි රණවීරගේ

වෙනත් ග්‍රහ ලෝකවල ජීවීන් සිටින්නේදැයි මිනිසා විසින් කරන ලද සොයා බැලීම් සාර්ථක කරන්නට ඉඩ තිබෙන, ජීවය පැවතිය හැකි ග්‍රහ ලොවක් ඉතිහාසයේ පළමු වරට විද්‍යාඥයන් හඳුනාගෙන ඇති බව පසුගිය සතියේ වාර්තා වුණා.
Sinhala Tamil English Translations and Content Writing
සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් තිබෙන එය සොයාගෙන තිබෙන්නේ University College London හි විද්‍යාඥයන් පිරිසකි .
එහි ජලය සහ ජීවත්විය හැකි පරිසරයක් ඇතැයි සිතනවා. එහි වායුගෝලයෙහි ජලවාෂ්ප ඇති බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.
K2-18b යනුවෙන් හඳුන්වන එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් දුරිනි.
ජීවින්ගේ පැවැත්මට සුදුසු උෂ්ණත්වයක් එහි තිබෙන බව විද්‍යාඥයෝ කියති.
එම ග්‍රහ ලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල වන අතර ස්කන්ධය අපගේ ලෝකය මෙන් අටගුණයකි .
එම ග්‍රහ ලෝකයට එයට ආලෝකය සපයන තාරකාව වන K2-18 වටා යාමට දින 33ක් ගත වෙනවා. (අපට දින 365 කී.) මෙම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නෙ තාරකාවට ආසන්නයේ වන මුත්, එම තාරකාව red dwarf හෙවත් රතු අඟුටුමිට්ටකු නිසා එයින් නිකුත් වෙන රශ්මියේ ප්‍රබලතාව අඩුයි. ඒ නිසා මෙම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ ජීවය පැවතිය හැකි දුරකිනි. එහෙත්, මෙම ග්‍රහලෝකය මතුපිටට වැටෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය ජීවයක් පැවතිය නොහැකි තරම් අති විශාල වෙන්නට ද ඉඩ තිබේ.
ජීවත්වීමට සුදුසු පරිසරයක් එම ග්‍රහ ලෝකයේ තිබුණ ද එහි ජීවින් සිටින්නේද යන්න දැනගැනීමට තවමත් මගක් නොමැති බව විද්‍යා‍ඥයෝ කියති .
(ඡායාරුපයෙන් දැක්වෙන්නේ එම ග්‍රහලෝකයේ පෙනුම පරිගණකයක් විසින් සැකසු ආකාරයයි )

වත්කම්, බැරකම් හා ජඩකම්

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ)

දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන. එහෙත්, දේශපාලකයන් සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ නම් 225කි. ඔවුන්ගේ ගණන සීමිත ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව දසදහස් ගණනකි. ඔවුන්ගේ වත්කම්, බැරකම් කෙරෙහි මීට වඩා අවධානය යොමු විය යුතු බව ලංකාවේ මහජනයා ප්‍රමාණවත් තරම් වටහාගෙන නැත. වැඩි අවධානයක් යොමු වන්නේ දේශපාලකයන්ට ය.
Sinhala Tamil English Translations and Content Writing
එයට හේතුව, ලංකාවේ දේශපාලනය යනු මහජන මුදල් ගසාකන ඉල්ලමක් වී ඇති බැවිනි. දේශපාලකයන් හැසිරෙන්නේ ඔවුන් විශාල මහජන සේවාවක් කරන්නා සේ ය. තැන් තැන්වල පීත්ත පටි කපමින්, කතා පවත්වමින් දුවන ඔවුන් වෙනුවෙන් මහජන මුදලින් වරප්‍රසාද රැසක් සැපයේ. තීරු බදු රහිත වාහන යනු ඒ අතරින් ප්‍රධාන ඉල්ලමකි.
හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගැනීමට පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන දෙවරක් උත්සාහ කළේ ය. පළාත් සභා මන්ත්‍රීන්ට වාහන වරප්‍රසාදයක් දෙන්නේ මහජනතාවට සේවය කිරීමට ය. දැන් මේ මන්ත්‍රීවරුන් සේවය කර හමාර ය. අප ඔවුන්ට ස්තුති කරනවා මිස තව තවත් ඔවුන්ට දොල පිදේනි දිය යුතු නැත. උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37කට මෙම වරප්‍රසාදය දුන් බව හැරෙන්නට වෙනත් කිසිදු තර්කයක් මෙම තීරු බදු සහනයට අදාළ නැත.
එහෙත්, මෙම වාහන බලපත්‍රය බලාගෙන ණය ගත් අය ද සිටින බව අපි දනිමු. ඔවුන් මෙය ලැබෙනතෙක් බලාසිටින්නේ ණය බේරා, ඊළඟ ඡන්දයට වියදම් කිරීම සඳහා විය හැකි ය. දේශපාලකයන් ගතකරන්නේ ඉතා වියදම් අධික ජීවිත බව ද ඇත්තකි. ඔවුන්ගේ මූලික වැටුප් එතරම් ඉහළ මට්ටමක නැත. ඒ නිසා ඔවුන් තමන් වෙනුවෙන් වෙනත් විවිධ වරප්‍රසාද අනුමත කරවාගෙන තිබේ.
නුදුරේ පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස දැනටමත් ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර තිබේ. ඒවායේ වියදම දැනටමත් රු. මිලියන සිය ගණනකි. මේ මුදල් ලබාදෙන්නේ කවුරු ද? ඒවා කළමනාකරණය කරන්නේ කවුරු ද? ඒවා කෙසේ ගිනුම්ගත වේ ද? මේවා ලංකාවේ දේශපාලනයේ කිසිදා හෙළිදරව් නොවන අභිරහස් ය.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා මුදල් අවශ්‍ය ය. මුදල් දෙන අය මී කඩන්නේ අත ලෙවකන්නට නොවිය හැකි ය. දේශපාලකයා බලයට පැමිණි පසු ඔවුන්ට සැලකිය යුතු ය. ඒ.එස්.පී. ලියනගේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට තානාපතිවරයකු වන්නේ අපේක්ෂකයන් වෙනුවෙන් කරන සාර්ථක ආයෝජනවල බලයෙනි. මේ අතර, දේශපාලකයෝ ද ගිය වියදම් ආපසු සොයන්නටත්, අනාගත ඡන්ද වෙනුවෙන් වියදම් කරන්නටත්, හත්මුතු පරම්පරාවක් දක්වා ජීවිත ගොඩදාගන්නටත් අයථා මාර්ගවලින් මුදල් ඉපැයීමට පෙළඹෙති. රජයට සැපයුම් කරන, රජය සමග කොන්ත්‍රාත් කරන, රජයෙන් යටිතල පහසුකම් ආදී වරප්‍රසාද ලබාගන්නා ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස්, කොමිස්, සන්තෝසම් ලබාගැනීම සාමාන්‍යකරණය වී තිබේ. රජය සමග කරන ගනුදෙනුවලින් මෙම ව්‍යාපාරිකයන් අධික ලාභ ලබන නිසා ඔවුන්ට එම අවස්ථාව ලබා දෙන දේශපාලකයන් වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නට ඔවුන් මැලි නැත.
මෙමගින් නිර්මානය වන්නේ දූෂණයේ විෂම චක්‍රයකි. බොහෝ දේශපාලකයන් මේ වන විට එම විෂම චක්‍රයේ ගොදුරු බවට පත් වී හමාර ය. දේශපාලකයන් තම වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීමට තදබල මැලිකමක් දක්වන්නේ ඒ නිසා ය.  
1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශන පනත අනුව කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායකවරයාට ද, අමාත්‍යංශ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ද යනාදී වශයෙන් විවිධ ආයතනවල නිලධාරීන් සිය ආයතන ප්‍රධානියාට සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුතුය. 1988 අංක 74 දරණ වත්කම් බැරකම් සංශෝධන පනත අනුව, මහජනතාවට මෙම වත්කම් බැරකම් ප්‍රකාශ මුදලක් ගෙවා ලබාගත හැකි ය.  
නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිලි කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පියවර ගෙන තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත්තේ ය.
තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීමට ද නියෝගයක් පනවන ලදී.
මේ අතර, ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පළමු වතාවට විවිධ දේශපාලන පක්ෂවලට අයත් හත්දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත් කළ හ. තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක සහ සයිඩ් අලි සහීරි මව්ලානා එම මන්ත්‍රීවරුන් හත්දෙනා ය. ඔවුන්ගේ 2017 හා 2018 වසරවල වත්කම් බැරකම් ප්‍රකාශ දැන් ප්‍රසිද්ධ ය. ඒවා සන්සන්දනය කර ඔවුන් අයථා අන්දමින් මුදල් උපයා තිබේ ද යන්න දැන් පුරවැසියන්ට ද අවබෝධ කරගත හැකි ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ වත්කම්, බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කින් හතක් පමණක් වීමයි.
ඇමතිවරුන් අතරින් අටදෙනෙකු නීති ප්‍රකාරව වත්කම්, බැරකම් ප්‍රකාශයට පත් කර නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ඇමතිවරුන් වන්නේ සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, එම්.එච්.ඒ. හලීම්, මනෝ ගනේෂන්, හරින් ප්‍රනාන්දු සහ නවීන් දිසානායකයි.
මෙම වරදට රු. 1000කට නොවැඩි දඩයක් හා/හෝ සිර දඬුවමක් නියම කිරීමට පුළුවන.
වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීම දේශපාලකයකුට, රාජ්‍ය නිලධාරියකුට තම පිරිසිදුකම හා විනිවිද පෙනෙනසුළුබව ඔප්පු කිරීමට එය කදිම අවස්ථාවකි.
එහෙත්, වත්කම් බැරකම් ප්‍රකාශන ලිපිගොනුවලට පමණක් සීමා වී තිබේ. පොදු ජනතාවට පහසුවෙන් මෙම ලිපි ගොනුවලට අවතීර්ණ වීමට බැරි ය. එසේම, ඒවායේ නිරවද්‍යභාවය තහවුරු කරගැනීමට ද ක්‍රමවේදයක් නැත. ජනමාධ්‍ය විසින් හෝ ඒවා පිළිබඳ විධිමත් විශ්ලේෂණ සිදුකරන්නේ නැත. ඒ සඳහා නීතිමය බාධකයක් නැතත්, තවමත් ඇතැමෙකු 1975 පනත අනුව යමින් මේවා රහස්‍ය ලේඛන ලෙස සලකති. 1975 පනත යටතේ මෙම ලේඛන ලබාගත හැකි වූයේ අධිකරණ නියෝගයක් මත පමණක් වුව ද වර්තමාන නීතිය යටතේ ඕනෑම පුද්ගලයකුට වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත හැකි ය. වත්කම් බැරකම් ප්‍රකාශන පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ යොදාගත හැක්කේ නඩුවකදී සාක්ෂි වශයෙන් පමණි. එහෙත්, තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට බාධාවක් නැත.  
වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ හැකි ය. විවෘත සහ මනා පිළිවෙලකින් යුතුව පාර්ලිමේන්තු තොරතුරු අන්තර්ජාලය හරහා නිදහස් කළ යුතු බව OpeningParliament.org පෙන්වා දෙයි. එමගින් පුරවැසියන්ට ඒවා පුළුල් පරාසයක මෙවලම් භාවිතා කරමින් විශ්ලේෂණයට සහ නැවත පාවිච්චියට අවස්ථාව ලැබේ. පාර්ලිමේන්තු තොරතුරු පහසුවෙන් සොයාගත හැකි විය යුතු ය. එසේම, තොග වශයෙන් බාගත කරගැනීමේ හැකියාව ද තිබිය යුතු ය. ඒවා ගවේශණය කිරීම සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කරගැනීමේ අයිතිය ද ජනතාවට තිබේ.

2019-09-13

අෂ්ට ගරු ධර්ම අදටත් වලංගු ද?

අජිත් පැරකුම් ජයසිංහ

මෙහෙණි සසුන ආරම්භ වූයේ අද වැනි බිනර පොහෝ දිනක ය. නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය.
Sinhala Tamil English Translations and Content Writing
“මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා උපසම්පදාව එපා කියලා. මට මෙහෙණියක් ලෙස හැඳුනුම්පතක් තියනවා. ඉන්පසු උපසම්පදා වූ භික්ෂුණීන්ට හැඳුනුම්පත් දුන්නේ නැහැ. එහෙම හැඳුනුම්පතක් නැති පන්දාහක් පමණ ඉන්නවා. අපි මේ රටේ පුරවැසියෝ. ඉස්ලාම්, කතෝලික, හින්දු පූජක පක්ෂවලට ඒ වටිනාකම දෙනවා නම් බෞද්ධ මෙහෙණිවරුන්ට ඒ අවස්ථාව දෙන්න බැරි ඇයි?” (මූලාශ්‍ර‍ය)
බුදු සසුන තුළ මෙහෙණි සසුන ආරම්භ වන්නේ බුදුන් වැඩ වෙසෙද්දී තරමක් පසුකාලීනව ය. මහණ වීම සඳහා මුලින් ම අවසර ඉල්ලා සිටියේ යශෙෘ්ධරා දේවියයි. දෙවනුව අවසර ඉල්ලුවේ බුදුන් ළඟ පැවිද්ද ලද ශාක්‍ය, කෝලිය කුමාරවරුන් 500දෙනෙකුගේ කුමාරිකාවෝ ය. තුන්වන වර සිදුහත් කුමරුගේ සුළුමව වූ ප්‍ර‍ජාපතී ගෝතමිය අවසර ඉල්ලුවා ය. මෙම අවස්ථා තුනෙහිදී ම බුදු හිමියෝ අවසර දීම ප්‍ර‍තික්ෂේප කළත්, පසුව ප්‍රජාපතී ගෝතමිය ඒ වෙනුවෙන් කළ බලපෑමත්, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ ඉල්ලීමත් හේතුවෙන් කාන්තාවන්ට මහණ වීම සඳහා අවසර ලැබිණි.
“භික්‍ෂුණී සංස්ථාව ආරම්භ කිරීම සඳහා බුදුරදුන් අවසර ලබා දෙන්නේ, මුලින් පිහිට වූ සංඝ සමාජයෙහි සාමාජික ප්‍රතිමාන පද්ධතියට ඉන් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් හැකිතාක් අවම වන පරිදි අෂ්ට ගරු ධර්ම නමින් හැඳින්වෙන ආචාර ධර්ම කොට්ඨාසයක ආවරණය ලබා දෙමිනි. භික්‍ෂුණී සංස්ථාව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ඒ සඳහා කැමැත්තක් දක්වන කාන්තා පිරිසට පෞද්ගලික ආධ්‍යාත්මික සාරධර්ම සංවර්ධනයට පහසු මඟක් පාදා දීම විනා භික්‍ෂු පිරිස මෙන් පූර්ණකාලීන ක්‍රියාකාරී ලෙස ජව සම්පන්නව හුදකලාව දුර බැහැර ඉතාමත් අනතුරුදායක ප්‍රදේශවල පවා තනිවම පාගමනින් වැඩම කරමින් අති මහත් ගැහැට විඳදරා ගනිමින් ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත වීම නොවේ,” යි සුජිත් නිශාන්ත හේවගේ බුදුසරණ පුවත්පතට ලියන ලිපියක පවසයි.
එම අෂ්ට ගරු ධර්ම මෙසේ ය:
  1. උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
  2. භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
  3. අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
  4. වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
  5. මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
  6. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
  7. භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය
  8. මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය. (මූලාශ්‍ර‍ය)
ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුනෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය (ක්‍රි .පූ. 230 – 210) කරා විහිදෙයි. දීපවංසයේ 15, 77, 78 පරිච්ඡේදවල සඳහන් වන පරිදි සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර, ගල්ලා, අග්ගිමිත්තා, කප්පා, පබ්බජින්නා, මල්ලා, ධම්මදාසිකා යන මෙහෙණින් වහන්සේලා දේවානම්පියතිස්ස රජුගේ ආරාධනයෙන් මෙරටට වැඩම කර තිබේ. මහානාග නම්වූ යුව රජතුමාගේ මෙහෙසිය වූ අනුලා දේවිය ප්‍රමුඛ ස්‌ත්‍රීන් දහසක්‌ දෙනා පමණ පැවිදි බව ලැබූ හ. සද්ධර්මරත්නාලංකාරයේත්, මහාවංශයේත් සඳහන් පරිදි මෙහිදී රජතුමන් විසින් භික්‌ෂුණීන් වහන්සේලාගේ වැඩ විසීම සඳහා අනුරපුර නගරයෙහි “හත්ථාලිහක” විහාරය සහ “උපාසිකාරාමය” යන මෙහෙණි ආරාම පළමුවරට පිහිටුවනු ලැබුවේය.
මහානාම රජු දවස (ක්‍රි. ව. 412 – 434) සිංහල භික්‌ෂුණීන් අට නමක්‌ චීනයට වැඩම කරවීමෙන් පසු එරට “භික්‌ෂුණී ශාසනය” ආරම්භ වූ බව ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා පවසයි. (මූලාශ්‍ර‍ය)
කෙසේ වෙතත් සියමෙන් උපසම්පදාව රැගෙන ආ මහනුවර යුගය වන විට ලංකාවේ මෙහෙණි සසුනක් නො තිබිණි. භික්ෂු සාසනය ද අන්තයට ම පිරිහී ගෘහ ජීවිත ගත කරන ගමන් ම ආගමික කටයුතු මෙහෙයවූ ගණින්නාන්සේලා පිරිසක් බවට බෞද්ධ පූජක පක්ෂය පිරිහිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස (ක්‍රි.ව. 1742 – 1782) වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව නැවත ලබා ගැනිණි.
මෙහෙණි සස්න වියැකී ගොස් වසර දහසකට පමණ පසුව දඹදිව මහාබෝධි සමාගමේ සභාපති වූද, රත්මලාන පරමධම්ම චේතිය පරිවෙනාස්‌ථානයේ විහාරාධිපති වූද ආචාර්ය පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ථෙරවාදී සංඝයාවහන්සේ පිරිසක්‌ද, කොරියාවෙන් පැමිණි භික්‍ෂු – භික්‍ෂුණි පිරිසක්‌ද සහභාගිව ලක්‌දිවින් තෝරාගත් දසසිල් මෑණිවරුන් දස දෙනකුට සාමනේර පැවිද්ද හා උපසම්පදාව බරණැස, ඉසිපතන ශුද්ධ භූමියේදී 1999 දෙසැම්බර් මස 08 වැනිදා ප්‍රදානය කරන ලද බව ආචාර්ය සිරි තිලකසිරි පවසයි.  මෙය ශ්‍රී ලංකාවේ භික්ෂුණී සාසනයේ පුනරුත්පත්තිය ලෙස සැලකිය හැකි ය.
ශ‍්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනයට හිමි වන්නේ දෙවන ස්ථානය බව නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනියගේ අදහසයි. “බුදුන්වහන්සේ තැන දුන්නේ අසහාය මානසික ශක්තියට මිසක් ස්ත‍්‍රීපුරුෂභාවයට නොවෙයි. බුද්ධ ධර්මය සුරක්ෂිත කිරීම පළමු සංගායනාවේ සිටම මෙහෙණින් වහන්සේලාට පැවරිලා නෑ. භික්ෂූන් වහන්සේලාම තමයි ඒ කොටසත් එකතු කරන් ඇවිත් තියෙන්නේ. සංගායනා කරන කොට අටුවා ලියනකොට ඕවා වෙනස් වෙනවා ඇති කියලා හිතෙනවා. ඒත් සමාජ ගැටලුවක් ලෙස මම මේකට මුහුණ දෙනවා.”
බුද්ධ කාලයේ භික්ෂුනී ශාසනයට පදනම වූයේ යයි අද අප විශ්වාස කරන අෂ්ට ගරු ධර්ම කාන්තාව විෂයෙහි බෞද්ධ ආකල්ප කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරයි. එය සිංහල බෞද්ධ සමාජයෙහි ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවට හා සාධාරණත්වයට ද බලපෑමක් ඇති කරයි.
බුදුන් අෂ්ට ගරු ධර්ම පැනවූවා නම්, ඒවා පැනවූයේ වසර 2500කට ඉහතදී ය. එම වකවානුව වනාහි ධර්ම ප්‍ර‍චාරය සඳහා සංඝයාගෙන් දැඩි කැපකිරීම් බලාපොරොත්තු වූ පූර්ව නූතන යුගයකි. අද වන විට තත්වයන් බොහෝ දුරට වෙනස් වී තිබේ. අෂ්ට ගරු ධර්ම ගැන බෞද්ධ සමාජයේ සංවාදයක් මතු විය යුත්තේ ඒ නිසා ය.

නාමල් රාජපක්ෂට අලුතෙන් ලැබෙන අපූරු නෑයෝ

Newsවලින් එහා ප්‍රවෘත්ති දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට එක්වන්න. මෙතන ක්ලික් කරන්න>>

විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ විවාහ වී සිටින මනාලිය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තර්ජන නිසා ශ්‍රී ලංකාවෙන් ස්වයංව පිටුවහල් වී සිටින ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී යුවලකගේ සමීප ඥාතියෙකි. ඒ අතර ඇය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවලදී නම සඳහන් වූ හිටපු පොලිස්පතිවරයකුගේ ද සමීප ඥාතියෙකි. (Read the translation of this article here>>)
Sinhala Tamil English Translations and Content Writing
නාමල්ගේ මනාලිය ලිමිනි වීරසිංහගේ මව අරුණි වික්‍රමරත්නයි. ඇය ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ ක්‍රීඩිකාවකි. ආනමඩුව හිටපු මන්ත්‍රී, ලේඛකයකු, පරිවර්තකයකු සහ ඉංග්‍රීසි ගුරුවරයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාව ලිමිනිගේ පවුලේ මහත් ගෞරවයට පාත්‍ර වී සිටින අරුණිගේ මාමා කෙනෙකි. නිකෝස් කසන්සාකිස් ගේ ‘Zorba the Greek’ කෘතිය ‘සෝර්බා නම් ග්‍රීකයා’ මැයෙන් සිංහලට නැගුවේ සද්ධාතිස්ස වඩිගමංගාවයි.
සද්ධාතිස්ස වඩිගමංගාව

සද්ධාතිස්ස වඩිගමංගාව මහතාගේ දියණියක වන ජනමාධ්‍යවේදිනී ලේඛිකා
සහ දේවිකා වඩිගමංගාව විවාහ වී සිටින්නේ මාධ්‍යවේදී සනත් බාලසූරිය සමග ය. ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරු දැරූ දෙපලක් වන රජයට අයත් ලේක්හවුස් ආයතනයේ සේවය කළ පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ඍජුවම තර්ජනය කරන ලද අතර 2009 ජුනි මාසයේදී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස්, දැඩි ලෙස පහර දී, අස්ථි බිඳ දමා මහ මග දමාගොස් තිබිණි.
 සනත් බාලසූරිය

ඉන් පසු, සනත් බාලසූරිය හා දේවිකා වඩිගමංගාව ද ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැර වූ හ. විදේශගතව සාහිත්‍යකරණයේ යෙදෙන මෙම දෙපළම සිංහල බසින් කරන ලද නිර්මාණ වෙනුවෙන් මෑතදී සම්මාන ලැබූ හ.
වසරේ නිර්මාණශීලී නවක දායකත්වය – කාව්‍ය – වෙනුවෙන් සනත් බාලසූරියගේ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’ කෘතියට ගොඩගේ සාහිත්‍ය සම්මාන හිමි විය.
2018 වසරේ පැවැත්වුණ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා සාහිත්‍ය පරිවරන කෘතියට හිමි සම්මානය  දේවිකා වඩිගමංගාව විසින් පරිවර්තනය කරන ලද ‘මමයි අක්කා ක්ලාරායි’ වෙනුවෙන් හිමි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙලේදී සම්මානය දේශපාලනඥයෙකු අතින් භාරගැනීම ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව  ඇයට හිමි සම්මානය හා සන්නස් පත්‍රය බුද්ධදාස ගලප්පත්ති සහ සෝමරත්න බාලසූරිය යන ප්‍රවීණ ලේඛකයන් දෙදෙනා අතින් ඇය භාරගත්තාය. (ඡායාරූපය බලන්න)
නාමල්ගේ පියා මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ 2006 ජනවාරි සිට 2015 ජනවාරි 8 දක්වා කාලය තුළ ජනමාධ්‍යකරුවන් 13ක් මරා දමන ලද බව ද, 87කට පහර දුන් බව ද, 20ක් පමණ අත්අඩංගුවට ගන්නා ලද බව ද, මාධ්‍ය ආයතන හතරකට ගිනි තබන ලද බව ද ඇමති සාගල රත්නායක විසින් ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස 2016 නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේදී පැවසී ය.

දේවිකා වඩිගමංගාව

මේ අතර නාමල්ගේ මනාලිය වූ ලිමිනි වීරසිංහගේ මවගේ පියාගේ බාල සොයුරකු වන්නේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නයි. රාජපක්ෂ පාලන සමය තුළ 2009 ජනවාරි මස කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අඩාල කිරීමට සහ සාක්ෂි විනාශ කිරීමට එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න නියෝග කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
නාමල් රාජපක්ෂගේ මනාලිය වන ලිමිනි වීරසිංහ කොළඹ බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ශිෂ්‍යාවකි. මේ වන විට ඇය ව්‍යාපාර පරිපාලනය හදාරයි. අප්‍රිකානු බෙර වාදන ශිල්පය හැදෑරූ බෙර වාදන ශිල්පිනියක වන ඇය 2017දී පාසලෙන් පිටවන්නට ආසන්නයේදී ‘ඝෝෂා’ නමින් බෙර වාදන ප්‍රසංගයක් ද පැවැත්වූවා ය.

ලිමිනිගේ පියා තිලක් වීරසිංහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයෙකෙි. ඔහු එල්.එස්.ආර්. (Lanka Sportreizen) සමාගමේ නිර්මාතෘ ය. තිලක් රුවල් ඔරු පැදීම හා වින්ඩ්සර්ෆිං ඇතුළු ජල ක්‍රීඩා ශූරයෙකි. ලිමිනිට එක් බාල සොයුරෙකු ඉන්නවා. ජනිත් වීරසිංහ නම් ඔහු ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබයි. ඔවුන්ගේ මුල් ගම යක්කලයි.
තිලක් වීරසිංහ

77 වියේදීත් යව්වනයන් අතර හිට් වුණ වික්ටර් (‘හිතින් යන අය’ ගී රස විමසුම)

වික්ටර් රත්නායක කියන්නෙ දිගුකාලයක් තිස්සේ බැබළෙන තාරකාවක්. ඔහුට දැන් වයස 77යි. ඒ වයසෙදිත් යව්වනයන් අතර හිට් වෙන අලුත් ගීයක් ගයන්නට දායක වෙන්නට ලැබෙන එක විරල අවස්ථාවක්.
Sinhala Tamil English Translations and Content Writing
වික්ටර්ගේ හඬ සහ ගායන කෞශල්‍යය පසුගිය කාලයේ වියපත් වුණ බව බොරුවක් නෙමෙයි. ලතා වල්පොල වගේ මහළු වියේදීත් ඒ ගායනා පෞරුෂය එහෙමම රැකගන්නට වාසනාව හැමෝටම ලැබෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.
ඒ නිසා වියපත් වෙනකොට කරන අලුත් නිර්මාණවල දැඩි සීමා දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, තරුණ කාලේ කරන ලද ගායනාවල එදා තිබුණු ජීවය වුණත් දැන් මවන්නට අමාරුයි.
වික්ටර්ගේ මේ ගීයේ රහස වික්ටර් අලුත් පරපුරේ තරුණයන් සමග මුසුවෙන්නට තිබුණු එඩිතරකමයි. එයින් වික්ටර් ද තරුණ වී තිබෙන බව පෙනෙනවා. පන්සල්, ජාතිවාදී ව්‍යාපාර එක්ක සාමාන්‍ය උපාසක වෘතයකට තල්ලු වෙමින් සිටි වික්ටර් මෑතදී සිය ජීවිතය සම්බන්ධයෙන් රැඩිකල් තෝරාගැනීමක් කරමින් තිරිහන් වුණා. ජීවිතයේ තෝරාගැනීම් වෙනුවෙන් වැඩිහිටියන්ට තිබෙන නිදහස ගැන කතාකරන්න වික්ටර් ආදර්ශයක් සැපයුවා. ඒ වෙනුවෙන් සමාජය ඔහුට ස්තුතිවන්ත විය යුතුයි.
දිල්ෂාන් පතිරත්නගේ පදමාලාවේ එතරම් ධාරණාවක් දකින්නට නැහැ. සංකල්ප රූපවල තියෙන්නෙ විසිරුණ ගතියක්. තරුවක් වළාකුළකින් වැසෙනවා; කඩාවැටෙනවා; නිවී යනවා. සඳක් දුක්වෙනවා, බිඳී ගිය මතකයේ සැමරුම් ගැන වැළපෙනවා. ඒ ඔක්කොම අස්සෙ ‘හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ’ කියා අදාළ නැති කතාවකුත් කියනවා. සංකල්ප රූපවල තියෙන්නෙ අනෙක් පැත්ත. අතින් අතහැරුණත් හිතින් ගිලිහෙන්නෙ නෑ කියන එකයි සංකල්ප රූපවලින් කියවෙන්නෙ. මේ දෙක පරස්පරයි. ඒ පරස්පරය විසින් රචකයා මතුකරන්නට උත්සාහ කරන රසය හෝ ජීවන දහම මොකක්ද කියන එක පැහැදිලි නැහැ.
කොහොම වුණත්, ගීතයේදී, සංගීතයේදී වගේ ම ගායනයේදීත් වඩා ප්‍රධාන නාද මිසක් වචන නොවෙයි. සමස්තයක් ලෙස ගීයේ සංඛ දිනෙත්ගේ සංගීතය හා ගායනයන් විසින් යම් විප්‍රලම්භ ශෘංගාර රසයක් නිර්මාණය කරනවා. සංඛ දිනෙත්ගේ ගායන වර්ණ වගේ ම වික්ටර්ගේ ගායනයේ දක්නට ලැබෙන ආයාසකර බව ද ශෝකී රසය කුළුගන්වනවා. ගායනයේ තිබෙන ශෝකී තානය සමග පියානෝවෝ සහ වයලීනයේ සුසංයෝගය මනාව මුසුවෙනවා. තාල වාදනයන් සමස්ත සංගීතය පාගාගෙන මතු වීමේ මේ යුගයේ අතිශය සුලබ දුර්වලකම මගහරවාගන්නට සංගීත නිර්මාණකරුවා සක්ෂ වෙනවා. මේ ගීය යොවුන් හදවත් වැළඳගන්නේ මෙකී කාරණා නිසා විය හැකියි.
වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ
හිතින් යන – අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය – අතින් අල්ලා
නවත්තන්නට බෑ
මවා දී තරු රටා අහසේ
සිනා සී වුන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොලෝ තලයට කඩා වැටුනා
සරා සඳකට දරාගන්නට බෑ
හිතින් යන – අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය – අතින් අල්ලා
නවත්තන්නට බෑ
නිවී යන තරුවක කතාවේ
බිඳී ගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකි බිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ

GOTA AND MAHINDA WILL FIGHT OVER EVERY BIT OF POWER AT THE COUNTRY’S EXPENSE – THE ECONOMIST

The Economist international magazine says it seems that Gota and Mahinda will fight over every bit of power at the country’s expense. “Mahinda, the oldest brother, is a sun king, his chair in his meeting room a hand-span wider than the others. He says the post of prime minister will be the crucial one in government. Across town, Gota argues for a strong executive presidency,” says the magazine
Sinhala Tamil English Translations and Content Writing
The Economist published these views in an article appeared in the Asia section of the print edition under the headline “Forward to the past”.
Describing about Gotabaya Rajapaksa’s past, the international magazine says, “Gota wanted credit for winning the war, and bridled at claims of war crimes. He ran the security services during the era of white-van terror. He had a foul temper and a threatening tongue.”
The magazine mentions, “Both Basil and Mahinda are frank enough, when asked, to admit that Gota needs to keep talking about policies, not the past. Yet again and again he seems drawn back to that other country in which part of him still dwells, arguing that his achievements in ending the war and rebuilding the north have never been fully acknowledged. His greatest regret, he says, is not being properly understood. Even reports that he kept sharks in tanks are unfair: they helped to soothe his nerves and anyway, he says, stretching out his hands, they weren’t that big.
“There is another worrying aspect to Gota’s prospective return. It comes with the full Rajapaksa package. Basil is overseeing an efficient, high-tech campaign—dreamt up, he says, while serving time in prison for corruption. Mahinda, who sparked a constitutional crisis last year by attempting to supplant the prime minister in a parliamentary coup, now intends to win the post via parliamentary elections next year.”
Discussing about the alternate to Gotabaya Rajapaksa, The Economist points out Ranil Wickramasinghe is not popular while popular Sajith Premadsa does not really know what he believes in.
“The 70-year-old seems to have thought of himself as the ideal candidate. But after a dismal term as prime minister, no one in his party shares his view. He has not yet come round to endorsing the ally with the best numbers in the polls, Sajith Premadasa, son of Sri Lanka’s third president. Mr Premadasa’s chief backers admit that not even the candidate himself really knows what he believes in.”