ලැප්ටොප් නැටුම හා අධ්‍යාපනයේ පරිහාණිය

නිදහස් දින පෙළපාලියේ ලැප්ටොප් නැටුමක් පිළිබඳ උපහාසාත්මක අදහස්වලින් සති අග සමාජ මාධ්‍ය පිරී ගියා. නැටුම්වලදි හුරු පුරුදු සවරං, රබන් වගේ සෞන්දර්යාත්මක දේ වෙනුවට ලැප්ටොප්, දුරේක්ෂ වැනි දේ ආදේශ වීම නිර්මානාත්මක ප්‍රකාශනය පැත්තෙන් කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක බව නම් ඇත්ත. හැබැයි, ඔය ලැප්ටොප් නැටුම නටන්නෙ නිකං කෙලි පැංචියො ටිකක් නෙමෙයි, උසස් පෙළ සමත් වෙලා අධ්‍යාපන විද්‍යා පීඨයක ගුරුවරියන් වෙන්නට පුහුණු වෙන ගුරු සිසුවියන් පිරිසක්. බිංගිරියේ පිහිටි වයඹ අධ්‍යාපන විද්‍යා පීඨයේ බහුතරයක් සිසුන් ඉගෙන ගන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් විෂයන්. මේ වනාහි අනාගත ගුරුවරු. එතකොට මේ නර්තන නිර්මානය කරන්නෙ ගුරුවරුන්ටත් උගන්වන ගුරුවරු.

මේ මාතෘකාව ඔස්සේ කතාවට පිවිසෙන එක හොඳයි. මේවා දන්න අය දන්නවා. ඒ වුණාට නිශ්ශබ්දව ඉන්නවා. මේ වෙනකොට අවුරුද්දෙ අන්තිම හරියෙ පෙර පාසල්වල තර තරගෙට විවිධ ප්‍රසංග තියෙනවා. මේවායේ මොනවද තියෙන්නෙ. විච්චූරණ ඇඳුම් ඇඳලා, ළමයින්ගෙ ලස්සන මූණුවල තලි තලි මේකප් උලලා, හයියෙන් සිංදු සීඩී වාදනය කරලා, ළමයි වේදිකාවෙ අතපය හොල්ලනවා. අඩු තරමෙ මේවායෙ ගායනයක්, බෙර පදයක්, නාට්‍යයක්වත් නැහැ. ඊට පස්සෙ පාසල්වලත් ප්‍රාථමික පංතිවල කොන්සට් ය කියලා මේක ම කරනවා. මේ දවස්වල පාසල්වල ස්පෝට්මීට් හෙවත් ක්‍රීඩා සංදර්ශන පැවැත්වෙනවා.ඒවායේ දැන් දැන් ක්‍රීඩාවලට වඩා අවධානය යොමු වන්නෙ වෙනත් බාහිර ආටෝපවලට. බොහෝ පාසල්වල මේකත් ඇඳුම් ප්‍රදර්ශනයක්. සරඹ සංදර්ශනය කියලා කරන්නෙත් ඇඳුම් ඇඳලා අර වගේ චොකා බයිලා නැටුමක්. දන්නවා ද, පාසල් බොහොමයක ගෑනු ළමයකුට මේකප් කරලා ඇතීනා කියලා දෙවඟනකට අන්දනවා. පිරිවරකුත් ඉන්නවා. මේ එක් අයෙකුගේ ඇඳුමට විතරක් රු. 10,000කට වැඩිය වියදම් කරනවා.

මේ වන විට පාසල්වල සංස්කෘතිය අන්තයට ම පිරිහිලා. ප්‍රධාන පෙළේ පාසල්වලට වඩා මේ පිරිහීම වැඩි මධ්‍යම මට්ටමේ අර්ධ නාගරික පාසල්වලයි. ඒකට හේතුව වන්නේ මෙම පාසල්වලට අර පැරණි ප්‍රධාන පෙළේ පාසල්වලට මෙන් දිගු කාලයක් මුළුල්ලේ රැක ගත් සම්ප්‍රදායන් නැතිකමයි. ඒ නිසා මේවා එන එන රැල්ලට ලේසියෙන් යට වෙලා යනවා. බොහෝ විට මේවායේ ආදි ශිෂ්‍ය සංගම් අරක් ගෙන ඉන්නේ ප්‍රාදේශීය චන්ඩි, රස්තියාදුකාරයන් හා වංගු ගසා සල්ලි හම්බ කර ගත් ධනවතුන්. පාසල් අතර තරගය නිසා එකිනෙකා අභිභවා කැපී පෙනෙන්නට සංදර්ශන පැවැත්වීමට තමයි බොහෝ පාසල්වල මුල් තැන දී තිබෙන්නේ. උන්නතිකාමී හා මුදල් හම්බ කිරීමේ අරමුණු ඇති විදුහල්පති හා ගුරු පරපුරක බිහි වීමත් මෙම තත්වය තීව්‍ර කිරීමට ඉවහල් වෙනවා. පාසල් සංදර්ශන පිටුපස කැරකෙන්නෙ වෙන මොනවාවත් නෙමෙයි, මුදලට, තනතුරුවලට හා කැපී පෙනීමට තියෙන අසීමිත කෑදරකම. මේ සංදර්ශන පිටුපස ඇඳුම් මැසීමේ, විවිධ සැපයුම් කිරීමේ බිස්නස් හා ටියුෂන් ජාවාරම් කැරකෙනවා.

ලංකාවේ අධ්‍යාපනය වානිජකරණය ඇත්තට ම සිදු වන්නේ ඉහළින් නොවෙයි, පහළින්. උදාහරණයක් විදියට වෙනත් රටවල පාසල් අතර තරගකාරිත්වය ඉහළ ගියේ නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිසායි. ඒ කියන්නෙ මුදල් අය කර දෙනු ලබන අධ්‍යාපනයට සිසුන් ආකර්ශනය කර ගැනීම සඳහා තම ගුණාත්මකභාවය පෙන්නීමට විභාග ප්‍රතිඵල හා විෂය බාහිර ක්‍රියාකාරකම් ආදිය පාවිච්චි කිරීමයි. ලංකාවෙ පාසල් අතර තියෙන තරගය කොච්චර ද කියනවා නම්, ඇතැම් වෙලාවට පාසල් අතර මහා ගෝරිත් ඇවිලෙනවා. ඒවාට පිදුරු දාන්නෙ ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන්, විදුහල්පතිලා වැනි අය. තමන්ගෙ ජයග්‍රහණ ගැන කියන්න ගමේ පාසල් පවා පාරට පේන්න තඩි ඩිජිටල් බැනර් දාගන්නවා. විභාග ප්‍රතිඵල ආදිය වාර්තා කර ගන්නට විදුහල්පතිලා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් පසුපස යනවා. ලංකාවෙ පාසල්වල අධ්‍යාපනය සඳහා වියදම දරන්නෙ රජය. පෙළ පොත්, නිල ඇඳුම්, සපත්තු ආදිය පවා නොමිළේ දෙනවා. සිසුන්ගෙන් අධ්‍යාපනය වෙනුවෙන් කිසිම අය කිරීමක් කරන්නට අවශ්‍ය නැහැ. හැබැයි එහෙම කරනවා. ඒ විතරක් නෙමෙයි, පාසල් අතර සිසුන් ආකර්ශනය කරගන්නට දැඩි තරගයකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජනප්‍රිය පාසල්වල සේවය කරන්නට ගුරුවරුන්, විදුහල්පතිවරුන් අතරත් තරගයක් තියෙනවා. ජනප්‍රිය පාසලක රැඳීම වෙනුවෙන් ඇතැමෙක් ආත්මය පවා පාවා දෙනවා.

වෙනත් රටවල ඉහළින් දියත් වූ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ඇති වුණ මෙම අධ්‍යාපන තරගකාරිත්වය ලංකාවේ පාසල්වල පහළ මට්ටමෙන් නිර්මානය කිරීම අධ්‍යයනය කළ යුතු තත්වයක්. ඒ වුණාට ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රඥයන්ට ඕවා අධ්‍යයනය කරන්නට වෙලාවක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ට වෙනත් වැඩ තියෙනවා. සයිටම් විරෝධය, ජවිපෙට ඡන්දය දීම, නලින් ද සිල්වාට උත්තරයක් හෙවීම වගේ.

ලැප්ටොප් නැටුම වගේ ජවුසන් එකක් ආවාම ඒකට බැන වදින එක මිසක් අපේ සමාජය ලංකාවෙ අධ්‍යාපන අර්බුදයෙ ගැඹුර හෙවීමක් කරන්නට යන්නෙ නැහැ. ලැප්ටොප් නැටුම හරියට මුහුදෙ පාවෙන අයිස් කුට්ටියක වතුරෙන් උඩ තියෙන කොටස වගේ. වතුරෙන් යට තමයි එහි වැඩි හරියක් තියෙන්නෙ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ පරණ ලීකෙලි නැටුම මොඩ් කිරීමකි

    ReplyDelete
  2. අදහස කාගෙ මුත් මදහස නම් අපගේ
    ලොව මුල් වරට එන ලැප්ටොප් නැටුම වගේ
    නිදහස එපා-එනවිට සමගින් මහගේ
    ජනපති තුමනි අරගෙන එව මඩු වලිගේ

    ReplyDelete
  3. මේ නැටුම ගිනස් පොතටත් යන්න බැරිකමක් නෑ කොම්පුටර් පිරරටින් ගෙනෙන සොෆ්ට්වෙයාර් හොරෙන් පාවිච්චි කරන අපි තමයි ලෝකයේ මෙවැනි නැටුමක් මුල්වරට පවත්වන්නේ කාටද ආඩම්බර ?

    මේක හොද නිදසුනක් රටේ ගුරුවරුන්ගේ නිර්මාණශීලි බව තේරුම්ගන්න, හදනවනම් මොනතරම් වන්නම් තියනවද ? බැදුම්කර වන්නම, අගමැති වන්නම ජනාධිපතිකම අහෝසිකරන වන්නම මන්ත්‍රී වන්නම වගේ කී දාහක් හදන්න බැරිද

    ReplyDelete
  4. මම නම් ලැප්ටොප් නැටුම දකින්නේ කුල්ලෙන් ගැහැණු ළමයින්ව ලිහන්න ගන්න උත්සාහය සංකේවත් කිරීමක් ලෙස. එහි අඩුපාඩු තිබිය හැකියි. ලංකවේ මිනිස්සු කොයිකටද හොඳයි කියන්නේ ? දෙන්නෙක් මුණගැහුනොත් පමුවෙන්ම කරන්නේ කාට හරි බනින එක නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ කියවීමක්. නමුත් සමස්ත අධ්‍යාපන ක්‍රමය ගෑණු සහ කුල්ල අතර සම්බන්ධය තවත් කර කරන පසුබිමක් තුළ (පැරා මෙහි මතු කරන තර්කය අනුව සමස්ත පරිහානිය නොදැක) නැටුම් නැටීම නාඩගමක් විතරයි. මේ තමයි අද දවසේ අපේ ගුරුවරුන්ගේ (බිංගිරියෙ විතරක් නෙවෙයි) නිර්මාණශීලීත්වය...!

      Delete
  5. ඉස්සරහට එන නැටුම් වර්ග: ටැබ් ඩාන්ස්, ටැබ් කැරකීම (රබන් කැරකීම වගේ) මොබයිල් ෆෝන් තාලම්පොට ගැහීම වගේ සෙල්ලමක් දැමීම,

    ReplyDelete
  6. අලි ජරමර
    --------
    පරසිඳු හිමි නමකි බෙල්ලන්විල පැත්තේ
    අලියෙක් ගැටගසාගෙන පන්සල් වත්තේ
    සියඹල දෙන්න ගියවිට හිමි ඒ පැත්තේ
    උස්සල පොලවේ ගහලයි මියගොස් ඇත්තේ

    සිතුල්පව්වෙ මේ දේ එලෙසම උනාය
    නැත නිච්චියක් හෙමිහිට අමතක උනාය
    හීලෑ අලිද වල් අලිදැයි නුවමනාය
    කාටත් මේව හොඳ පාඩම් ගතමනාය

    අලි රොෂාන්ටත් යලි යලි සිහි වේවා
    උඩුවේ හිමියන්ගෙ දෑසම පෑදේවා
    අලි විනිසුරාටත් හොඳ සිහි ඇතිවේවා
    අලි ජාවාරමත් මෙතැනින් නිම වේවා!

    ReplyDelete
  7. මුලු සමාජයම නරක්වෙලා තියෙද්දි,ඒ ගහේ පුංචි කොලයක් අරගෙන, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කෙරුවට තේරුමක් නැහැ.අවූරුදු 70 ඉතිහාසයෙ,මේ දේවල් කලේ,යුඇන්පී, ස්‍රීලංකා, හොරු කියන එක,ඕන මෝඩයෙකුට තේරෙනව.අඩුම තරමෙ මොනව හරි වෙනසක් වෙන්න,ජේවීපී එකට බලය දෙන්න ඕන කාලය ඇවිල්ලයි තියෙන්නෙ.ඒක හැමෝම දන්නව,ඒත් අපිට ජානවලින්ම ඇවිල්ල තියෙන කුහකත්වය ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා