මධ්‍යම පංතිය එක්ක අපට තියෙන ඇරියස් එක මොකක් ද?

මධ්‍යම පංතික ව්‍යාජ විප්ලවවාදීන්ගේ සංකේතයක් බඳු වන අප මිත්‍ර දාර්ශනික විදර්ශ කන්නන්ගර  
සමාජය පංති අනුව වෙන් වන්නේ නිෂ්පාදන සම්බන්ධතා මත මිස ලබන ආදායම අනුව නොවේ. 

ලංකාවේ බොහෝ පහළ මධ්‍යම පංතිකයන්ගේ ආදායම පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුපට වඩා අඩු ය. එබැවින් ඔවුන් පීඩිතයන් බව ඇත්තකි. පීඩිතයන් ධනපති පන්තියේ වුව සිටිය හැකි ය. ධනපති වුවත්, ගැහැණු, සම/සංක්‍රාන්ති ලිංගිකයන් සහ සුළුතර ජාතිකයෝ පීඩිතයෝ ය. 

ලංකාවේ වම පදනම් වන්නේ මෙම අපැහැදිලි පීඩිත පංති සංකල්පය මත ය. කම්කරුවන් මත නො වේ. එහෙයින් ඔවුන් පෙනී ඉන්නේ සමස්තයක් ලෙස ම මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමේ විසඳුම් වෙනුවෙනි. නිදසුනක් ලෙස, ඔවුහු දිවි හිමියෙන් පවත්නා අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ඇපකැප වෙති. හේතුව අන් කිසිවක් නොව, එමගින් මධ්‍යම පංතියට හොඳම පාසල් ටික අත්පත් කරගෙන, මහජන මුදලින් නොමිළේ පාසල් අධ්‍යාපනය ලබා, ටියුෂන් වෙළඳපොළෙන් අමතර වටිනාකම් ද ලබාගෙන  තරගකාරී උසස් පෙළ විභාගය හරහා නොමිළේ උසස් අධ්‍යාපන අවස්ථා ද තහවුරු කර ගැනීමට හැකි නිසා ය. 

නිදහස් අධ්‍යාපනය ලෙස එයින් වරප්‍රසාද ලබන මධ්‍යම පංතිකයන් විසින් නම් කර තිබෙන මෙම අධ්‍යාපන ක්‍රමයේ වරප්‍රසාදිත තත්වයන්ගෙන් කම්කරු පන්තික ජනයා බැහැර කර තිබේ. ඔවුන්ගේ ශ්‍රම හා ජීවන තත්වයන් තුළ කම්කරුවන්ට තම දරුවන් හොඳ පාසලකට ඇතුළත් කිරීම අති දුෂ්කර ය. පහේ ශිෂ්‍යත්වයෙන් පවා අවස්ථාව ලැබෙන්නේ අති දක්ෂ සුළු පිරිසකට පමණි. එම අවස්ථා ද හොඳ පාසල්වලට ප්‍රවේශය ලබා සිටින දරුවන් විසින් ම ඩැහැ ගන්නා ආකාරයක් ද දක්නට ලැබේ. 

පීඩිතයන් සම්බන්ධයෙන් අපට පක්ෂපාතිත්වයක් තිබෙනමුත් ඉතා පැහැදිලිව ම අප නම් පෙනී සිටින්නේ සමාජ වෙනස්කම් සිදු කළ හැකි හෙවත් එහි කර්තෘකයන් විය හැකි සමාජ පංති වෙනුවෙනි. ඒ ලොකු, කුඩා ව්‍යවසායකයන් හා ඵලදායී වැඩ කරන කම්කරුවන් ය. මධ්‍යම පංතියට සමාජ වෙනස්කම් සිදු කිරීමේ හැකියාවක් නැත්තේ අන් කිසිදු හේතුවක් මත නො ව, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඔවුන් ස්ථානගත වන ආකාරය අනුව ය. ලංකාවේ නම් ඔවුන් ස්ථානගත වන්නේ මහජනතාව සූරා කන ප්‍රධාන ම සමාගම ලෙස ක්‍රියා කරන රජයේ පාර්ශ්වකරුවන් ලෙසයි.  

ලංකාවේ කම්කරුවන් පමණක් නොව ව්‍යවසායකයන් ද සූරා කන ප්‍රධාන ම ධනේශ්වර සමාගම රජයයි. එය මහජන යුක්තියුක්තභාවය අපහරණය කරන අද්භූත සමාගමක් බව නො සලකා මහජන පොදු සම්මුතිය මත පදනම් වූ රජයක් ලෙස පමණක් සැලකීම විහිළුවකි. එයින් කරනු ලබන ප්‍රධාන සේවය වන්නේ එයින් යැපෙන මධ්‍යම පංතිය රැක ගැනීමයි. රාජ්‍ය සේවාවන් සිදු වන්නේ එම ක්‍රියාවලිය සාධාරණීකරණය සඳහා ප්‍රමාණවත් මට්ටමට පමණි. සරල උදාහරණයකින් මෙය තේරුම් ගත හැකි ය. ඕනෑම රජයේ පාසලකට, රෝහලකට, කාර්යාලයකට ගොස් බලන්න. එයින් කෙරෙන මූලික කාර්යය ඒවායේ සේවකයන්ට වැටුප් ගෙවීමයි. ඒවායේ වැඩ කරන අය වැඩ කරන්නේ එකී වැටුප් සාධාරණීකරණය කර ගත හැකි මට්ටමට පමණක් නො වේ යයි ඔබ සිතනවා ද? 

ලංකාව වෙනස් කරන්නට නම් කළ යුතුව තිබෙන්නේ මෙම රාජ්‍යය වෙනස් කිරීමයි. ලංකාවේ කළ හැකි විප්ලවය ද එයයි. එසේ නැතුව සමාජවාදී දෘෂ්ටිවාදීන් පිරිසක් බලය ගත්තා ය කියා මේ රජය මෙලෙස තබාගෙන ලංකාවේ දෘෂ්ටිවාදයන්ගෙන් කළ හැකි කැකිරි ගෙඩියක් නැත. ලංකාවේ වම්මුන්ගේ අරගලය වනාහි මධ්‍යම පංතියේ ඉහළ සහ පහළ අතර කඹ ඇදීමේ තරගයක් පමණි. 

ලංකාව වෙනස් කළ හැක්කේ ව්‍යවසායකයන්ට හා කම්කරුවන්ට පමණි. ලංකාවේ ප්‍රගතිශීලී පංති ඒවායි. අප කරන්නේ ඔවුන් සමග වැඩ කිරීමයි. අප වම සමග වැඩ නො කරන්නේ ඔවුන් නියෝජනය කරන්නේ ලංකාවේ ප්‍රතිගාමී ම පංතිය වන මධ්‍යම පංතිය නිසා ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විදර්ශ කන්නන්ගර, දීප්ති කුමාර ගුණරත්න, ගෙවිඳු කුමාරතුංග, නලින් සිල්වා සහ නිර්මාල් රංජිත් දේවසිරි යන අයවලුන් මට හිතෙන හැටියට නම් දර්ශනවාදීන්ය.මක්නිසාදයත් මේ කිසිවකු කියනදේ මට නොතේරෙන බැවිනි.

    ReplyDelete
  2. ලංකාව වෙනස් කළ හැක්කේ ව්‍යවසායකයන්ට හා කම්කරුවන්ට පමණි.

    ReplyDelete
  3. How much of parentage(approximately ) representing so called middle class? if this percentage exceeding 50% state has fair reason to maintain them because they are the majority.

    ReplyDelete
  4. ඔය හැම කොටස්ම සිටියොත් තමයි සිස්ටම් බැලන්ස් වෙන්නෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා