මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය
රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ. රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ. විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට හෝ ආණ්ඩුව හෝ තමන්ගේ පක්ෂය හෝ ගැන සිතා කටයුතු කිරීමක් නො වේ. ඒ වෙනුවට මෙම ගජමිතුරු කල්ලිය සිටින්නේ මනෝ රාජ්යයක ය. බලය රැක ගැනීමේ හෝ උවමනාවක් ඔවුන්ට ඇති බවක් නො පෙනෙන අතර කටයුතු කරන්නේ සිහිනෙන් ඇවිදින්නන් සේ ය. අගමැතිවරයාගේ මූලිකත්වයෙන් දියත් කර ඇති ආර්ථික හා සමාජ ප්රතිසංස්කරණ ක්රියාවලිය රජය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ අවශ්ය ඒවා ය. එහෙත්, තමන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව මුලින් තමන්ගේ පක්ෂය සමග ද, දෙවනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය සමග ද සාකච්ඡා කළ යුතු ය. ඉන් පසු ඒ පිළිබඳ ජනතාව අතර යහපත් සංවාදයක් ඇති කර ගත යුතු ය. ඒ කිසිවක් කිරීමේ උවමනාවක්වත්, හැකියාවක්වත් අගමැති වටා සිටින පිරිසට නැත. ජනාධිපතිවරයාගේ මූලික ගැටලුව වන්නේ දෘෂ්ටියක් න...