සිඟන්නන් මරා දැමීම බුදු දහමට එකඟ ද? | Is killing beggars in line with Buddhism?
(2010 ජුලි 06, W3Lanka ) ලංකාවේ අසංඛ්‍යයක් සමාජ විරෝධී ක්‍රියා සිදු වේ. දේශපාලකයෝ සහ නිලධාරීහු පගා ගනිති. ධනවත්තු බදු වංචා කරති. බලවත්තු පාතාලයට කොන්ත්‍රාත් දී සතුරන් මරවති. මත්කුඩු වැනි නීති විරෝධී ජවාරම්වල යෙදෙති. පොලිස් නිලධාරීහු අසරණයන් මරා මුහුදට විසි කරති. කොන්ත්‍රාත්කරුවෝ බාල අන්දමින් වැඩ නිමවා අසාධාරණ ලාභ ලබති. රජයේ සේවකයෝ වැඩ නො කර පඩි ගනිති. සිඟන ව්‍යාපාරය ද මෙවැනි සමාජ විරෝධී ක්‍රියා අතරින් එකක් පමණි. එහෙත්, අද ඒ සම්බන්ධ වෙනසක් තිබේ. එනම්, සෙසු සමාජ විරෝධී ක්‍රියා පසෙක තිබියදී සිඟන්නන්ට එරෙහිව පමණක් කිසියම් අද්භූත සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වෙමින් තිබීමයි. මේ වන විට සිඟන්නන් දහයක් පමණ මහ මඟ මරා දමා තිබේ. ඒ අතරින් වැඩිදෙනෙකු මරා දමා තිබුණේ ම්ලේච්ඡ අන්දමින් කළු ගල්වලින් හිස තළා චප්ප කර දමා ය. මෙම ක්‍රියා මෙහෙයවන ම්ලේච්ඡයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. එහෙත් මේ බෞද්ධ රාජ්‍යයැයි වාහනවල පවා ස්ටිකර ඇලවෙන මේ රටේ මෙම ක්‍රියාවලට කැමැත්තක් දක්වන, අනුමත කරන අය සිටිති. ටයි පැළඳි මෙවැනි ම්ලේච්ඡයෝ බ්ලොග් සටහන් පිළිබඳ අදහස් දක්වති...