Posts

Showing posts with the label ජේ. එන්. තිස්සනායගම්

තිස්සනායගම් නමින් පොතක් පළ වේ

Image
(2009 නොවැම්බර් 12 - W3Lanka )  විසි වසරකට සිරගෙට නියම කරනු ලැබ සිටින දෙමළ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනාගයගම් සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කරන වාමාංශික හා සිවිල් සමාජ සංවිධාන සම්මන්ත්‍රණයක් අද (12) පස්වරු 3ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ.  මෙහිදී තිස්සනායගම්ගේ නිදහස උදෙසා නමින් පොතක් ද එළි දැක්වෙන බව සංවිධායකයෝ පවසති.  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු කථිකයන් රැසක් සභාව අමතන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබෙන්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

තිස්සනායගම්ගේ සගයෝ නිදහස්

Image
(2009 ඔක්තෝබර්  26 - W3Lanka ) විසි වසරකට සිර ගෙට නියම කරනු ලැබූ දෙමළ මාධ්‍යවේදී ජේ. එන්. තිස්සනායගම් සමග නෝත් ඊස්ටර්න් මන්ත්ලි නම් ඉංග්‍රීසි සඟරාව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ ය යන චෝදනා මත වෙසර එකහමාරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි වෙට්‍රිවේල් ජසිහරන් හා ඔහුගේ බිරිඳ වලර්මදී අද දින අධිකරණය විසින් නිදහස් කරන ලදී. මාධ්‍යවේදී තිස්සනායගම් හට ඔහු විසින් ලියන ලද ලිපි මගින් මහජන කැළඹිලි ඇති කිරීමට උත්සාහ කරන ලද බවට, කොටි සංවිධාන‍යෙන් මුදල් ලබා ගත් බවට හා ත්‍රස්තවාදයට උදව් කළ බවට චෝදනා එල්ල විය. ඔහුට විරුද්ධව ප්‍රබල ම සාක්ෂිය වූයේ ඔහු විසින් ම දෙන ලද කටඋත්තරයකි. මෙය ස්වේච්ඡාවෙන් නො දුන් එකක් බව තිස්සනායගම් නඩු විභාගයේදී ප්‍රකාශ කළමුත් අධිකරණය එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බවට පිළිගත්තේය.

1989දී මහින්ද රාජපක්ෂට ඝාතනයට ලක් වූවන්ගේ ලැයිස්තු පරිවර්තනය කර දුන්නේ තිස්සනායගම්

Image
(2009 සැප්තැම්බර් 11 - W3Lanka) විශාල වශයෙන් ඝාතන සිදු වූ 1989 වකවානුවේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය විසින් ඝාතනයට ලක් වූවන් 200කගේ නාමලේඛනයක් සකස් කළ බව ද, එම නාම ලේඛනයට නම් බොහොමයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ නම් අයෙකු බව ද, මෙකී මහින්ද රාජපක්ෂ පසුව මෙම ලේඛනය ජිනීවාහි එක්සත් ජාතීන් වෙත රැගෙන යමින් සිටියදී කටුනායකු ගුවන් තොටුපළේදී එම ලේඛන අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව ද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරික නීතිඥ එස්.ජී. පුංචිහේවා ඊයේ (10) පැවසීය.  ඔහුවැඩිදුරටත් පැවසුවේ එදා එම ලේඛන සිංහල බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන්නේ දැන් විසි වසරක සිර දඬුවමකට ලක් වී සිටින ජේ.එන්. තිස්සනායගම් බවයි.  තිස්සනායගම් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ඊයේ මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රෙය් පැවති සම්මන්ත්‍රණයකදී පුංචිහේවා මහතා මේ බව පෙන්වා දුන්නේය.

තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක්

Image
(2009 අගෝස්තු 31 - W3Lanka )   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදී ජේ. එස් තිස්සනායගම්ට අද දින කොළඹ මහාධිකරණය විසින් විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී. තිස්සනායගම් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයකු ද, අවුට්රීච් එස්.එල්. නම් වෙබ් අඩවියේ හා නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ සංස්කාරකවරයා ද විය. නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ ඔහු විසින් පළ කරන ලද අදහස් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට හේතු විය.

තිස්සනායගම් නඩු තීන්දුව අද

Image
(2009 අගෝස්තු 31 - W3Lanka) නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් නම් මුද්‍රිත ප්‍රකාශනයේ අදහස් පළ කිරීම මුල් කොටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා වෙනත් නීති යටතේ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ තීන්දුව අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.  2008 මාර්තු 08 දින අත්අඩංගුවට ගනු ලැබූ තිස්සනායගම් අද වන විට වසරකුත් මාස පහක පමණ කාලයක් අත්අඩංගුවේ පසු වෙයි.