එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම

 

අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. පාසල් ප්‍රජාවේ ආකල්ප වෙනස් කිරීමෙන් සහ සමහර විට යටිතල පහසුකම්වල සුළු වැඩිදියුණු කිරීම් මගින් ශ්‍රී ලංකාවේ පාසල් වඩාත් අන්තර්කරණ හිතවාදී කළ හැකිය. පාසල්වල අන්තර්කරණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා 2019 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ එක්ව කටයුතු කරන අතර පාසල්වල අන්තර්කරණ අධ්‍යාපනය සිදුවන ආකාරය මෙම ලිපි මාලාවෙහිදී සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. මෙම කථා බොහෝ පාසල්වල සැබෑ ජීවිත අත්දැකීම් වන අතර ඒවා ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් පසුබිමක ක්‍රියාත්මක කළ හැකිය.

“මම දවසට තුන් පාරක් පාසලට එනවා. උදෙන් නැගිටලා  පුතා ලැහැස්ති කරගෙන කලින්ම පාසලට එනවා. දැන් එයා ශිෂ්‍ය නායකයෙකු නිසා වෙන සිසුන්ටත් කලින් පාසල් එන්න ඕනැනෙ. ඊට පස්සෙ විවේක කාලයට කලින් ඇවිත් පුතාට වැසිකිළියට යන්නට උදව් කරන්න ඕනැ. මම පාසල ඇරෙන්න විනාඩි පහකට කලින් ඇවිත් පුතා එක්කගෙන යනවා,” යි අප සමග පැවසුවේ ප්‍රාථමික පාසලකදී අපට හමු වූ මවක්ය. හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇගේ පුතා වන ළහිරුගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් පාසල හැඩගැසී තිබෙන අන්දම ගැන අපි සොයාබැලුවෙමු.

“මට එන්නට බැරි වුණොත්, අපේ නෑයෙකු හරි, පන්ති භාර ගුරුතුමිය හරි, පාසල් කාර්ය මණ්ඩලයේ කෙනෙකු හරි, වෙනත් ළමයකුගේ මව-පියා හරි ළහිරුට උදව් කරනවා,” යි ළහිරුගේ මව කීවාය.  “ගුරුවරුත්, විදුහල්පතිවරුත් මා එක්ක නිතර සාකච්ඡා කරනවා. ළහිරුගේ අවශ්‍යතාවන් අනුව පාසල අවශ්‍ය වෙනස්කම් කරනවා.”

“විදුහල්පතිතුමා පුතාගේ පන්තියට ගේට්ටුවට ආසන්නයෙන්ම තියෙන පන්ති කාමරය දුන්නා. තුන, හතර හ්‍රේණි දෙකේදීම පන්තිය තියෙන්නෙ එතන. හතරවන ශ්‍රේණියේ අනෙක් පන්ති වගේ පුතාගෙ පන්තියත් තියෙන්නට ඕනැ උඩ තට්ටුවෙ. ඒත්, පුතාට පඩි නගින්න බැහැනෙ.”

ළහිරු දෑත් හා දෙපා වර්ධනයේ ගැටලු සහිත, ඇවිදීමේ මෙන්ම දෑත්වලින් වැඩකිරීමේ ද දුෂ්කරතා ඇති පිරිමි ළමයෙකි. වෛද්‍ය  සැත්කම් මාලාවකට පසුව ඔහු දැන් කෘත්‍රිම පාද යුගලකින් සතුටින් ඇවිද යනමුත් පඩි නැගීමේ අපහසුව ඇතුළු ගැටලු රැසකට මුහුණදීමට ඔහුට සිදුවේ.

එහෙත්, “මට දැන් දුවන්නත් පුළුවන්,” යි ළහිරු පවසන්නේ අනාගතයේ තම ඇවිදීමේ හැකියාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අධිෂ්ඨානයෙනි.

“ළහිරු මේ පාසලට ඇතුළත් කරනකොට ඔහුට සාමාන්‍ය ළමයින් සමග එකම පන්තියක ඉගෙනගත හැකිද කියන ප්‍රශ්නය මතුවුණා. අපේ පාසලේ දුබලතා සහිත දරුවන්ට පහසුකම් අවමයි,” යි යි ළහිරුගේ පාසලේ ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පැවසීය. “ඒත්, අපි තීරණය කළා අනෙක් අභියෝග ජයගෙන ඔහුට සම අවස්ථා ලබාදෙන්නට. ළහිරුගේ පන්තිය භාර දුන්නේත් පළපුරුදු ගුරුවර ගුරුවරියන්ට. ඔහුට උදව් කරන හැටි ගැන අපි අනෙකුත් ගුරුවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට, අනෙකුත් සිසු සිසුවියන්ට වගේම මව්පියන්ටත් කියාදුන්නා.” 

සියලු සිසුන්ට ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකි වන පරිදි අධ්‍යාපන පද්ධතියේ ආකල්ප සහ භාවිතාවන් සැකසීම අන්තර්කරණ අධ්‍යාපනයට අයත් වේ. අන්තර්කරණ අධ්‍යාපන පසුබිමකදී සියලු සිසුන් පිළිගැනීමට සහ අගය කිරීමට ලක්වේ. ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නිවැරදි සහයෝගය ඔවුන්ට ලබාදීමට සෑම කෙනෙක්ම කැපවී ක්‍රියා කරති. අන්තර්කරණ අධ්‍යාපනය දුබලතා සහිත සිසුන්ට පමණක් නොව සියලුම ඉගෙන ගන්නන්ට ප්‍රයෝජනවත් වේ (මූලාශ්‍රය: https://www.allfie.org.uk/definitions/what-is-inclusive-education/).

school yard - before
school yard - after
ළහිරු සෙල්ලම් කරන මිදුල සංවර්ධනයට පෙර හා පසු

“අප සියලුදෙනා ඇතුළත් කරගත යුතුයි. දුබලතා නිසා කිසිම ළමයෙකු මගහැරී නොයා යුතුයි. ඒ නිසා අපි පාසලේ සීමිත පහසුකම් භාවිතා කරමින් ළහිරු වෙනුවෙන් කළ හැකි හැමදෙයක්ම කරනවා. ඒක අපේ වගකීම,” යි පාසලේ විදුහල්පතිවරයා පැවසීය.

“පාසලෙන් මට විශේෂ වරප්‍රසාද රැසක් සපයලා තිබෙනවා,” යි ළහිරුගේ මව පැවසුවාය. “මට ඕනැ වෙලාවක පාසලට එන්නට අවසර දී තිබෙනවා. ගේට්ටුවෙන් ඇතුළට විතරක් නෙමෙයි පන්ති කාමරය ළඟටම ඉතා හෙමින්, අනෙක් ළමයින්ට අවදානමක් ඇති නොවන විදියට ත්‍රිරෝද රථය ධාවනය කරන්නට පාසලෙන් මට අවසර හා උපදෙස් දී තිබෙනවා. ඒක පුතාට ලොකු පහසුවක්.“

“පළමු ශ්‍රේණියේ කුඩා සිසුන් වෙනුවෙන් වෙන්කර තිබුණු මෙම පන්ති කාමරය හතරවන ශ්‍රේණියේ සිසුන්ට ගැලපෙන පරිදි සකස් කරගන්නට අපට සිදුවුණා. ඒත්, අපි ළහිරු ගැන සෙසු දරුවන්ටත්, ඔවුන්ගේ මව්පියන්ටත් අවබෝධයක් ලබාදී තිබෙන නිසා ඒ හැමෝම සතුටින් ඒ ගැටලු විසඳාගන්නට දායක වුණා. ළහිරුගේ අධ්‍යාපන අවශ්‍යතා හා අයිතිවාසිකම් ගැන ඔවුන් සංවේදී කර තිබෙනවා,” යි ළහිරුගේ පන්ති භාර ගුරුතුමිය අප සමග පැවසුවාය.

“පාසලේ මේ ශ්‍රේණියට තිබෙන ළමා පුටු හා මේස ළහිරුගේ අවශ්‍යතාවන්ට ගැලපෙන්නෙ නැහැ. ළහිරුට පහසුවෙන් වාඩිවෙන්න, නැගිටින්න පුළුවන් විදියට ඩෙස්කුවක් හා පුටුවක් සැලසුම් කර සාදමින් තිබෙනවා. පාසල් ප්‍රජාව ඒකට උදව් කරනවා,” යි විදුහල්පතිවරයා පැවසීය.

“අපි හැමෝම ළහිරු එක්ක යාළුයි,” යි ළහිරුගේ මිතුරියක වන චමෝදි කීවාය. “අපි ළහිරුට උදව් කරනවා. ළහිරු අපටත් උදව් කරනවා.”

ළහිරු වෙනුවෙන් ගේට්ටුව අසල පන්ති කාමරය වෙන්කරදීම නිසා  ඇති වූ ගැටලුවක් වන්නේ වැසිකිළියට තිබෙන දුර වැඩිවීමයි.  

 “විවේක වෙලාවට ළමයින් එහෙ මෙහෙ දුවනවා. ඒ නිසා , මම කියල තියෙන්නෙ හැකි හැම වෙලාවකම විවේක කාලයට කලින් ඇවිත් ළහිරුට වැසිකිළි යන්නට උදව් කරන්න කියලා,” යි ගුරුතුමිය කීවාය. ළහිරුගේත්, අනෙක් දරුවන්ගේත් නිදහස වෙනුවෙන් පාසලෙන් එවැනි සැලසුම් සකස් කර තිබේ. ළහිරුට කෘත්‍රිම පාදවලින් ඇවිදීමේදී සමබරතාව රැකගැනීම ඉතා වැදගත්ය. විවේක කාලයේදී දුව පැන සෙල්ලම් කරන වෙනත් ළමයකු ඇඟේ හැපුණොත් ළහිරුට සමබරතාව නැති වී බිම වැටෙන්නට ඉඩ තිබේ.

ලංකාවේ පාසල් බොහොමයක වගේ ඒ පාසලේ ද වැසිකිළි, කැසිකිළි මූලික මට්ටමේ ඒවාය. ළහිරුට කොමෝඩයක් සහිත වැසිකිළියක් පාවිච්චි කිරීම පහසුය. ඒත්, පාසලේ දැනට එවැනි වැසිකිළියක් නැත.

“ළහිරු හැම දේටම දක්ෂ ළමයෙක්. දුබලතා බාධාවක් කරගන්නෙ නැතුව අකුරු ලියනවා. චිත්‍ර අඳිනවා. ක්‍රියාකාරකම්වලට සහභාගී වෙනවා. ක්‍රීඩා කරනවා. අනෙක් ළමයින් කරන හැමදෙයක් කරන්නට ඔහු උත්සාහ කරනවා. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදෙනවා,“ පන්ති භාර ගුරුතුමිය පැවසුවාය.

“ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත – වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත කියලා  කවියක් සුභාෂිතයේ තිබෙනවා. . ශාරීරික ආබාධ පුද්ගලයකුගේ හැකියාවන් පූර්ණ කරගන්නට බාධාවක් නොවිය යුතුයි. සියල්ලන් ඇතුළත් කරගන්නා අධ්‍යාපනයක් අපට අවශ්‍ය ඒ නිසායි,” විදුහල්පතිවරයා පැවසීය.

“අනාගතයේ මට අවශ්‍ය ඉංජිනේරුවකු වෙන්නයි,“ ළහිරු කියයි. තම ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ ඡායාරූප කිහිපයක් අපට පෙන්වමින් ළහිරුගේ ගුරුතුමිය පැවසුවේ ඔහු දැන් පවා ඉලෙක්ට්‍රොනික පරිපථ සමග සෙල්ලම් කරන බවයි.

“ළහිරුට හීන ගොඩක් තියෙනවා. එයාට හැම දෙයක්ම කරන්න ඕනැ. මම ඔහු වෙනුවෙන් මගේ උපරිම කැපවීම කරනවා. මගේ බරෙන් අඩක්ම පාසල කරට අරගෙන තියෙන එක ගැන මම ඉතා කෘතඥ වෙනවා. ළහිරුගේ අත අත් නොහැරීමයි අවශ්‍ය.” ළහිරුගේ මව පැවසුවාය.

දුබලතා හේතුවෙන් කිසිදු දරුවෙකු කොන් නොකළ යුතුය. අන්තර්කරණ අධ්‍යාපනය සියලු පසුබිම්වල සිසුන්ට එක්ව ඉගෙනීමට සහ වර්ධනය වීමට අවස්ථාව ලබාදෙයි. එය සැමට ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයකි. සියල්ලන් ඇතුළත් කරගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා පාසල්වලට කළ හැකි බොහෝ දේ තිබේ. ඒ හැම දේටම විශාල ආයෝජන අවශ්‍ය නැත. කුඩා වෙනස්කම්වලින් විශාල ප්‍රතිඵල ලබාගත හැකිය.  ඇත්තෙන්ම, විශාලතම වෙනස්කම් සිදුවන්නේ සිතුවිලි සහ ආකල්පවලයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කරන පරිදි, “ලෝකය පුරා දුබලතා සහිත දරුවන් මිලියන 240 ක් පමණ සිටින බව ඇස්තමේන්තු කර ඇත. සියලුම දරුවන්ට මෙන්ම දුබලතා සහිත දරුවන්ට ද ඔවුන්ගේ අනාගතය පිළිබඳ අභිලාෂයන් සහ සිහින ඇත. සියලුම දරුවන්ට මෙන්, ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය වේ. එහෙත්, දුබලතා සහිත දරුවන් බොහෝ විට ප්‍රතිපත්ති සම්පාදනයේදී නොසලකා හරිනු ලබන අතර, ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සහ සමාජ, ආර්ථික සහ දේශපාලන ජීවිතයට සහභාගී වීමේ හැකියාව සීමා කර තිබේ.”

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා