පැච්චෙකක් ගිය පුස්සයිකලේ වින්කලේ (සුන්දර ඉංගිරිසි)

 

අජිත් පැරකුම් ජයසිංහ

බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා.

හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්.

බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්.

එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා.

බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි.

“මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්.

බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්.

බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්,

  • හැඬල් එක (handle)
  • පැටල් එක (pedal)
  • පෝක් අත (fork)
  • බ්‍රේක් (break)
  • රිම් එක (rim)
  • ප්‍රේම් එක (frame)
  • චේන් එක (chain)
  • ස්පෝක් කූරු (spokes)
  • ඩයිනමෝව (dynamo)
  • තේලයිට් එක (tail light)
  • සීට් එක (seat)
  • සීට් කවරෙ (seat cover)
  • බෙල් එක (bell)
  • ස්ටෑන්ඩ් එක (stand)
  • ටයර් ටියුබ් (tyre and tube)

බයිසිකලේ දෙන්නෙක් යනකොට කියන්නෙ ඩබල් දාලා යනවා කියලයි. ත්‍රිබල් දාලා යන එක ටිකක් අමාරු වැඩක්.

බයිසිකල් ලයිසන් කරන්නට ඕනැ ඉස්සර කාලෙ නම්. දැනුත් ඒ නීතිය ඇති. ලයිසන් කළාම හම්බ වෙන තහඩු කෑල්ල බයිසිකලේ හයිකරගන්න ඕනැ. ලයිසන් නැති බයිසිකල් අල්ලලා පොලිස් රාළහාමිලා හුළං අරින කාලයකුත් තිබුණා, තල්ලු කරගෙන පලයල්ලා කියලා.

හුළං ගහන පොම්පෙත් ඉංග්‍රීසියෙන් ආපු වචනයක්. බයිසිකලේ හිටි ගමන් පැච් යනවා. පැච් එක ඉංග්‍රීසි වචනයක් වුණාට සිංහලෙන් පැච් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පංචර් (puncture).

බයිසිකලේ තියෙන ලෙඩක් තමයි බල්ලො අහුනොවෙන එක.

බයිසිකල් රෙපෙයාර් කරන තැන තමයි වින්කලේ. මේක ඉංග්‍රීසියෙන් Vinkle කියලා ලිව්වට එහෙම වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල නම් නැහැ. එය ලංකාවේ හැදුණු ඉංග්‍රීසි වචනයක් ලෙස ලෝකයට හඳුන්වාදිය යුතුයි කියලායි මං හිතන්නෙ. විංකලේ ඉන්නෙ විංකල් බාස්.

විංකල් බාස්ලා භාවිතා කරන තවත් වචන අපට අරුණ ප්‍රේමරත්න සහෘදයා මතක් කරදුන්නා. වෑල් එක, වෑල්කර, ඩස්පින් එක, ලැගෙජ් එක, මඩ්ගාඩ් එක.

පොල්ල හැදුණෙ pole කියන ඉංග්‍රීසි වචනෙන් බව දර්ශන උදය පෙන්වාදෙනවා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා