ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට; රටට ගැලපෙන සීමා


 June 1, 2021 Health Politics

අජිත් පැරකුම් ජයසිංහ

මා ජීවත් වන හද්දා පිටිසර ගමෙත් පසුගිය සතිය තුළ කොරෝනා මරණ දෙකයි. එක්කෙනෙක් 90+. අනෙක් කෙනා අසාධ්‍ය රෝගියෙක්. සතියකට විතර උඩදි ගමේ ගැහැණු කෙනෙකු බැන්ද පිරිමි කෙනෙක් කොරෝනාවෙන් මැරිලා සුදු කොඩියක් දැක්කා. ගමේ නෙමෙයි හැබැයි. වකුගඩු ලෙඩෙක්.

අප දන්නා හඳුනන බොහෝ අය දැන් දැන් කොවිඩ්-19ට ගොදුරු වෙනවා. මියයන අය අතරින් වැඩි පිරිස වැඩිහිටියන් හා බරපතල නිදන්ගත බෝ නොවෙන රෝගවලින් පෙළෙන අය. නිරෝගී පුද්ගලයන් කොවිඩ්-19 නිසා මියයන්නේ ඉතා කලාතුරකින්.

රජයේ දැක්ම කුමක්ද කියා මා දන්නේ නැහැ. අමානුෂික වුණත්, වඩා දේශපාලනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටියන් හා අසාධ්‍ය රෝගීන් මියයාම එතරම් කණගාටු විය යුතු තත්වයක් නෙමෙයි. රටේ තිබෙන්නේ ජන ජීවිත ගැන ඉතා සංවේදී රජයක් නම් වැඩිපුර මරණයට පත්වන කාණ්ඩ පහසුවෙන් හඳුනාගෙන ඔවුන්ට එන්නත් ලබාදීමේ හැකියාව තිබුණා. එහෙත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට එන්නත ලබාදුන්නේ නැති තරම්. ඒ වගේම, වකුගඩු රෝගීන් වැනි අසාධ්‍ය රෝගීන්ගේ එන්නත් නිලධාරීන් ඉතා අමානුෂික ලෙස හොරාකනවා. මේ ඇඳිරි නීති අස්සේ රෝගියෙකු එන්නට පොඩ්ඩක් ප්‍රමාද වුණොත් එන්නත නොදී හරවා යවා ඒ එන්නත් තමන්ගේ හිතවතුන්ට දෙන තැන් ගැන විස්තර කාටහරි ඕනැ නම් දෙන්න පුළුවන්. උපාය දූතයකු මගින් මේ වංචාව අතටම අල්ලාගන්න පුළුවන්. ඒ වුණත්, කාටවත් එහෙම අවශ්‍යතාවක් නැහැ. කාටවත් මේ සිදුවන මරණ අවම කිරීමේ අවශ්‍යතාවක්වත් නැහැ. මියයන රෝගීන් අතරින් විශාල ප්‍රතිශතයක් නිවසේදීම මරණයට පත්වෙනවා. නිවසේදී රෝගීන් කළමනාකරණය කරගන්නට ඉඩදුන්නත්, හදිසි අවස්ථාවකදී ඔවුන් වෙනුවෙන් උපකාරක සේවා නැති බව ඉතා පැහැදිලියි. සුවසැරිය ගිලන් රථ සේවය හැර වෙනත් විධිමත් වැඩපිළිවෙලක් මේ රටේ පොළවේ නම් නැහැ.

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්.

වැඩිහිටි හා නිදන්ගත රෝග තිබෙන අයට දැන් තිබෙන්නේ එකම විකල්පයයි. කිසිවක් නොකර ගෙදරට සීමා වීමයි. සමාජයේ අප සැවොම ඔවුන් රැකගැනීම සඳහා හැකි හැම උපකාරයක්ම කළ යුතුයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ඔවුන්ට මැරෙන්නට ඉඩහැරීම වුණාට සමාජ ප්‍රතිපත්තිය එයට ප්‍රතිවිරුද්ධ විය යුතුයි.

ප්‍රතිශත හරියට කියන්නට බැරිවුණාට, මේ වෙනකොට අපේ රටේ ජනගහනයෙන් සැලකියයුතු ප්‍රතිශතයකට කොවිඩ්-19 වැළඳිලා. අවිධිමත් වුණත්, එන්නත්කරණය හරහා මේ ලෙඩේ හදාගෙන ගොඩනගාගත් සමූහ ප්‍රතිශක්තිය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපට මෙම අභියෝගයට මුහුණදෙන්නට පුළුවන්. අලුත් ප්‍රභේද නිසා තව සැලකිය යුතු කාලයක් යනතෙක් ලෝකයටම කොවිඩ්-19 සමග පොරබදන්නට වේවි. ඒ නිසා කොවිඩ් සමග ජීවත් වන සාමාන්‍ය තත්වයට අප හැඩගැසිය යුතුයි.

මාතෘකාව මත ක්ලික් කර මේ ලිපිය කියවන්න:

COVID වරක් වැළඳුනොත් බොහෝ විට ජීවිත කාලය පුරාම ප්‍රතිදේහ ඇතිවෙයි

කොවිඩ්වලින් නිදහස් රටක් කියන ඉලක්කය ගැන ශ්‍රී ලංකාවට හිතන්නටවත් බැහැ. ඒ නිසා එවැනි මුග්ධ යෝජනා ඉදිරිපත් කරන ඇඳිරි නීති විශේෂඥයන්ගෙන් පරිස්සම් විය යුතුයි.

මේ දවස්වල ලංකාව තිබෙන්නෙ ඇඳිරි නීති පාලනයක් ඇතුළෙ. ඒ ගොන් ඇඳිරි නීතියට සංචරණ සීමා වගේ ලොකු නම් දාන්න ඕනැ නැහැ. ඇත්ත කතා කරමු. මේ ගොන් ඇඳිරි නීතිය ඇතුළු ප්‍රායෝගික නොවන නිරෝධායන රෙගුලාසි ලිහිල් කරන්න. බද්දේගම සමිත හිමියන්ට වගේ මේ රටේ අනෙක් මිනිසුන්ටත් අවසන් ගෞරවවලට සාධාරණ අවස්ථාවක් දෙන්න. කුරුණෑගල නගරාධිපතිට වගේම ලංකාවෙ අනෙක් චන්දිමාල් ජයසිංහටත් සීමිත පිරිසක් එක්ක උත්සවයක් පවත්වන්නට ඉඩදෙන්න.

රටට ගැලපෙන නිරෝධායන රෙගුලාසි සකස් කිරීමට යෝජනා ටිකක් පහත දැක්වේ. විශේෂඥ මත විමසා නිසි වැඩපිළිවෙලක් සකසාගත හැකිය.

  • සංචරණ සීමා මුවාවෙන් පවත්වාගෙන යන ඇඳිරි නීති ඉවත් කරන්න.
  • මිනිසුන්ට වැඩ කරන්නට ඉඩදෙන්න.
  • ඇඟලුම් කර්මාන්තශාලා වැනි කොවිඩ් බෝකරන මධ්‍යස්ථාන දැඩි නිරෝධායන නීතිවලට යටත් කරන්න.
  • දෛනික වැටුප් ලබන රැකියා කරන කම්කරුවන්ට වැඩකරන්නට ඉඩදෙන්න. ඔවුන් බොහෝදෙනෙකු වැඩකරන ආකාරයෙන් කොවිඩ් බෝවීම සිදුවන්නේ අවම වශයෙනි.
  • වාහන නඩත්තු ආදිය සිදුකරන ස්ථාන විවෘත කරන්න. කිසිවකු හේතුවක් නැතිව ඒවායේ යන්නේ නැත.
  • ගොඩනැගිලි ද්‍රව්‍ය, පොහොර වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අලෙවිකරන ස්ථාන දැඩි නිරෝධායන නීති යටතේ දිනපතා විවෘත කරන්න.
  • කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ නිදහස සපයන්න.
  • සිල්ලර වෙළඳසල්වලට සතියට දින කීපයක් පමණක් විවෘත කිරීමට අවසර දෙන්න. ඒ අනුව, සෑම දිනකම වෙළඳසල් සංඛ්‍යාවක් විවෘතව තබන්න. වෙළඳසල විවෘතව තබන දින ඔවුන්ට දොර අසල ප්‍රදර්ශනය කළ හැකිය.
  • ආහාරපාන හා මත්පැන් අලෙවිසල් බැහැරට ආහාර පාන ගෙනයාමට පමණක් අවසර සහිතව විවෘත කිරීමට ඉඩදෙන්න.
  • රෙදිපිළි, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ වැනි දේ විකුණන ස්ථාන සතියට එක් දිනක් පමණක් විවෘත කිරීමට අවසර දෙන්න.
  • පෞද්ගලික වෛද්‍ය සායන, රූපලාවණ්‍යාගාර ආදිය දැඩි නිරෝධායන නීතිවලට යටත් කර විවෘත කරන්න.
  • පොදු ප්‍රවාහනය ලංගමට පමණක් සීමාකරන්න. දුර ගමන් සේවා සඳහා හේතු දැක්වෙන ග්‍රාමසේවා නිලධාරි ලිපියක් අනිවාර්ය කරන්න.
  • ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවල සේවා 50%කින් අවම කරන්න. ත්‍රිරෝද හා වෙනත් කුලී රථ දැඩි නිරෝධායන නීතිවලට යටත් කරන්න.
  • ග්‍රාමසේවා නිලධාරි, පවුල් සෞඛ්‍ය නිලධාරිනී වැනි නිලධාරීන්ට වසම තුළ උපරිම කාලයක් රැඳී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න.
  • ගම් තුළ විනය හා උපකාරක සේවා පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක කමිටු සක්‍රිය කර ගම් මට්ටමින් දැනුවත් කරන්න.
  • රජයේ කාර්යාල සේවා 50%කින් පවත්වාගෙන යන්න. හැකිතරම් සේවකයන්ට නිවසේ සිට වැඩකිරීමට අවස්ථාව ලබාදෙන්න.
  • රජය විසින් නිකුත් කරන ලද, කල් ඉකුත් වූ බලපත්‍ර ආදියෙහි කාලය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කරන්න.
  • ණය වාරික, රක්ෂණ වාරික ආදිය සඳහා නැවත දැනුම් දෙනතුරු සහන කාලයක් ලබාදෙන්න.
  • බැංකු, මූල්‍ය, රක්ෂණ වැනි ආයතන දැඩි නිරෝධායන නීති යටතේ විවෘතව තබන්න.
  • පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල මාර්ගගත අධ්‍යාපනය විධිමත් කිරීමට හා පහසුකම් නොමැති දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්න. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පමණක් යෝග්‍ය පරිදි සිසුන් ආයතනවලට කැඳවන්න.
  • ක්‍රීඩා පිටි, ව්‍යායාම මංතීරු, මුහුදු වෙරළ වැනි ස්ථානවල ජනතාවට ව්‍යායාම සඳහා ඉඩ ලබාදෙන්න. නාන/ පිහිනුම් තටාක වසා තබන්න.
  • උත්සව, ප්‍රිය සම්භාෂණ, රැස්වීම්, පුහුණුවීම් ආදිය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන්න.
  • නිරෝධායන නීති උල්ලංඝනය කළ බව කියමින් මිනිසුන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම හා ඒ සම්බන්ධ මාධ්‍ය සංදර්ශන නවත්වන්න.
  • වසංගතයෙන් දේශපාලනය කරන, ජනතාව රැස්කර අවදානම වැඩිකරන, රු. 5,000 දීම නවත්වන්න. සමෘද්ධි හා වෙනත් සහනාධාර සාමාන්‍ය පරිදි ලබාදෙන්න.

ආර්ථිකය හා ජන ජීවිතය වනසන, කොවිඩ් පාලනය නොවන මේ ගොන් ඇඳිරි නීතිය වහා ඉවත් කරන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා