දිවයින හා චන්න ජයසුමන වැඩිම හානිය කළේ වෛද්‍ය වෘත්තියේ විශ්වසනීයත්වයට

අජිත් පැරකුම් ජයසිංහ

තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් වෛද්‍යවරයකු විසින් සිංහල කාන්තාවන් පළමු දරුවා ලැබෙන්නට සීසර් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාල අවහිර කර නිසරුභාවයට පත් කළ බවට වාර්තාව රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ බව ඔබ දන්නේ ය.
මෙම වාර්තාව දිවයින පුවත්පතේ තවත් එක් සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව පෙනේ. ඒ පිළිබඳ විමර්ශනයක් දැන් සිදුවෙමින් තිබේ. පුවතේ මූලාශ්‍රය ලෙස සඳහන් කර තිබෙන පොලිසිය දැනට පවසන පරිදි නම් තමන් එවැනි වෛද්‍යවරයකු ගැන දන්නේ නැත.
මෙය බොරු වාර්තාවක් නම් එය ද ඇත්ත වශයෙන් ම භයානක ත්‍රස්ත ක්‍රියාවකි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ආකාරයට ම එය සත්‍යයක් නම් ජනතාව අතර ගැටුම් ඇති කළ හැකි තත්වයකි. බොරු වාර්තාවක් නම් ජනතාව අතර වාර්ගික ගැටුම් ඇති කිරීමේ හා ඒ ඔස්සේ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කරන ලද ත්‍රස්තවාදී මාධ්‍ය වාර්තාකරණයකි.
දිවයින පුවත්පතේ මේ දීකිරට සාක්කි කියන්නට ඉදිරිපත් වූ බළලෙකු වූයේ වෛද්‍ය චන්න ජයසුමන ය. ඔහු තර්ක කළේ මෙසේ ය:

“අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.
“මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි.
“සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.”
මේ පිළිබඳ වෛද්‍යවරයකු සහ මාධ්‍යවේදියකු හා ලේඛකයකු ද වන රුවන් එම්. ජයතුංග මෙසේ පැහැදිලි කළේ ය:
” සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි. 
සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි. 
සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක්  වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.  
“සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය​. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි. 
“පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය.  ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම  පහසු ක්‍රියාවක් නොවේ.  මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.”
මෙම වාර්තාව සරල ලෙස ගෙන බැහැර කිරීම ඉතා වැරදි ය. මෙමගින් දැනටමත් සමාජයට විශාල හානියක් කර හමාර ය. එම හානිය වැඩියෙන් ම දැනෙන්නේ වෛද්‍ය වෘත්තිය නම් ගෞරවනීය, වගකීම් සහගත වෘත්තියට ය. වෛද්‍යවරයාගේ වෘත්තික විශ්වසනීයත්වය මෙම වාර්තාව විසින් දරුණු අන්දමින් සැකයට භාජනය කර තිබේ. එයට හවුල් වූ වෛද්‍ය චන්න ජයසුමන උත්සාහ කළේ එම හානිය ස්ථාවර කිරීමටයි. මේවා පිළිගත් ජනතාව අතරින් ඇතැමෙකු හෝ වාර්ගික පදනමින් මෙන් ම පොදුවේ ද වෛද්‍යවරයා සැකකිරීමට යොමු වීම භයානක තත්වයකි.
දිවයින වාර්තාව මෙසේ ය:
– සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ – 
දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ
(හේමන්ත ‍රන්දුනු)
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.
සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.
මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි‍්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.
තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා