ඇඳිරි නීති වෙනුවෙන් සටන් කර මර්දනය කැඳවාගත් හැටි

 

අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය අගෝස්තු 20 ලංකාව පුරා ඇඳිරි නීතිය පනවන්නට පෙර දිවයින පුරාම උද්ඝෝෂණ රැල්ලක් පැනනැගී තිබිණි. පොහොර නැති නිසා ගොවීහු උද්ඝෝෂණ කළහ. ගුරුවරු වීදි බැස සිටියහ. කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍යයන් අවදි වී තිබිණි. වැඩි වන බඩු මිලට එරෙහිව ජවිපෙ කාන්තා සංවිධාන වීදියට කැඳවා තිබිණි.

මේ අතර කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් තිබිණි. රෝගීන්ගෙන් රෝහල් පිරී යාමත් සමග කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය සම්බන්ධයෙන් එදා සිටම පැවති ගැටලුව උත්සන්න විය. රෝගීන් කළමනාකරණය සම්බන්ධ ගැටලුව යනු අන් කිසිවක් නොව ලෙඩුන්ට කිට්ටු වීමට දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ අධික බියයි. බොහෝ රෝගීන් මියයන්නේ හරිහමන් ප්‍රතිකාරයක් නැති නිසා බව කොවිඩ් වාට්ටුවල සිටි අයත්, සෞඛ්‍ය සේවකයෝත් දනිති.

මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැනි ආයතන විසින් රට ලොක්ඩවුන් කළ යුතු යයි මතයක් ප්‍රචාරය කළ අතර, විශේෂඥයන් කියන බව කියමින් වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සමාජය මෙන්ම ජනමාධ්‍ය, ෆේස්බුක් පෙරළිකාරයන් හා වෙළඳ සංගම් ආදිය පවා රට වසනු යයි කියමින් ආණ්ඩුවට තර්ජනය කරන්නට පටන් ගත්තේය.

ආණ්ඩුව වැහුවේය. වැහුවාය කිව්වාට වහලාත් නැත. ඇරලාත් නැත. දේශපාලකයෝ මත්පැන් පාටි දමා හෙලිකොප්ටර් ටුවර් පවා යති. බන්ධනාගාරවලට පැන සිරකරුවන් බයිට්ටෙකට ගනිති. රෝහල් කුරුස ලේබල් ඇති අයට ඕනෑ දිහාවක යා හැකිය. ඕනෑ වාහනයකට ඕනෑ ගමනක් යා හැකිය. ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් වැනි දුප්පතුන්ගේ වාහන පමණක් ඉඳහිට පරීක්ෂා කරනු ලැබේ. එහෙත්, මොකක් හෝ බොරුවක් කියා ගමන යා හැකිය. කරදරයට පත්වී තිබෙන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන අයයි. ත්‍රිරෝද රථවලට කුලී ගෙවාගත නොහැකි අයයි.

දැන් දැන්, රෙදි කඩ පවා ඇරලාය. වෙළඳ ව්‍යාපාර කරන්නට අවශ්‍ය පස්ස දොරක් පමණි. බඩු විකුණන්නේ හොරෙන් නිසා කේවල් කිරීම් නැත. මිල යනු හිතෙන ගානකි. කොලිටිය කියා දෙයක් නැත. පොලිසියට ද හොඳය. බිස්නස් කරන්නට නම් පොලිසිය සතුටු කළ යුතුය. ඒ කියන්නේ ඒගොල්ලන්ට සැලකිය යුතුය. නැතිනම් කඩ වැසිය යුතුය. ආණ්ඩුව වහන්නේ නැතිනම් අපි වහනවාය කියූ වෙළඳ සංගම් දැන් සොයාගන්නටත් නැත. ඡායාරූපයේ තිබෙන්නේ කිරි පෝලිමකි. මත්පැන් පෝලිම්වල ඡායාරූපවලින් මේ දර්ශන යටපත් කෙරේ.

පොලිසියට පීචං වෙමින් හොරෙන් කඩ ඇරගෙන ඉන්නට අකැමැති මුදලාලිලා දත්මිටි කමින් සිතුවේ ඇරපන්කො 21, දෙන්නන්කො බඩු ගන්න එන එවුන්ට කියාය.

මේ අතර, ඕනෑ හාම්පුතෙකුට ඕනෑ සේවකයකු නෙරපා හැරිය හැකිය. පඩි නොගෙවා සිටිය හැකිය. පැමිණිලි කරන්නට කෙනෙකු නැත. ආණ්ඩුවේ කන්තෝරු වහලාය. ආණ්ඩුවේ කන්තෝරු වසා ඇති නිසා පිංපඩිකාරයන් වැඩට අදින මස්කරත්ත වන දුම්රිය නම් සල්ලි කන යකඩ යකුන් දුවවන්නටත් ඕනෑ නැත.

කඩ වහලා නිසා බඩු ආනයනය කරන්නට ඕනෑත් නැත. පස්ස දොරෙන් බඩු විකුණාගෙන හිස්වන රාක්කවලට අලුත් බඩු නැත. බඩුගන්නට පීඩිතයන් අත මුදල් ද නැත.

නැති බැරි අයට දෙනවාය කියූ රුපියල් දෙදාහට වෙච්ච දේ දන්නේ දෙයියෝය. ආදායම් නැති අයට මොනවා වෙනවාදැයි කවුරුත් හොයන්නේ නැත. වමේ පක්ෂ, වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ආදියේ රට වසන්නට මොරදුන් අයටත් ප්‍රශ්නයක් නැත. ඔවුන්ට රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් පඩි ලැබෙනවාය. ඒ නිසා ඔවුන්ට කරන්නට තියෙන්නේ කඩවලින් බඩු අරගෙන කාලා බීලා කූල් එකේ කවි, කතා එහෙම ලියාගෙන ඉන්න එකය. ඉඳහිට පාටියක් දමා ෆේස්බුක් එකේ ෆොටෝ දමා ෆුල් ෆන් එකේ ඉන්නා බව පෙන්නිය හැකිය. ඔවුන් විසින් විමුක්තිය සලස්වා දෙන්නට නියමිත සැබෑ පීඩිතයන්ට කසිප්පුත් නැති වුණාට උන්ට මොකද?

මේ අතර, පෙරටුගාමීන්ට ආණ්ඩුව දුන් කොවිඩ්-19 සමග රිමාන්ඩ් වීමේ කළුකුඩු බස්නෙට බිය වූ අති වාමාංශිකයන් සුබසාධනයට බැස දැන් ඉස්පිරිතාලවල සිංදුකීම වැනි හොඳ වැඩ කරන විනීත ළමයින් බවට පත්වී තිබේ.

පීඩිතයන් කන හැටි දන්නේ ඔවුන්ගේ ගෙවල්වල ලිග්ගල්ය. ඔවුන්ගේ ප්‍රශ්න විකුණන් කන්නටවත් ජනමාධ්‍ය නැත. පත්තර විකිණෙන්නේම නැත. කිරිපිටි දැන්වීම් ආදිය නැති නිසා රූපවාහිනීවලට ද මහජන ප්‍රශ්න සොයන්නට උකුස්සන් යවන්නට සල්ලි නැත. දෙරණේ ඊනියා උකුස්සා ඉගිලෙන්නේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි මිලට විකුණන දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් වැනි සමාගම්වලට තරගකාරී වූ වෙනත් වෙළෙන්දන් අල්ලන්නටය. ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට පොලු තියලාම උනුත් දැන් හාඩප්ය. කොළඹට නිව්ස් එවන්නට ඔවුන්ට ඩේටා ටිකටවත් සල්ලි නැත.

උද්ඝෝෂණවලට යන්නට සැරසෙන්, එල්ලවෙන් කියා සිටි ගුරු මහත්ම මහත්මීන් ගෙදරය. දැයේ දරුවන්ගේ අධ්‍යාපනය හබක්ය. මේ අතර, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාල ද ටියුෂන් මුදලාලිලා ද තමන්ගේ සේවාවන් කරගෙන යති.

පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අඩු නිසා රෝගීන් වාර්තා වන්නේ අඩුවෙනි. රෝගීන් පෞද්ගලික සායනවලින් ප්‍රතිකාර ලබන නිසා දොස්තරලාට හොද්ද බොරය. දැන් දැන් කොවිඩ්-19ට ඇති බය ද සල්ලි නිසා අඩුවෙලාය. රෝගීන් ටිකට් කපා ගෙදර යවන නිසා රෝහල්වල රෝගීන් අඩුය. දහදාහේ බඩු මල්ල නොදෙන නිසා කවුරුවත් නිරෝධායනය වෙන්නට ද උනන්දු නැත. කොවිඩ් වගේ නම් ෂේප් එකේ දවස් කීපයක් ඉඳ සුපුරුදු ලෙස ජීවත් වෙන නිසා දැන් ලෙඩ්ඩුන් හැමතැනමය. කෙසේ වෙතත්, එන්නත දෙන නිසා අමාරු වෙන, මැරෙන සංඛ්‍යාව අඩු වී තිබේ. මැරෙන මහල්ලන් හා බහුවිධ රෝගාබාධ ඇති අය එන්නත ඇතත්, නැතත් මැරෙති. තවමත් දවසකට සීයකට වඩා රෝගීහු කොවිඩ්-19න් මැරෙති. එහෙත්, දැන් කොවිඩ් පාලනය වී ඇතැයි කට්ටිය කියති. කොටින්ම කියනවා නම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙටත් දැන් රට ඇරගන්නට ඕනෑය. පද්මා ගුණරත්න සද්ද නැත.

එහෙත්, දැන් රජයට රට අරින්නට උවමනාවක් නැත. උන්ට දීර්ඝකාලීන දැක්මක් නැත. එන එන හැටියට ගහ උලුවස්සාය. නහයට උඩින් වතුර ගිය පසු තව කොච්චර ගියත් කමක් නැත. මොනවා වුණත්, උද්ඝෝෂණ නැත. පෙළපාලි නැත. නිරෝධායන ඇඳිරි නීතියය. විප්ලවවාදියෝ, ආණ්ඩු විරෝධියෝ ගෙවල්වලය. ආණ්ඩුව ස්ථාවරය. තියෙන දෙයක් විකුණාගෙන ආණ්ඩුව පුළු පුළුවන් හැටියට කරනවාය. වෙන මොකුත් නැති වන විට සුදුළූනු ගෙඩියෙනුත් මාටියා ගහනවාය. ආහාර නිෂ්පාදනය හා වෙළඳපොළ පවා කම්බස් කර උන්ගේ අතවැසියන් අතට ගන්නවාය. සාගතය හා දුර්භික්ෂය වේගයෙන් රට වසාගනිමින් තිබේ. අපි නිහඬව බලා සිටිමු.

අයියාට මේ රජ ගේ හදා දුන්නේ කවුද? මල්ලී, මේ අපම තමාය. දේශපාලනිකව නිවැරදි වීම හැම මොහොතකදීම වැදගත්. පොලිටිකලි ඉන්කරෙක්ට් යනු බ්ලොක් ඇන් ඩිනෝ විහිළු තේමාවක් පමණක් බව මතක තබාගන්න.

Adapted from praja.lk

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?