2019-09-07

මට හිතෙන හැටි – සැබෑ ගොවියෙක් කතාකරයි

මනෝජ් ප්‍රේමකීර්ති

මම ගොවියෙක්. මා ජීවත් වෙන්නේ ගොවිතැනින් උපයන ආදායමෙන්. දරුවන්ට කන්න බොන්න, ඉස්කෝලවල යවලා උගන්නන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, ගමන් බිමන් යන්න, රටේ තොටේ කටයුතු වලට, ගෙවල් දොරවල් හදන්න, ඇඳුම් පැළඳුම් ගන්න, මෙකී නොකී සියලු දේට වියපැහැදම් කරන්න වෙන්නේ ගොවිතැන් කරලා, එළවළු වවලා, කුඹුරක් කරලා ඒ අස්වැන්න විකුණලා ගන්නා ආදායමෙන්.
මං ගොවිතැන ඇර වෙන රස්සාවක් කරන්න ඉගෙන ගෙන නෑ. (ඒකත් හරියට දන්නේ නෑ)
Sinhala Tamil English Translations and Content Writing
දැන් රටේ හැමෝම වවනවා. දොස්තරලා, ඉංජිනේරුවෝ, ව්‍යාපාරිකයො, ගුරුවරු, වෙනත් ඉහළ රැකියාවල් කරන අය, වෙන එකක් තියා දේශපාලකයෝ, මෙකී නො කී හැමෝම වවනවා.
ඒ දේවලට ලොකු ප්‍රචාරයක් දෙනවා. ඒ මදිවට රූපවාහිනීය, රේඩියෝ වැඩසටහන් ඒ ගැන ආස හිතන දිරිමත් කරවන දේ, ආධාර උපකාර, උපදෙස් ලබාදෙනවා. බොහෝ විට හේතු හැටියට කියන්නෙ, වස විස නැති පිරිසුදු එළවළු, පලතුරු ලබා ගන්න තියෙන හොඳම මග ඒක ය කියලා.
මං අහන්නේ මගේ රස්සාව විනෝදයට ඒ අය කළාට මට බැරි වෙලාවත් ගුරුවරයෙක්, දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක්, ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක්, කරන දේ කරන්න පුලුවන්ද?
ගොවියා වගා කරන දෙයට වස විස එකතු කරන්නේ කැමැත්තකින් නොවෙයි. ඒවා ගැන මං පස්සේ දවසක කියන්නම්. කවුරුත් තමන්ට අවශ්‍ය එළවළු පලතුරු හැදුවොත් අපි වගේ ගොවියො හදන ⁣⁣⁣⁣⁣⁣⁣⁣දේ විකුණන්න කාටද? මට ජීවත් වෙන්න ඕන ආදායම් ලැබෙන්නේ කොහොමද?
මට හිතෙන්නේ එතන ලොකු අවුලක් තියෙනවා කියලා. තම තමන්ට අයිති රාජකාරි බෙදාගෙන කරනවා නම් කවුරුත් හොඳින් ජීවත් වෙයි. නැතිනම් කොටසක් වලපල්ලට යයි. මං කියන දේ හරියට ගලපල ලියන්න මට බැරි මගේ තේරුම්කම අඩු නිසයි. ඒ ගැන නොහිත මා කියන දෙයෙහි ඇති ගැඹුර ගැන හිතන්න. මා වැරදි නම් හරිගස්සන්න. අඩුපාඩු සම්පූර්ණ කරන්න. වැරදි ඇතොත් සමාවෙන්න.
මේ කතාව කියන්නේ මං වුණත් මේක රටේ හැම ගොවියකුගේ ම කතාව කියලයි මට හිතෙන්නේ. මට තරමින් වත් මේක කියාගන්න ඒ අය⁣ට බැරිකමයි ප්‍රශ්නය… 
මතු සමබන්ධයි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.