වත්කම්, බැරකම් හා ජඩකම්

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ)

දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන. එහෙත්, දේශපාලකයන් සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ නම් 225කි. ඔවුන්ගේ ගණන සීමිත ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව දසදහස් ගණනකි. ඔවුන්ගේ වත්කම්, බැරකම් කෙරෙහි මීට වඩා අවධානය යොමු විය යුතු බව ලංකාවේ මහජනයා ප්‍රමාණවත් තරම් වටහාගෙන නැත. වැඩි අවධානයක් යොමු වන්නේ දේශපාලකයන්ට ය.
Sinhala Tamil English Translations and Content Writing
එයට හේතුව, ලංකාවේ දේශපාලනය යනු මහජන මුදල් ගසාකන ඉල්ලමක් වී ඇති බැවිනි. දේශපාලකයන් හැසිරෙන්නේ ඔවුන් විශාල මහජන සේවාවක් කරන්නා සේ ය. තැන් තැන්වල පීත්ත පටි කපමින්, කතා පවත්වමින් දුවන ඔවුන් වෙනුවෙන් මහජන මුදලින් වරප්‍රසාද රැසක් සැපයේ. තීරු බදු රහිත වාහන යනු ඒ අතරින් ප්‍රධාන ඉල්ලමකි.
හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගැනීමට පළාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන දෙවරක් උත්සාහ කළේ ය. පළාත් සභා මන්ත්‍රීන්ට වාහන වරප්‍රසාදයක් දෙන්නේ මහජනතාවට සේවය කිරීමට ය. දැන් මේ මන්ත්‍රීවරුන් සේවය කර හමාර ය. අප ඔවුන්ට ස්තුති කරනවා මිස තව තවත් ඔවුන්ට දොල පිදේනි දිය යුතු නැත. උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37කට මෙම වරප්‍රසාදය දුන් බව හැරෙන්නට වෙනත් කිසිදු තර්කයක් මෙම තීරු බදු සහනයට අදාළ නැත.
එහෙත්, මෙම වාහන බලපත්‍රය බලාගෙන ණය ගත් අය ද සිටින බව අපි දනිමු. ඔවුන් මෙය ලැබෙනතෙක් බලාසිටින්නේ ණය බේරා, ඊළඟ ඡන්දයට වියදම් කිරීම සඳහා විය හැකි ය. දේශපාලකයන් ගතකරන්නේ ඉතා වියදම් අධික ජීවිත බව ද ඇත්තකි. ඔවුන්ගේ මූලික වැටුප් එතරම් ඉහළ මට්ටමක නැත. ඒ නිසා ඔවුන් තමන් වෙනුවෙන් වෙනත් විවිධ වරප්‍රසාද අනුමත කරවාගෙන තිබේ.
නුදුරේ පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස දැනටමත් ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර තිබේ. ඒවායේ වියදම දැනටමත් රු. මිලියන සිය ගණනකි. මේ මුදල් ලබාදෙන්නේ කවුරු ද? ඒවා කළමනාකරණය කරන්නේ කවුරු ද? ඒවා කෙසේ ගිනුම්ගත වේ ද? මේවා ලංකාවේ දේශපාලනයේ කිසිදා හෙළිදරව් නොවන අභිරහස් ය.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා මුදල් අවශ්‍ය ය. මුදල් දෙන අය මී කඩන්නේ අත ලෙවකන්නට නොවිය හැකි ය. දේශපාලකයා බලයට පැමිණි පසු ඔවුන්ට සැලකිය යුතු ය. ඒ.එස්.පී. ලියනගේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට තානාපතිවරයකු වන්නේ අපේක්ෂකයන් වෙනුවෙන් කරන සාර්ථක ආයෝජනවල බලයෙනි. මේ අතර, දේශපාලකයෝ ද ගිය වියදම් ආපසු සොයන්නටත්, අනාගත ඡන්ද වෙනුවෙන් වියදම් කරන්නටත්, හත්මුතු පරම්පරාවක් දක්වා ජීවිත ගොඩදාගන්නටත් අයථා මාර්ගවලින් මුදල් ඉපැයීමට පෙළඹෙති. රජයට සැපයුම් කරන, රජය සමග කොන්ත්‍රාත් කරන, රජයෙන් යටිතල පහසුකම් ආදී වරප්‍රසාද ලබාගන්නා ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස්, කොමිස්, සන්තෝසම් ලබාගැනීම සාමාන්‍යකරණය වී තිබේ. රජය සමග කරන ගනුදෙනුවලින් මෙම ව්‍යාපාරිකයන් අධික ලාභ ලබන නිසා ඔවුන්ට එම අවස්ථාව ලබා දෙන දේශපාලකයන් වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නට ඔවුන් මැලි නැත.
මෙමගින් නිර්මානය වන්නේ දූෂණයේ විෂම චක්‍රයකි. බොහෝ දේශපාලකයන් මේ වන විට එම විෂම චක්‍රයේ ගොදුරු බවට පත් වී හමාර ය. දේශපාලකයන් තම වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීමට තදබල මැලිකමක් දක්වන්නේ ඒ නිසා ය.  
1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශන පනත අනුව කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායකවරයාට ද, අමාත්‍යංශ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ද යනාදී වශයෙන් විවිධ ආයතනවල නිලධාරීන් සිය ආයතන ප්‍රධානියාට සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුතුය. 1988 අංක 74 දරණ වත්කම් බැරකම් සංශෝධන පනත අනුව, මහජනතාවට මෙම වත්කම් බැරකම් ප්‍රකාශ මුදලක් ගෙවා ලබාගත හැකි ය.  
නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිලි කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පියවර ගෙන තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත්තේ ය.
තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීමට ද නියෝගයක් පනවන ලදී.
මේ අතර, ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පළමු වතාවට විවිධ දේශපාලන පක්ෂවලට අයත් හත්දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත් කළ හ. තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක සහ සයිඩ් අලි සහීරි මව්ලානා එම මන්ත්‍රීවරුන් හත්දෙනා ය. ඔවුන්ගේ 2017 හා 2018 වසරවල වත්කම් බැරකම් ප්‍රකාශ දැන් ප්‍රසිද්ධ ය. ඒවා සන්සන්දනය කර ඔවුන් අයථා අන්දමින් මුදල් උපයා තිබේ ද යන්න දැන් පුරවැසියන්ට ද අවබෝධ කරගත හැකි ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ වත්කම්, බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කින් හතක් පමණක් වීමයි.
ඇමතිවරුන් අතරින් අටදෙනෙකු නීති ප්‍රකාරව වත්කම්, බැරකම් ප්‍රකාශයට පත් කර නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ඇමතිවරුන් වන්නේ සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, එම්.එච්.ඒ. හලීම්, මනෝ ගනේෂන්, හරින් ප්‍රනාන්දු සහ නවීන් දිසානායකයි.
මෙම වරදට රු. 1000කට නොවැඩි දඩයක් හා/හෝ සිර දඬුවමක් නියම කිරීමට පුළුවන.
වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීම දේශපාලකයකුට, රාජ්‍ය නිලධාරියකුට තම පිරිසිදුකම හා විනිවිද පෙනෙනසුළුබව ඔප්පු කිරීමට එය කදිම අවස්ථාවකි.
එහෙත්, වත්කම් බැරකම් ප්‍රකාශන ලිපිගොනුවලට පමණක් සීමා වී තිබේ. පොදු ජනතාවට පහසුවෙන් මෙම ලිපි ගොනුවලට අවතීර්ණ වීමට බැරි ය. එසේම, ඒවායේ නිරවද්‍යභාවය තහවුරු කරගැනීමට ද ක්‍රමවේදයක් නැත. ජනමාධ්‍ය විසින් හෝ ඒවා පිළිබඳ විධිමත් විශ්ලේෂණ සිදුකරන්නේ නැත. ඒ සඳහා නීතිමය බාධකයක් නැතත්, තවමත් ඇතැමෙකු 1975 පනත අනුව යමින් මේවා රහස්‍ය ලේඛන ලෙස සලකති. 1975 පනත යටතේ මෙම ලේඛන ලබාගත හැකි වූයේ අධිකරණ නියෝගයක් මත පමණක් වුව ද වර්තමාන නීතිය යටතේ ඕනෑම පුද්ගලයකුට වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත හැකි ය. වත්කම් බැරකම් ප්‍රකාශන පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ යොදාගත හැක්කේ නඩුවකදී සාක්ෂි වශයෙන් පමණි. එහෙත්, තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට බාධාවක් නැත.  
වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ හැකි ය. විවෘත සහ මනා පිළිවෙලකින් යුතුව පාර්ලිමේන්තු තොරතුරු අන්තර්ජාලය හරහා නිදහස් කළ යුතු බව OpeningParliament.org පෙන්වා දෙයි. එමගින් පුරවැසියන්ට ඒවා පුළුල් පරාසයක මෙවලම් භාවිතා කරමින් විශ්ලේෂණයට සහ නැවත පාවිච්චියට අවස්ථාව ලැබේ. පාර්ලිමේන්තු තොරතුරු පහසුවෙන් සොයාගත හැකි විය යුතු ය. එසේම, තොග වශයෙන් බාගත කරගැනීමේ හැකියාව ද තිබිය යුතු ය. ඒවා ගවේශණය කිරීම සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කරගැනීමේ අයිතිය ද ජනතාවට තිබේ.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)