ඕස්ට්‍රේලියාවේ ඡන්ද රැස්වීමකදී

නාලිකා කල්පගේ විසිනි

මා උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ දැනට ජීවත් වන ශ්‍රී ලංකාවේ පදවිය ගොවි ජනපදයේ උපන් කාන්තාවක්. දේශපාලන විද්‍යාව ඉගැන්වූ ගුරුවරියක ද නිසා මෙහි ජීවත් වන සමයේ මට අවස්ථාව ලැබෙන ආකාරයට මා මේ රටේ සමාජ, දේශපාලන කටයුතු නිරීක්ෂණය කරනවා.
ඕස්ට්‍රේලියාවේ දේශපාලනය සර්ව සම්පුර්ණ යයි මම මෙයින් නොකියමි. නමුත් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට මෙන්ම ලොවේ සතර දෙසින්, ගුවනින් මෙන්ම බෝට්ටුවකින් වුව පැමිණෙන මිනිසුන්ට, මිනිසුන් ලෙස ම ජීවත්වීමට අවශ්‍ය පසුබිම ඇති වාසනාවන්ත රටක් බවට ඕස්ට්‍රේලියාව නිර්මාණය කර ඇත්තේ මහත්මා දේශපාලනය තුළිනි. කුමන පක්ෂයක් බලයට පත්වුවද එම පසුබිම එලෙසම පවතී. එමගින් පිළිබිඹු වන්නේ දේශපාලන පක්ෂ වශයෙන් වෙන් වුව ද ජාතියක් ලෙස එක මතයක සිට ඕස්ට්‍රලියනුවන් රට සුරකින බවයි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ආණ්ඩුවේ බලය ඇත්තේ ෆෙඩරල් පක්ෂයටයි. 2020 වසරේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණය පැවතීමට නියමිත ය. ඒ සඳහා සුදානම් වන පක්ෂ මේ වනවිට දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරතව සිටී. නමුත් දේශපාලකයින්ගේ ඡායාරුප ඔවුන්ගේ හිතුමනාප තැන්වල ප්‍රදර්ශනය කිරීමට අයිතියක් නැත. ඔවුන් එලෙස කරන්නේ ද නැත. ඒ සඳහා වෙන්කළ ස්ථාන ඇත. සාමාන්‍ය සමාජය තුල මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ උණුසුමක් ද නැත. එයට හේතුව දේශපාලන පක්ෂ අතර බලය මාරු වීම මෙරට මිනිසුන්ගේ ජීවන රටාවට විශේෂ බලපෑමක් නොවීමයි. මිනිස්සු සුපුරුදු ලෙස තම දෛනික කටයුතුවල නිරත වෙති. නමුත් අනිවාර්යයෙන් ඡන්දය පාවිච්චි කළ යුතු ය. හේතුව මෙරට ඡන්දය භාවිතා නොකිරීම දඩ විඳීමට සිදුවන වරදකි. පක්ෂ බලධාරීන් විසින් ජනතාව දැනුවත් කරනු ලැබේ. ඒවා ද ලක්ෂ ගණන් ජනතාව රැස්කර සිදු නොකරයි. රැස්වීම් ශාලාවල ඉතා ක්‍රමානුකුලව එම වැඩසටහන් සංවිධානය කරයි.
වෙනස දැකීමේ අරමුණින් පසුගිය දිනක මම ද එවැනි වැඩසටහනකට සහභාගී වුයෙමි. එය මෙම ප්‍රාන්තයේ (බටහිර ඔස්ට්‍රේලියව) ලිබරල් පක්ෂ නායිකා සහ විපක්ෂ නායිකා “Liza Harvey (ලිසා හාවී)” මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවතිණි.
සවස 6.30 පමණ වනවිට, පැමිණෙන අමුත්තන් ව සංවිධායක මහතකු විසින් අතට අත දී සුහදව පිළිගන්නා ලදී. මා ශ්‍රී ලාංකිකයකු බව ද ඔස්ට්‍රේලියාවේ ඡන්ද හිමියකු නොවන බව ද, නිරීක්ෂකයකු ලෙස සහභාගි වන්නට ලැබුණු ආරාධනාව මත පැමිණි බව ද කීවෙමි. මා ඡන්දදායකයකු නොවුණා ය කියා ඔවුන්ගේ සුහදකම අඩු වූයේ නැත. ඔවුන්ගේ සංස්කෘතිය අනුව මේ සීත ඍකුවේ වයින් සහ ෆින්ගර් ෆුඩ් (කෙටි කෑම) සුදානම් කර තිබුණි. එන සියලු දෙනා කමින් බොමින් දේශනය පටන් ගන්නා වෙලාව එන තෙක් සතුටු සංවාදයේ යෙදුන හ. පැමිණි විපක්ෂ නායිකාව ද සාමාන්‍ය කාන්තාවක් ලෙස ම තමා විසින්ම ලබාගත් බීම වීදුරුව සහ කෑම කමින්, සුහදව අන් අය සමඟ ආ ගිය තොරතුරු කතාකළා ය. පැමිණ සිටි අන් අයටද ඇයව දුටු විට බයාදු හෝ යටහත් පහත් නැතිනම් වහල් බවක් ඇතිවනවා මා නොදුටුවෙමි. ඇය ද එතැන එක සාමාජිකාවක් විය. ලංකාවේ නම් මෙවැනි දේශපාලකයකු පැමිණෙන විට අමුතු ම තත්වයක් නිර්මාණය වනු මම දැක ඇත්තෙමි. මෙය මට අමුතු තත්වයකි. ලංකාවේ බොහෝ දෙනාටත් එය එසේ විය හැකි නිසා මෙම සටහන ලියමි.
ඉන් පසුව සියලු දෙනා අසුන් ගත් අතර විපක්ෂ නායිකාව සහ අනෙකුත් අමාත්‍යවරුන් විසින් තම පක්ෂය ජයග්‍රහණය කළහොත් ඉටුකරන දේශපාලන සැලසුම්, ප්‍රතිපත්ති ඉතාම ක්‍රමානුකුලව, අර්ථාන්විතව ඉදිරිපත් කරන ලදී. පසුව ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්න ඇසීමට සහ තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි. එහිදී විවිධ ප්‍රශ්න අසන ලද අතර ඒවාට සුහදශීලීව පිළිතුරු ලබාදුනි. කිසිදු වාග් ප්‍රහාරයක් ඔවුනොවුන් අතර ඇති නොවිණි. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ අඩුපාඩු, පෞද්ගලික තොරතුරු ආදිය එහිදී කතා කළේ නැත. ඉදිරිපත් කළේ තමාගේ පක්ෂය ජයග්‍රහණය කළහොත් ජනතාවට සලසන සේවය සහ එය ඉටුකරන ආකාරය පමණි. ලංකාවේ පැවැත්වෙන මෙවැනි රැස්වීම්වලට සහභාගි වී ඇති මට එය අපූරු වෙනසක් විය.
මෙය මහත්මා දේශපාලනය නොවේද? එලෙස වීමට හේතු මොනවා ද? අපට එසේ වීමට බැරි ඇයි? මම සිතමි. ඔබේ අදහස් කියන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා