ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් බේරා ගැනීම
ලංකාවේ ළමයින්ට සමාජයෙන් රැකවරණයක් නැති බව ඕනෑ ම දෙමව්පියකු පිළි ගන්නවා ඇත. ළමයින්ට අඩු ම රැකවරණයක් ලැබෙන තැනක් වන්නේ පාසලයි. පාසලේදී ඔවුහු නිරන්තර හිංසනයට ලක් වෙති. දිළිඳු හා අඩු උගත්කම් ඇති සමාජ තීරයන්හි උපදින ළමෝ නිරන්තරව ශාරීරික, මානසික හා ලිංගික පීඩාවන්ට ලක් වෙති. අනාථ ළමයි අනාථ නිවෙස්වල අසරණ වෙති. රජයෙන් ළමයින් රැකවරණ සපයන්නට තිබෙන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පිටින් අමතර ආයනයක් ලෙස පිහිටුවන ලද ජාතික ළමාරක්ෂක අධිකාරියේ භූමිකාව මේ වන විට දැඩි මතභේදයට ලක් වී තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය කටයුතු කරන ආකාරය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියා කලාපයට සමාන ය. එය වැඩ කරනවාට වඩා කරන වැඩ පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීම කෙරෙහි උනන්දුවක් දක්වයි. එසේ වන්නේ ඇයි? එක පැත්තකින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන තරම් බලයක් හෝ ළමා හිමිකම් ආරක්ෂා කර දීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. විශේෂ දුරකථන අංක ආදිය සකසාගෙන ළමා අපචාර පිළිබඳ පැමිණිලි භාර ගත්තාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය එයට නැත. අදාළ ආයතන ක්‍රියාකාරී කරවා ගැනීමට අවශ්‍ය මෙහෙයවීම කිරීමට ද...