පෙෂාවර් ප්‍රහාරය හා අර්බුදයෙන් අර්බුදයට යන පකිස්තානය
වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයේ හමුදා සාමාජිකයන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට කඩා වැදුණු තලිබාන් ත්‍රස්ත කණ්ඩායමක් පංතියෙන් පංතියට යමින් වෙඩි තබමින්, බෝම්බ ගසමින්, දුටු දුටු පාසල් දරුවන් 130කට අධික පිරිසක් හා පාසලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මරා දැමූ හ. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හ. මෙම පාසල හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන්නකි. එහි හමුදා පවුල්වල ගැහැනු පිිරිමි දරුවෝ රැසක් ඉගෙනුම ලබති. එහි වෙනත් සිවිල් වැසියන්ගේ දරුවෝ ද ඉගෙනුම ලබති. පෙෂාවර් යනු පකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා රාජ්‍යයේ අගනුවරයි. ෆෙඩරල් පාලනයක් සහිත ගෝත්‍රික ප්‍රදේශවල පරිපාලන අගනගරයයි. එය පිහිටා ඇත්තේ පකිස්තාන් ඇෆ්ගනිස්තාන් දේශ සීමාව ආසන්නයේ ය. පැය අටක පමණ අනතුරුදායක කාලයකින් පසු හමුදාව විසින් තුවක්කුකරුවන් සත්දෙනෙකු මරා දමා තිබේ. ඔවුන් බෝම්බ ඇඳුම් ඇඳ සිටි මරාගෙන මැරෙන භට පිරිසකි. පකිස්තානු තලිබාන් කණ්ඩායම මේ මහා ඝාතනයේ වගකීම ප්‍රසිද්ධියේ භාර ගත් හ. පකිස්තානු රජය තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය. මිනිමැරුම් සම්බන්ධයෙන් අත්හිටුවා තිබුණු මරණීය දණ්ඩනය යළි ප්‍රකාශයට පත් කරන්නට ද ආණ්ඩුව කටයුතු කර තිබේ....