සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක්
අජිත් පැරකුම් ජයසිංහ මේ සතිය අර්බුද දෙකක සතියකි. පළමුවැන්න වඩා වැදගත්ය. එය අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සමග සම්බන්ධය. ජුලි මස සිට එම ප්‍රතිලාභ ලබාදෙන අයගේ තාවකාලික ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමගම තැන් තැන්වල උද්ඝෝෂණ ආරම්භ විය. සමෘද්ධිය ලැබුණු පිරිසකගේ නම් ලේඛනයේ නැති බව කියැවිණි. එසේම, සුදුසු නැති අයගේ නම් ලේඛනයේ ඇති බව ද කියැවිණි. රජය පැවසුවේ, ලේඛනය නිවැරදි කිරීම සඳහා වහා අභියාචනා හා විරෝධතා ලබාදෙන ලෙසයි. ඒ සඳහා ජුලි 10 දක්වා කල් ලබා දී තිබේ. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය නිවැරදි කිරීම සඳහා ක්‍රමවේදය එයයි. එහෙත්, සිදුවන්නේ වෙනත් දෙයකි. පොහොට්ටුවේ සිට සජබ, ජවිපෙ, එක්සත් ජනරජ පෙරමුණ හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වාම විරෝධතාවාදීන් කියන්නට පටන් ගත්තේ එකම දෙයකි. එනම්, තට්ටු දෙකේ ගෙවල් තියෙන අයට දීලා, දුප්පතුන් කපලා වැනි පොදු කතාය. ඔවුන් මෙසේ කියන්නේ කිසිදු සාක්ෂිමය පදනමකින් තොරව බැලූ බැල්මෙනි. නැතිනම්, හැමෝම කියන නිසාවෙනි. බොහෝ දේශපාලන ක්‍රියාධරයන් මෙතෙක් කල් අස්වැසුම ගැන කිසිදු අවධානයක් යොමු නොකළ අතර ඔවුන්ට එය පසුබිමේ සිදුවූ දේ ගැන අවබෝධයක් ද නැත. විස්මිත කරුණ වන්නේ මෙත...