වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම

 

අජිත් පැරකුම් ජයසිංහ

බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර?) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්.

ඉතාම මතු පිට තලයේ දී, යෝජනා කරන්නේ අපේ රටේ ග්‍රාමීය කෘෂිකර්මය ප්‍රතිසංස්කරණය විය යුතු බවයි. එහිදී අප නවීන ලෙස සිතන්න බිය නොවිය යුතු බවයි. ‘වී’ යනු සම්ප්‍රදායික ගතානුගතික සමාජය නියෝජනය කරන හැඟවුම්කාරකයක් වන්නේ නම් රෝස’ යනු නූතනත්වය, අනාගතය, විකල්පය හඟවන වචනයකි. නැවතත්, ‘රෝස’ යන්න 90 දශකයෙන් පසුව පශ්චාත්-නූතන වෙළඳ සංකේතයක් ලෙස ජාන විකෘතියකට ලක් වුවත්, 90 දශකයේ අවසානයේ දී එමගින් ජනිත කළ නවීනත්වය පිළිබඳව බලාපොරොත්තුව තේරුම් ගැනීම අපහසු නැත. අන් සියල්ලට වඩා, මේ සටන් පාඨය මගින් අපේ රටේ ජාතිකවාදී කතිකාවට විකල්ප වූ දේශපාලනයක් පිළිබඳව අදහස තියුණු ලෙස සංකේතවත් කරන ලදී. එම සංකේතය අපට ශක්තිමත් අන්තර්ගතයකින් පිරවිය නොහැකි වූ බව සත්‍යයකි. මෙම පළමු London සඟරාව පල වී ගත වූ දශක දෙක තුළ අපට දැක ගත හැකි වූයේ ‘රෝස’ වලට එරෙහි ‘වී’ වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් දේශපාලනයේ ජයගත් දශක දෙකකි. නමුත් අප දැන් අත්දකිමින් සිටින්නේ එම ‘වී දේශපාලනයේ’ උත්කෘෂ්ඨ කඩා වැටීමයි. එය කෙතරම් උත්ප්‍රාසජනක වන්නේ ද යත් එය වී වගාව පවා අවසාන කරමින් කඩා වැටෙමින් තිබේ. එම නිසා අද, විරුද්ධාභාෂික ලෙස, වී වගාව බේරා ගැනීම වෙනුවෙන් ‘වී වෙනුවට රෝස මල්’ ගෙන එන දේශපාලනයකි. එහි ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්නේ කෙසේ ද යන්න, අපේ රටේ නිවැරදි ඉඩම් ප්‍රතිසංස්කරණයකට යන්නේ කෙසේ ද යන්න සාකච්ඡා විය යුතු සංයුක්ත ගැටලු වෙයි. මේ සියල්ල සඳහා අපට – අමරසේකරගේ ම වචන වලින් කියන්නේ නම් – වසල වෙළඳ කුලය වෙනුවට අපේ රටේ ග්‍රාමීය බහුතරය ගැන සිතන, ඔවුන්ට යහපතක් ගෙන ගිය හැකි ආර්ථික ප්‍රතිසංසකරණයක් යෝජනා කරන දේශපාලනයක් අවශ්‍ය වෙයි. ‘වී වෙනුවට රෝස මල්’ යනු මේ විකල්ප දේශපාලනයේ නිවැරදි සටන් පාඨය කියා අපි තවම සිතමු.

අමුවෙන්ම කියනවා නම්, මහින්ද රාජපක්ෂගේ අසමත් වීමෙන් අනතුරුව ඉතුරු වුණ වී තමයි ජවිපෙ. ජවිපෙට වී එෆ්එම් කියල රේඩියෝ එකකුත් තිබුණා. වී එෆ්එම් ව්‍යාපෘතිය ෆේල් වෙලා ඒක පෞද්ගලීකරණය කළේ දශකයකටත් වඩා කලින්. ඒක තමයි ජවිපෙ උභතෝකෝටිකය. ජවිපෙ දන්නවා වී ව්‍යාපෘතිය අසාර්ථක බව ඒ නිසා තමයි වීඑෆ්එම් විකිණුවෙ. හැබැයි, ජවිපෙට රෝස ව්‍යාපෘතියට උරදෙන්න බැහැ. ඒකට හේතුව නිර්මාල් රංජිත් දේවසිරි කලින් ලිපියක ලිව්වා. ඒ කියන්නෙ, ජවිපෙ හිතන්නෙ දිළින්දෙකු විදියට. ජවිපෙට රෝස සංස්කෘතිය හා වෙළඳපොළ තේරෙන්නෙ නැහැ. ඒ නිසා ජවිපෙ වීඑෆ්එම් අතහැරියත් වී අතහරින්නෙ නැහැ. බෙල්ල නැතත් කඳ ෆයිට්. ‘වෙල ළඟ නළ සමග තුටින – රණට දිලෙන දමක ලෙසින – තුරුණු වියට උරුම කියන වී මල් පබා’ කියල වී ව්‍යාපෘතියේ සංකේතීය කලාකරුවකු වන සේනානායක වේරලියද්ද වී ව්‍යාපෘතියේ විමුක්ති ගී ගයා තිබෙනවා මතකද?

දැන් ඉස්සරහට ලියන ටික තමයි ඔයගොල්ලන්ට මළ පනින හරිය. ඒ කියන්නෙ, රනිල් තමයි රෝස. එහෙම කිව්වාම බලන්නකො රනිල්ගේ ලිංගික දිශානතිය ගැන තියෙන කතා එක්ක පවා රෝස පාට සමග තියෙන ඒක ගෑනු පාටක්ය කියන ඒකාකෘතික සමාජ සම්මතයන්ගෙ තියෙන ගැලපීම. රෝස පාට පීඩිතයන්ගෙ පාට. රතු පාට රාජපක්ෂලාගේ ඊනියා කුරහන් පාටට කිට්ටු පාටක් වෙන්නෙ නිකම් නෙමෙයිනෙ. ඒවා පසුගාමී පීඩකයන්ගෙ පාටවල්.

රනිල් ඉදිරියට ගෙනියන්නෙ මේ වී වෙනුවට රෝස ව්‍යාපෘතිය තමයි. ඒක හරි ආක්‍රමණශීලී ව්‍යාපෘතියක්. විප්ලවීය ලෙස වේදනාකාරීයි. ඒ මැද්දෙ ෆන් එකකුත් තියෙනවා. ඉස්කෝලවල කොල්ලන් අතරෙ මං දැකල තියෙනවා සම්බෝල කඩනවා කියල සෙල්ලමක්. ඒකෙදි කරන්නෙ බෝලෙ අතට අහුවෙන එකා වෙන කාට හරි වේදනාකාරී විදියට බෝලෙන් පහරදීම. හැමෝම බෝලෙ ගන්න පොරකනවා. කාට හරි රිදෙන්න ගහනවා. කාට වුණත් කමක් නැහැ. අන්න ඒ වගේ පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු බූලිවලින් ගහගන්නවා. බූලිවලින් ගහගන්නකොට සද්දෙ තරම් වේදනාව නැහැ. කොහෙත්ම මාරාන්තික නැහැ.

රනිල්ගෙ රෝස ව්‍යාපෘතිය මුල්බැසගන්න බව පෙනෙනකොට නිර්මාල් අපි හැමෝගෙම කලිසං අස්සෙ තියෙන කපපු නැති වඳුරු වලිග කොටේට ආමන්ත්‍රණය කරලා කියනවා දිළිඳු විදියට හිතන ජවිපෙ වගේ එකක ආණ්ඩුවක් තමයි අර්බුදය කළමනාකරණය කරන්නට අවශ්‍ය කියලා. ඒකෙන් ඇත්තෙන්ම අර්බුදය කළමනාකරණය වෙනවා. ඒ වෙන්නෙ මෙහෙමයි. මුලින්ම ජවිපෙ කියන අර්බුදය කළමනාකරණය වෙනවා. වැරදිලාවත් පැරණි ජීවිතය කඩා වැටී අලුත් ජීවිතයකට හැඩගැසෙන්නට සිදුවීමේ වේදනාව දරාගත නොහැකිව සිටින ජනතාව එකුතු වෙලා අමාරුවෙන් හරි ගල උස්සලා අනුර කුමාරගෙ කර උඩින් තිබ්බොත් ආණ්ඩු බලය ඇතුළෙ ජවිපෙට සිදුවෙනවා දිළින්දන් විදියට හිතන එක නවත්තන්න. රනිල් නැතත්, රනිල්ගෙ රෝස ව්‍යාපෘතිය ජවිපෙටත් ඉදිරියට ගෙනයන්නට සිදුවෙනවා. වෙන විකල්පයක් නැහැනෙ. රනිල් දැනටමත් විප්ලවයට අත්තිවාරම දමලා ඉවරයි. ඒ මෙහෙමයි.

මුලින්ම ලංකාව ආදායමේ හැටියට වියදම් කරන ජනතාවක් හා රජයක් තියෙන රටක් වෙන්න වෙනවා. දැනට රජයේ සංස්ථා සියල්ල පාඩු ලබන බැවින් ඉන් එකක් වත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව රනිල් ජූනි 28දා මාධ්‍යවලට කියනවා. එදාම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය එක්කයි, අයිඑම්එෆ් දූතපිරිස් එක්කයි සාකච්ඡා පවත්වනවා. ඒ නමින් ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු හිටියා මතකද? මේ ජනක රත්නායකගෙ ඇඳුම බලන්න. ඒක ටිකක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගෙ ඇඳුම වගේ. රෝස ව්‍යාපෘතියෙදි ලංකාව ලෝකයට විවර වෙන දොරටුව තමයි ඉන්දියාව. ජනක රත්නායක ඊට කලින් ලංකා විදුලිබල මණ්ඩලේට ටොපිය දීලායි එන්නෙ. ඒක මෙහෙමයි:

විදුලි ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යයෙන් යුත් ලංකා විදුලිබල මණ්ඩලය 87%ක විදුලිබිල වැඩිකිරීමක් ඉල්ලාසිටිද්දී, මහජන උපයෝගිතා කොමිෂන් සභාව 58%ක වැඩිවීමක් අනුමත කරනවා. ජනක රත්නායක ලංවිම වසරේ වියදම් ඇස්තමේන්තුවක් ඔහු ලබාගන්නවා. එය රු. බිලියන 512යි. විදුලි බිල වැඩි කරන්නට අවසර දෙනවා. එමගින් විදුලිබල මණ්ඩලය රු. බිලියන 555ක් උපයාගත යුතුයි. රජය දෙන්නෙ ටිකයි. ඒ කියන්නෙ බිලියන 65යි. වී වෙනුවට රෝස ලංවිමට එන්නෙ එහෙම. විදුලිබල පනතත් සංශෝධනය කරලායි තියෙන්නෙ.

මේ අතරෙ තෙල් සංස්ථාවට මොකක්ද වෙන්නෙ? තෙල් සංස්ථාවෙ තෙල් කඳුළක් නැතුවත් තෙල් මිළ වැඩිවෙනවා. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක වීම. වී ව්‍යාපෘතියෙ මාධ්‍ය පෙරමුණ වන සිරස රවුං කර කර ‘ආණ්ඩුව’ මෙච්චර මෙච්චර තෙල්වලින් බදු ගහනවා, හයියෝ අසාධාරණායි කියනවා. වී ව්‍යාපෘතිය පට්ට ගොන් වෙනවාය කියන්නෙ උන් කියනවා ආණ්ඩුව ඔවුන්ගේ සුඛ විහරණයටය මේවා කරන්නෙ කියලා. උන් හංගනවා. ලක්ෂ 22ක් විතර රජයේ සේවයයි, අනෙකුත් සුබසාධනයි පවත්වාගෙන යන්නෙ ඒ බදුවලින්ය කියලා. වී කියන්නෙ බොරුවම තමයි.

මේ අතරෙ අයිඕසී තෙල් බෙදනවා. වේලි වේලි තියෙන සිපෙට්කෝ ෂෙඩ් අයිඕසීයෙන් තෙල් ගනීවි. කංචන විජේසේකර කටාර් ගිහින් තෙල් වෙළඳපොලට තව සැපයුම්කරුවන් ආදේශ කරන්නට සාකච්ඡා කරනවා. තෙල් සංස්ථාවෙ නිලධාරි පඩි අරගෙන බකන්නිලාගෙන ඉන්නවා. ඒ තමයි වී ව්‍යාපෘතිය. රෝස තමයි කංචන.

වී වෙනුවට රෝස ව්‍යාපෘතිය පටන්ගත්තෙ කෘෂිකර්මාන්තයෙන්. හැමෝම බැන්නත්, මොන අඩුපාඩු සිදුවුණත්, පොහොර සහනාධාරය ගැන එදා ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය විප්ලවීය තීරණයක්ය කියන පහත සම්බන්ධ කර තිබෙන ලිපියේ තිබෙන ස්ථාවරයේ අපි තවමත් ඉන්නවා. කියවන්න: රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

මේ වෙනකොට කෘෂිකර්මාන්තය සෑහෙන දුරට වෙළඳපොළට හැඩගැසිලා. මෑතකදි දවසක ගමේ මගේ මිත්‍රයෙකු වන ලාල් ලියනාරච්චි මට අපේ ගමේ කුඹුරු යාය පෙන්නලා මෙහෙම කිව්වා. “අර ළා කොළ පාට කුඹුරු රජයෙන් දෙන කොම්පෝස්ට් ගහපු ඒවා. තද කොළ පාටට තියෙන්නෙ මිටියක් රු. 30,000ක් වන මිලට ගත්ත යූරියා අඩංගු පොහොර ගහපු කුඹුරක්.” මෑත දිනක මතුගම අලුත්ගම පාරෙ එළවළු කඩේකින් මං ගත්තා කැරට්. එක අලයක් ග්‍රෑම් 500ක් විතර ලොකුයි. ගොවීන් පරිවර්තනය වෙමින් තියෙනවා පුතා. ගොවීන් කියන්නෙ ග්‍රාමීය දිළින්දන් නෙමෙයි. ඔය සිරස එක්ක අඬන්නෙ ඒ දිළින්දො. ජවිපෙට අමුඩෙ ගහන්නෙ ඔවුන්. ඉංග්‍රීසි හොඳින් ව්‍යවහාර කළ හැකි විශිෂ්ට බුද්ධිමතකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ජවිපෙට යෝජනා කරනවා අර දිළින්දා විදියට හිතන්න. ජවිපෙට වී, නිර්මාල් මෙන්න ඔයාට රෝස මලක්.

මේ වෙනකොට වී ව්‍යාපෘතියට රෝස ව්‍යාපෘතිය ගෙනාපු කට්ටියත් සෙට්වෙලා. නාගරික මධ්‍යම පන්තියෙන් ආපු සුන්දර කාන්තාවක හා බුද්ධිමතියක වන ප්‍රභා මනුරත්න එහෙම කෙනෙක්. ඔය රෝසමල් දෙන වැඩසටහනක් මුලින්ම කළේ ප්‍රභා. මං හිතන්නෙ දෙදාස් ගණන්වල මුල එක්තරා මැයි දිනේකදි ප්‍රභා මටත් රෝස මලක් දුන්නා. දැන් හොරා වගේ වී ව්‍යාපෘතියට කඩේ යනවා. සමහර විට එහෙම කඩේ යන බව පෙන්නනවා ඇති. හරිනි අමරසූරියගෙ ව්‍යාපෘතිය බලන්නකො. එයා දැන් බිමල් රත්නායකලගෙ, ලාල් කාන්තලගෙ, නලින්ද ජයතිස්සලගෙ මට්ටමට වඩා උඩින් ජවිපෙ ප්ලේස් වෙලා ඉන්නෙ. එයා වී වගේ පේන රෝස ව්‍යාපෘතියෙ එක්කෙනෙක් මෙයා.

හාල්පාරුවන් කියල වචනෙකුත් තියෙනවා. ඒ වුණාට මං හිතන්නෙ නැහැ අරගලයට සෙට්වෙලා ඉන්න එක්ස් කණ්ඩායමේ කලින් හිටපු නිර්මාල්ලා, කල්‍යලා, ප්‍රදීප් ජයරත්නලා හාල්පාරුවන් කියලා. මං හිතන්නෙ ඒගොල්ලන් ජවිපෙට, ඒ කියන්නෙ වී ව්‍යාපෘතියට නියමෙට ටොපිය දෙනවා. ඉපියො වගේ වී බොනවා. ගුල්ලො වගේ හාල් කනවා.

ජවිපෙ වුණත්, රෝස ව්‍යාපෘතියට ආසයි-බයයිනෙ. නායකයො රතු අලිනෙ. කවුද දන්නෙ ඒගොල්ලොත් ප්ලේ කරන්නෙ රෝස ව්‍යාපෘතිය ඇතුළෙමද කියලා.

අපි නම් විවෘතවම රෝස ව්‍යාපෘතියෙ. කොටින්ම රනිල්ටත් වඩා ඒකෙ. අපි ඉන්නෙ විප්ලවයෙ තීරණාත්මක මුල් අදියරේ. තවම ජය පරාජය අවිනිශ්චිතයි. රනිල් වුණත් වයසයිනෙ. කෙසේ වෙතත්, වේදනාකාරී පරිවර්තන වෙමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ නියුතු මධ්‍යම පන්තියේ ආධිපත්‍යයෙන් යුක්ත සමාජ ක්‍රමය සුවිසල් පරිවර්තනයකට ලක්වෙමින් තිබෙනවා. රාජ්‍ය සංස්ථා වානිජකරණය වෙමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා මහජනතාවට ලබාදුන් අල්ලස් වන ඉන්ධන, විදුලි, ජල ආදී සහනාධාර කප්පාදු වෙමින් ජනතාවට ආනයන හෝ නිෂ්පාදන මිලට භාණ්ඩ හා සේවා මිලදීගන්නට සිදුවන පරිවර්තනයක් සිදුවෙමින් තිබෙනවා. වෙළඳපොළ ප්‍රමුඛ වෙනවා. අතරමැද්දෙ තිබුණු මධ්‍යම පන්තියේ ආධිපත්‍යයෙන් යුත් රජය ගරාවැටෙමින් තිබෙනවා. ඉංජිනේරු සංස්ථාව වගේ කුණු වෙච්ච රාජ්‍ය ව්‍යවසායවලින් සේවකයන් වන්දි ගෙවා දොට්ට දැමීම ආරම්භ වී තිබෙනවා. වන්දි අරන් ඉවත් වන අපේ මිත්‍ර ඉන්දික ගුණවර්ධන වගේ සහෝදරවරු අලුතෙන් ගම්මිරිස් වවනවා. එයා වීත් වවනවා, තේත් වවනවා. ව්‍යවසායකයන් ශක්තිමත් වෙනවා. විප්ලවය නම් මේ යයි මං කියනවා. සමාජය කොරගසමින් නමුත් ඉදිරියට යමින් ඉන්නවා. විප්ලව වේදනාකාරීයි. අපි මේ විඳින්නෙ ඒ වේදනාව. අපි නොදන්නවා වුණාට දළඹුවෙකු සමනලයකු වෙනකොට වුණත් දරු ප්‍රසූතියකදී කාන්තාවක විඳින වේදනාව වගේ එකක් විඳිනවා ඇති.

වී හා රෝස ව්‍යාපෘති දෙක අතරෙ ඝට්ටනයෙදි රෝස දිනනවා. විශ්වාස කරන්න. සුබවාදීව සිතන්න. මං වගේ වෙන්න. ප්‍රතිවිප්ලවවාදීන්ගෙ හීන බිඳවැටෙන කතාවක් කියන්නද? ආණ්ඩුවෙ තුලනය තවම අවුලක් නැතුව පවතිනවාය කියන එක තමයි ඇතුළෙන් ලැබෙන ආරංචි අනුව පෙනෙන්නෙ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා