ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

 

අජිත් පැරකුම් ජයසිංහ (උපුටාගැනීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෙබ් අඩවිය)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේය. ඒ සමගම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ බවට ව්‍යාජ පුවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක අනුකරණයක් හා දෙරණ රූපවාහිනී නාලිකාවේ ලාංඡනය ද සහිතව මෙවැනි ව්‍යාජ පුවතක් නිර්මාණය කළ 18 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 2020 ඔක්තෝබර් 09දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ජාතික ආරක්ෂාව අවදානමට පත්කිරීම සහ ජනතාව අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහු 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වරදක් සිදුකර තිබෙන බව පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලදී. තරුණයා ඔක්තෝබර් 22දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඬුවම් ලැබීමට සිදුවන වැරදි බව ඒවා කරන බොහෝදෙනෙකු දන්නේ ද නැත.

තමන්ගේ පරිගණකය භාවිතා කරන මෙවැනි සංස්කරණයක් සිදුකර එය සමාජ මාධ්‍යවල පළකිරීම වර්තමානයේදී විනාඩි කීපයකින් සිදු කළ හැකිය. තවත් විනාඩි කීපයකින් එය වයිරල් වී හෙවත් වේගයෙන් පැතිරී ගොස් දැඩි හානියක් සිදුකළ හැකිය.


2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 6 (1) වගන්තිය අනුව, යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතුය.

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ගණනාවක් ම මෙම වසර තුළදී අත්අඩංගුවට පත්වූහ. පොලිසියේ අවධානයට ලක් නොවූ, විවිධ පුද්ගලයන් හා සම්බන්ධ මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම අද වන විට ඉතා සුලබ තත්වයකි. ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලැබේ පහත දැක්වෙන්නේ එක් නිදසුනකි.


මෙම ව්‍යාජ පුවත නිර්මාණය කිරීම සඳහා යොදාගනු ලබන්නේ පුවත්පතක පළ වූ සත්‍ය වාර්තාවකි. එහි රූපයක් පහත දැක්වේ.


මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීති ප්‍රමාණවත් නැත. එසේම, මෙවැනි ගැටලු හුදෙක් නීතියෙන් ම පමණක් විසඳාගත නොහැකිය. මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම පිටුපස විවිධ දේශපාලනික, ආර්ථික අරමුණු තිබේ. එබැවින් ඒවා එසේ නිර්මාණය කිරීම නවතින්නේ නැත. ඒ වෙනුවට, ඒවා හඳුනාගැනීමේ මාධ්‍ය සාක්ෂරතාව පාඨකයන් තුළ ගොඩනැගිය යුතුය. තිරසර විසඳුම වන්නේ එයයි.

සමාජ මාධ්‍ය යුගයේදී මාධ්‍යකරුවා හා පාඨකයා අතර වෙනස අවම වී තිබේ. ඕනෑම පාඨකයකුට මාධ්‍යකරුවකු වී බැරෑරුම් සන්නිවේදනයක යෙදිය හැකිය. ඔවුන්ට තම අන්තර්ගතයන් විසුරුවා හැරිය හැකි පරාසයෙහි ද සීමාවක් නැත. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව නැති මාධ්‍යකරුවන් පිරිසක් ද බිහි වී තිබීමයි.

මෙම තත්වය මාධ්‍ය වෘත්තිකභාවයට මෙන්ම ප්‍රකාශනයේ නිදහසට ද දැඩි බලපෑමක් ඇති කරයි. ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු හා දුස්තොරතුරු සන්නිවේදනය රාජ්‍යයට පමණක් නොව පුද්ගල අයිතිවාසිකම්වලට ද ගැටලු නිර්මාණය කරයි. එවැනි පසුබිමකදී වැරදිකරුවන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට මෙන්ම, දැඩි නීති සම්පාදනයට ද සමාජයෙන් බලපෑමක් සිදු වේ. ප්‍රකාශනයේ නිදහසට අකැමැති පුද්ගලයන්ට මෙම මහජන මතය තම වාසිය සඳහා යොදාගත හැකිය. ප්‍රකාශනයේ නිදහස සීමාකිරීමට හා අභියෝගාත්මක වන ගවේෂනාත්මක වාර්තාකරුවන්ට හා ජනමත ගොඩනගන්නන්ට එරෙහිව කරනු ලබන මර්දනයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස දැඩි අභියෝගයකට ලක්වේ.

උදාහරණයක් ලෙස, ලේඛක ශක්තික සත්කුමාරට හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන රම්සි රසීක්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත භාවිතා කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා ඇප නොමැතිව ඔවුන්ට දිගු කලක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවීම ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ලද තියුණු අභියෝග ලෙස සැලකිය හැකිය.

ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් කටයුතු කිරීම හා ප්‍රකාශනයේ නිදහසට බාධා නොකිරීම යනු ඉතා සියුම්ව කළමනාකරණය කරගත යුතු ප්‍රශ්නයකි. මාධ්‍ය අන්තර්ගතයන් ප්‍රධාන වශයෙන් සිව් ආකාරයක් ගනී. එනම්, ප්‍රවෘත්ති, මතවාද, මත ප්‍රචාරණයන් හෙවත් ප්‍රොපගැන්ඩා හා වෙළඳ ප්‍රචාරණයන් ලෙසයි.

විශේෂයෙන්, මත ප්‍රචාරණයේදී හෙවත් ප්‍රොපගැන්ඩාවේදීත්, වෙළඳ ප්‍රචාරණයේදීත් නිර්මාණශීලීත්වය ප්‍රධාන වේ. එහිදී අවධානය යොමුකරගැනීම සඳහා අනුගමනය කරනු ලබන නීත්‍යානුකූල හා ආචාරධාර්මික උපායන් හේතුවෙන් ඒවා ව්‍යාජ පුවත් බවට පත්වන්නේ නැත.

මේ පිළිබඳ අපූරු උදාහරණයක් වන්නේ මේ දිනවල වීදි අයිනේ විකුණන කුඩා ඇපල්ය. ආනයනය කරන ලද බාල වර්ගයේ තේරුණු ඇපල් රාගල ඇපල් ලෙස ප්‍රචාරය කර විකිණීම නිර්මාණාත්මක වෙළඳ ප්‍රචාරණයක් නොවේ. එය නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවකි. වෙළඳ ප්‍රචාරණයේදී මෙවැනි ක්‍රියා සිදුකරන්නේ නම් නිෂ්පාදකයන්ට හා අලෙවිකරුවන්ට එරෙහිව පාරිභෝගික ආරක්ෂණ නීති ක්‍රියාත්මක කළ හැකිය.

එහෙත්, ගැටලුව වන්නේ වර්තමානය වන විට මාධ්‍ය ද වීදි අයිනේ ඇපල් වෙළඳාමෙහි තත්වයට පත් වී ප්‍රවෘත්ති, මතවාද, ප්‍රොපගැන්ඩා හා වෙළඳ ප්‍රචාරණයන් හඳුනාගත නොහැකි තරමට කලවම් වී තිබීමයි. උදාහරණයක් ලෙස, පසුගිය මැතිවරණ සමයේදී දේශපාලකයන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා යූටියුබ් නාලිකාවල සුලභව පළ විය. ඒවා අදාළ නාලිකාවට මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම් බව එම සම්මුඛ වැඩසටහන්වල සඳහන් වූයේ නැත. සියලු වැරදි කරන්නේ සමාජ මාධ්‍ය පමණකැයි කිව නොහැකිය. සමාජ මාධ්‍ය නිසා දැඩි තරගකාරීත්වයකට මුහුණ දී සිටින ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද ගැටලුසහගත චර්යාවන් බහුලය. උදාහරණයක් ලෙස, මුදල් ගෙවා කරනු ලබන ප්‍රචාරණයන් ප්‍රවෘත්ති හා විශේෂාංග ලිපි ලෙස පළකරන ආකාරය පුවත්පත්වල ද දැකිය හැකිය. ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශ ලෙස හැඳින්වෙන වැඩසටහන්වල පළ වන සියලු අංග ද ප්‍රවෘත්ති නොවේ.

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා