ගුරුවරුන්ට කළ හැකි දේ

 

අජිත් පැරකුම් ජයසිංහ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු අරගලය විසින් ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබේ. පාසල් අධ්‍යාපනය හා ගුරු භූමිකාව පිළිබඳ සමාජ සංවාදය ඒ අතරින් ප්‍රධානය.

ඉතා දීර්ඝ කාලයකට පසුව අද පාසල් එන ප්‍රාථමික දරුවන්ට ගැටලු රැසකට මුහුණදෙන්නට සිදුවේ. නිල ඇඳුම්, සපත්තු ආදිය පුංචි වීම ඒ අතරින් ප්‍රධාන ගැටලුවකි. ඒ ගැන සංවේදී වූ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට නිල ඇඳුම නොමැතිව පවා පාසල් එන්නට අවස්ථාව ලබාදී තිබේ. එය අධ්‍යාපනය පැත්තෙන් අප සිතනවාට වඩා ඉතා වැදගත් තීන්දුවකි.

රජය පාසල් පටන්ගැනීමේ ප්‍රතිපත්ති තීන්දුව ගෙන තිබේ. එහෙත්, එතනින් එහාට පාසල් පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ අධ්‍යාපන නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, මාපියන් හා සිසුන්ටයි. රජයෙන් අවශ්‍ය පහසුකම් සියල්ල නොලැබෙන බව ඇත්තකි. එහෙත්, රජය තවමත් නොපිරිහෙළා වැටුප් ගෙවන බව නම් අමතක නොකළ යුතුය. එවැනි තත්වයක් තුළ ගුරුවරුන් දරුවන් කෙරෙහි දැඩි ලෙස සංවේදී විය යුතුය. මා මෙහි සටහන් කරන්නේ ගුරුවරුන්ට කළ හැකි අනන්ත දේ අතරින් කීපයක් පමණි.

සිසුවාට ඔබේ දරුවාට ආදරය කරන අන්දමින්ම ආදරය කරන්න.

සිසුවාට ගරුකරන්න. සිසුවා යනු ඔබට වැටුප් ගෙවන, ඔබේ සේවාදායකයායි.

සිසුන් ශාරීරිකව, මානසිකව හිංසනයට ලක්කිරීම සඳහා ඔබට කිසිදු අයිතිවාසිකමක් නැති බව නිරතුරුව මතක තබාගන්න.

දිගු කලක් සේවය කළ පළියට, ආදි ශිෂ්‍යයකු ද වූ පළියට, කිසිදු ගුරුවරයකු හෝ විදුහල්පතිවරයකු හෝ පාසලක අයිතිකාරයකු වන්නේ නැත. තමන්ට අයිති නැති බලයක් පාවිච්චි කරමින් පිස්සු නටන ගුරුවරයකු බවට පත්වෙන්න එපා. එහෙම කරන ගුරුවරුන් වළක්වන්න.

පාසල් සිසුන්ට විනය පද්ධතියක් තිබීම ගැටලුවක් නොවේ. එහෙත්, ළමයින්ගේ කොණ්ඩා කැපීම, කලිසම් බුරුල් කිරීම, ගවුම්වල වාටි ලිහීම, කොණ්ඩා කටු ගැලවීම ආදී කටයුතු ගුරු භූමිකාවට අයත් නැත.

ගුරුවරුන්ට ආදායම ප්‍රමාණවත් නොවීම නිසා ටියුෂන් කිරීම ගැටලුවක් නොවේ. එහෙත්, ඔබගේ ටියුෂන් ව්‍යාපාරයත්, පාසලේ ඉගැන්වීමත් වෙන්කරගන්න. පාසලේ උගන්වද්දී එයට අවධානය යොමුකරන්න. පාසල ටියුෂන් ප්‍රචාරක මධ්‍යස්ථානය බවට පත්කර ගන්න එපා. ඔබේ ටියුෂන් පන්තියට එන්නට ළමයින්ට නියමින් හා අනියමින් බලකරන්න එපා. ඔබේ ටියුෂන් පන්තියට නොඑන සිසුන්ගෙන් පළිගන්න එපා.

ලංකාවේ දැනට සිදුකරන පාසල් අධ්‍යාපනය සැබෑ අධ්‍යාපනයක් නොවේ. සැබෑ අධ්‍යාපනය කුමක්ද? එය හඳුනාගැනීම සඳහා උත්සාහ කරන්න. ගුරු සංගම් මට්ටමෙන් එවැනි සංවාදයක් ආරම්භ කිරීමට බලකරන්න. අධ්‍යාපනය ගැන රජය හා සමාජය සමග සංවාදයක් ආරම්භ කරන්න.

දහස් ගණන් සිසුන් රැස්කර ජේසු ජීවමානයි පන්නයේ දේසනා පැවැත්වීම අධ්‍යාපනය නොවන බවත්, එය මානසික සුවපත් කිරීමක් පමණක් බවත්, තරගකාරී විභාග සමත් වීමට පවා එවැනි දේසනා අවශ්‍ය නැති බවත් දරුවන්ට කියාදෙන්න.

ශ්‍රී ලංකාවේ සමාජය වෙනස් කළ හැක්කේ අධ්‍යාපනයෙනි. එහෙයින් ඔබ සමාජ විපර්යාසකාරකයකු බව හඳුනාගන්න.

අනාගත පරපුර තුළ වැඩකිරීම ගැන යහපත් ආකල්ප ගොඩනගන්න. වැඩකරන මිනිසුන්ට, විශේෂයෙන්ම මැදපෙරදිග කම්කරුවන්ට හා ඔවුන්ගේ දරුවන්ට ගැරහීම කරන්න එපා.

සියලු ළමයින් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීම අවශ්‍ය නැති බවත්, වෙනත් වෘත්තීන් ද මේ රටට අවශ්‍ය බවත් දරුවන්ට කියාදෙන්න.

මේ රට සංවර්ධනය කරන්නට නම් මිනිසුන් වැඩි වැඩියෙන් ව්‍යවසායකත්වය වෙත යොමුවිය යුතුය. ළමයින් එයට පොළඹවන්න.

පාසල්වල අනවශ්‍ය අන්දමින් රැස්වීම් පවත්වමින් දෙමව්පියන් කැඳවා ඔවුන්ට කරදර කරන්න එපා. රජයේ සේවකයන්ට වැටුප් ලැබුණද, සෙසු වැඩකරන ජනයාට මුදල් උපයාගැනීම සඳහා අධික වෙහෙසක් දැරීමට සිදුවී තිබෙන බවත්, ඔවුන්ට කාලය සීමිත බවත් සිතන්න.

පාසල් පාදක ඇගයීම් හොඳ ක්‍රමයකි. එහෙත්, එය හරියට නොකර, බොරුවට කරන කොළ පිරවිල්ල ප්‍රතික්ෂේප කරන්න.

ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්න. වෘත්තීය සමිතියකට බැඳෙන්න. අයිතිවාසිකම් ගැන දැනුවත් වන්න. වගකීම් හරියට ඉටුකරන්න.

ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අතහරින්න. ඔබ ද කරන්නේ රැකියාවකි. එයට සාධාරණ වැටුපක් ලබාගැනීමේ අයිතිය ඔබට ඇත.

ළමයින් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගන්නට එපා. එයින් ඔබ කරන්නේ අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමයි.

Adapted from praja.lk

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?