සහල් ප්‍රශ්නයට මහජන විසඳුම කුමක්ද?

 

අජිත් පැරකුම් ජයසිංහ

බත් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන මූලික ආහාරයයි. සියවස් ගණනක සිට ශ්‍රී ලාංකිකයෝ බත් කෑම සඳහා වී ගොවිතැන කළහ. වී ගොවිතැන හා බත්කෑම වටා නිර්මාණය වූ සංස්කෘතියක උරුමයක් ද අපට තිබේ.

මේ කිසිවක් වෙනස් කළ නොහැකි දේ නොවේ. උදාහරණයක් ලෙස හෙළ රජ දරුවන් බත් කෑවාය කියා අප ද බත් මරුවන් වීම අත්‍යවශ්‍ය නැත. එසේම, මිල අඩු ආහාර වර්ග ලෝක වෙළඳපොළෙන් මිලදීගත හැකි නම්, අධික පිරිවැයක් සහිතව වී ගොවිතැනම කර සහල් දේශීයව නිපදවා ගන්නටම අවශ්‍ය ද නැත. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව නංවාගැනීම සඳහා කළ හැකි බොහෝ දේ තිබේ. එහෙත්, ඒවා එක රැයින් වෙනස් කරන්නට උත්සාහ නොකළ යුතුය. ශ්‍රී ලාංකික සමාජයේ වාමාංශික හා දක්ෂිණාංශික සංරක්ෂණවාදී කොටස් එයට එරෙහිව නැගීසිටීම අපේක්ෂා කළ හැකි තත්වයකි.

ලංකාවේ ආණ්ඩුවට තිබෙන තාර්කිකත්වය මේ වන විට වේගයෙන් අහිමි වී යයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල ප්‍රධාන කාර්යයක් වූයේ සුබසාධනයයි. එහෙත්, මේ වන විට, බොහෝ සුබසාධනයන් සිදුකිරීමේ හැකියාව ආණ්ඩුවට අහිමි වෙමින් තිබේ. ආණ්ඩුවේ දේශපාලකයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේත්, රජය සමග කොන්ත්‍රාත් කරන ව්‍යාපාරිකයන්ගේත් සුබසාධනය වෙනුවෙන් මහජනතාවට දරාගැනීමට සිදුවී තිබෙන බර ද වැඩිවෙමින් තිබේ.

මෙවැනි තත්වයකදී ආණ්ඩුව මුලින්ම කරන්නට පෙළඹෙන්නේ වෙළඳාමෙන් ඉවත්වීම විය හැකිය. මන්ද, මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී මව්බිම පුවත්පතට පැවසීය.

කියවන්න:

තෙල් මිලට සමාජවාදී විසඳුම

දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි. විදේශවලින් ණය ලබාගෙන තෙල් පුච්චන්නට අපට පිස්සුද?

Is it right to obtain a foreign loan of $ 2.5 billion for petroleum?

බත දෙස ආපසු හැරෙමු. ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම, සතොස හරහා හාල් විකිණීම පමණක් නොව, ගැසට් මගින් මිල පාලනය ද මේ වන විට අසාර්ථක වී හමාරය. දැන් ආණ්ඩුව කරන්නට හදන්නේ රජයේ මිල පාලනයට අනුගත නොවූ හාල් මෝල් හිමියන්ට හා රජයට වී විකිණීම ප්‍රතික්ෂේප කළ වී ගොවීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා සහල් ආනයනයට අවසර දීමයි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ තවත් නාස්තියකටයි.

පෞද්ගලික අංශය ලවා ආනයනය කරගන්නා සහල් වැඩි මිලට මිලදීගෙන අඩු මිලට සතොසේ විකිණීම තාවකාලික මෝඩ චූන් එකකි. කෙසේ වෙතත්, සහල් ආනයනයට පාලනයකින් යුතුව අවසර දීම අවශ්‍යය.

මේ රටේ ජනතාව යනු වී ගොවීන් පමණක් නොවේ. එසේම, ගොවියා යනු මඩ සෝදාගත් කල රජකමටත් සුදුසු යයි කියවෙන රචනාවල ඉන්නා දෙවියා ද නොවේ. ගොවියා ද පාරිභෝගිකයා ද යන දෙදෙනාම එක වගේ අසරණ කපටියෝය. ඔවුන් කපටි වුව ද රජය හා මුදලාලිලා ඔවුන්ට වඩා කපටි හෙයින් පාරිභෝගිකයා ද ගොවියා ද හැමදා රැවටෙති. පාඩු විඳිති.

හරිහමන් රජයක් විසින් කළ යුතුව තිබෙන්නේ වෙළඳාම හා ව්‍යාපාරකරණය පිළිබඳ දැනුමක් නැති විශ්‍රාමික හමුදා නිලධාරීන් මාකට්වලට යවා වෙළඳුන්ට තර්ජනය කරවීම නොව විද්‍යාත්මක අන්දමින් වෙළඳපොළ නියාමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි.

සතොසේ සුදුළූනු අඩුගානට පිටට විකුණා වැඩි ගානට නැවත මිලදී ගැනීම වැනි තක්කඩිකම් කරන නිලධාරීන් නියාමනය නොකර මොකුත් කරන්නට බැරිය. නියාමනය ආරම්භ කළ යුත්තේ කාර්යක්ෂම ආණ්ඩුකරණයකිනි. රජය වෙනුවෙන් මහජනයා විසින් ගෙවනු ලබන බදු මුදල් වෙනුවෙන් රජයේ වගවීම අතිශය වැදගත්ය.

ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ වැනි රාජපක්ෂ පවුලේ අය ද, සජිත් ප්‍රේමදාස වැනි අය ද එසේ කිරීමට හැකියාවක් ඇති, දැක්මක් සහිත බුද්ධිමතුන් නොවේ. අප නව නායකත්වයක් නිර්මාණය කරගත යුතුය.

රජයකට තර්ජනය කරන්නට වෙළෙන්දන්ට හැකියාව ලැබී තිබෙන්නේ රජය විධිමත් නියාමනයක් නොකරන නිසාය. නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට නොදන්නා නිසාය. රජය හා වෙළෙන්දන් අතර ගැටුමක් නිර්මාණය කරගත යුතු නැත. කළ යුත්තේ අවබෝධයක් නිර්මාණය කරගැනීමයි. මේ සියල්ලටම රජය සුපිළිපන් විය යුතුය. වෙළඳුන් කපටි වීම අපේක්ෂා කළ හැකි දෙයකි. ප්‍රශ්නය රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් වෙළෙන්දන්ටත් වඩා ලාභය සොයා යන දූෂිතයන් වීමයි.

මේ මොහොතේ අප උත්සාහ කළ යුත්තේ අලුත් පුරවැසියකු හා නායකත්වයක් නිර්මාණය කරගන්නටයි. එතෙක්, වත්මන් පාලකයන් හා නිලධාරීන් විසින් බොහෝ විනාශයන් සිදුකරනු ඇත. ඒවා අවම කරගැනීම සඳහා කරන අරගල නව පුරවැසි නායකත්වයක් බිහිකරගැනීම සඳහා ඉවහල් කරගත යුතුය.

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?