ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා

 

කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

එහෙත්, CDC ජර්නලයේ පසුගිය අගෝස්තු 24දා පළවූ Morbidity and Mortality Weekly Report (MMWR) නම් වාර්තාවේ සඳහන් වන ආකාරයට කොවිඩ්-19 එන්නත්කරණයේ වාසි තවදුරටත් වැදගත් වෙනවා.

මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන ඇරිසෝනා, ෆ්ලොරිඩා, මිනෙසෝටා, ඔරිගන්, ටෙක්සාස් හා උටා යන රාජ්‍ය හයෙහි සෞඛ්‍ය සත්කාර සේවකයන් 4,000ක් වෙතින් 2020 දෙසැම්බර් මැද සිට 2021 අගෝස්තු මැද දක්වා කාලය තුළ ලබාගත් තොරතුරු මතයි. මෙම අධ්‍යයන කාලය තුළ කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාවේ සාමාන්‍යය 80%ක් බව අධ්‍යයනය පවසනවා.

මෙම සෞඛ්‍ය සේවකයන් අතරින් 83%ක් එන්නත් ලබාගෙන තිබුණා. ඔවුන් අතරින් 65%ක් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ද, 33%ක් මොඩර්නා එන්නත ද, 2%ක් ජොන්සන් සහ ජොන්සන් එන්නත ද ලබාගෙන තිබුණා.

එන්නතේ කාර්යක්ෂමතාව අඩුවීම පරිස්සමෙන් අර්ථකථනය කළ යුතු බව පවසන පර්යේෂකයන් පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය මතුවීම මෙන්ම, එන්නත් ලබාදී දිගු කලක් ගතවීම ද මෙම ප්‍රතිඵලයට හේතු විය හැකි බව පෙන්වා දෙනවා. කාලයත් සමග එන්නත ලබාගත් මිනිසුන්ගේ ප්‍රතිශක්තිය පිරිහෙන්නට පුළුවන්.

මේ වන විට ශ්‍රී ලංකාවේ ද ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. එහි ද නව ප්‍රභේද සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිපුර ලබාදුන් එන්නත් වන සිනොෆාම් හා ඇස්ට්‍රාසෙනකා වැනි එන්නත් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණයේදී අවධානය යොමුකර නැහැ. ඒත්, නව ප්‍රභේද ඇතිවීම එන්නත්වල කාර්යක්ෂමතාවට බලපාන බව පිළිගත් මතයක්.

Live Science ඇසුරෙනි

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා