මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

 

අජිත් පැරකුම් ජයසිංහ

පළමු කොරෝනා ඇඳිරි නීතියෙ ඉඳලම මං ඇඳිරි නීතිවලට විරුද්ධයි. දැනුත් විරුද්ධයි. හැබැයි, ශාරීරික දුරස්ථභාවය රැකගන්නට, වාතාශ්‍රය පවත්වාගන්නට, ප්‍රසිද්ධ ස්ථානවලදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නට, දෑත් සේදීම දිරිගන්වන්නට, සංචරණය සීමා කරන්නට පියවර ගන්නවාට, එන්නත්කරණයට මං පක්ෂයි.

හැබැයි ඉතින් මේකත් කියන්න ඕනැ. ඔය එකක්වත් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ බව මුළු රටම එන්නත් කරපු ඊශ්‍රායලය වැනි සමාජයන්ගෙන් පවා පෙනෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් කරන මගේ මිතුරකු කී පරිදි ඔවුන් මේ වන විට හතරවන එන්නතත් ලබාගෙන. සයිනොෆාම් එන්නත් දෙක ලබාගෙන මාස හයකට පසු ෆයිසර් එන්නත් මාත්‍රා දෙකත් ලබාගත් ශ්‍රී ලාංකිකයෙකුත් මියගිහින්.

ලංකාවෙ මේ මොහොතෙ රැල්ලක් යනවා ලොක්ඩවුන්, ලොක්ඩවුන් කියලා. මේ ලොක්ඩවුන් ප්‍රවර්ධකයන්ට අවශ්‍ය ඇඳිරි නීති දාලා රට අක්‍රිය කරලා මිනිසුන් නිවෙස්වල රඳවන්න. එතකොට කොවිඩ්-19 බෝවීම අඩුවෙලා මරණ සංඛ්‍යාවත් අඩුවෙයි කියා ඔවුන් හිතනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි, කොයි තරම් කාලයක් රට වසා තැබුවොත්ද? සති දෙකෙන් ඔය දේ වෙයිද? මාසෙන් වෙයිද? කවුද ඒ සම්බන්ධයෙන් ගැරන්ටියක් දෙන්නෙ? ඒ වගේම, මේක හැදිලා හැදිලාම ඇතිවන සමූහ ප්‍රතිශක්තිය හා එන්නත්වලින් ලබාදෙන ප්‍රතිශක්තිය නිසාත් ලෙඩුන් සංඛ්‍යාව අඩුවෙන්නට පුළුවන්.

මේ අතර, වයිරසය වේගයෙන් හා අඛණ්ඩව විකෘති වන නිසා නැවත, නැවතත් වසංගතය මතුවෙන්නට පුළුවන්. මේ විදියට වසංගතයත් සමග සටන කෙතරම් කලක් කරන්නට සිදුවේද යන්න අපි දන්නෙ නැහැ.

තව කලක් යනකොට කොවිඩ්-19ට ප්‍රතිකාර සොයාගනියි. ඒත් වයිරසයත් අප අතර සිටිමින් වරින් වර හිස ඔසවයි.

එච්අයිවී ලෝකයෙන් තුරන් වුණේ නැහැ. හැබැයි, ලෝකය එච්අයිවී සමග ජීවත්වෙන්නට ඉගෙනගත්තා. එච්අයිවී නිසා ලිංගික සංසර්ගය නතර වුණේ නැහැ. ඒ වෙනුවට අපි කොන්ඩම් දාන්න පුරුදු වුණා. නැතිනම්, ලිංගික කටයුතු විශ්වාසවන්ත සහකරුවන්ට සීමාකරන්න පටන් ගත්තා. ලිංගිකත්වය ගැන නව සාමාන්‍ය තත්වය ඒක.

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. එච්අයිවීවලට කොන්ඩම් වගේ කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.

ඔය අතරෙ රෝගීන් හමුවෙනවා. මිනිසුන් මැරෙනවා. බෝවීමත්, මරණත් අවම කරගන්නට ගත යුතු පියවර ගන්නට ඕනැ. අපි කවුරුවත් මරණයට කැමති නැහැ. අපේ ප්‍රියයන් මියයනවාට කැමතිත් නැහැ. සතුරා වයිරසයක් නිසා සමස්ත මිනිස් වර්ගයාම එකා වගේ සතුරාට එරෙහිව නැගිටලායි ඉන්නෙ. සතුරා මිනිසකු වුණා නම් තත්වය ඕක නෙමෙයි. එතකොට අපට සතුරු මිනිසාගේ ජීවිතයේ කිසිදු වටිනාකමක් නැහැ. ඒ තමයි මිනිස් ස්වභාවය. ඒ නිසා මරණ හමුවේ ඕනෑවට වඩා සංවේදීත්වය ප්‍රකාශ කරන්න යන්නත් ඕනැ නැහැ. බොහෝදෙනෙකුගේ අධි සංවේදීතාවන් හුදු ආත්මාර්ථකාමීත්වය පමණක් බවට උදාහරණ ඕනැ තරම් මේ දවස්වල දකින්නට ලැබෙනවා. මේ මං වගේ අය මැරුණාට කිසිම කෙනෙකු දුක්වෙන්න එපා.

වසංගතය ගැන මං පෞද්ගලිකව සිතන්නෙ මෙහෙමයි. මෙමගින් ලෝකය ගිය අධි පාරිභෝජනවාදී ගමනට තිරිංග යෙදෙනවා. ගෝලීය විශ්ව ගම්මානය ඇතුළෙ ජාතික, උප ජාතික සංවිධානයන් ප්‍රතිව්‍යූහගත වෙනවා. මම නම් හිතන විදියට අපි කවදාවත් නැවතත් 2019 තිබුණු තත්වයට ආපසු යන්නෙ නැහැ. විශේෂයෙන්ම, ඒ තිබුණු සංචාරක කර්මාන්තය වැනි දේ නැවත ඇතිවන්නෙ නැහැ.

අපි තාම හිතාගෙන ඉන්නෙ අපට 2019ට ආපසු යන්නට පුළුවන් ය කියායි. ඒක අතෑරලා 2022 ගැන හිතන්න. ඒක අලුත් යුගයක්.

මේ කිසිවක් ගැන නොසිතා, ලොක්ඩවුන්, ලොක්ඩවුන් කියා මතුරමින් ඇඳිරි නීති ඉල්ලන්නන් අතර වැඩි පිරිස කොයි තරම් කාලයක් රට ලොක්ඩවුන් කර තිබුණත් ප්‍රශ්නයක් නැති මධ්‍යම පන්තිකයන්. ඔවුන් අතරිනුත් වැඩිම පිරිස රජයේ සේවකයන්. ඔවුන් හිතනවා රජය මෙතෙක් කළ පරිදි දිගටම ඔවුන්ගේ වැටුප ගෙදරටම එවයි කියලා. ව්‍යවසායකයන්ගෙ ධනය මංකොල්ල කාලා ඔවුන්ට වැටුප් ගෙවිය යුතු බව පවා ඔවුන් සිතනවා. හැබැයි කියන්නෙ ඒකෙන් දුප්පතුන්ට ගෙවිය යුතු බවයි. සමෘද්ධි අරමුදල රු. බිලියන 39ක් ප්‍රතිලාභීන්ට ලබාදෙන්නට රු. බිලියන 12ක මෙහෙයුම් වියදමක් දරනවා. (මූලාශ්‍රය: පර්යේෂිකා රෙහානා තව්ෆීක්, සාධාරණ සමාජයක් සූම් සම්මන්ත්‍රණයකදී) ඒ කියන්නෙ 35%ක් පමණ. මේ රුපියල් බිලියන 12 වැයකරන්නෙ කවුරුන් වෙනුවෙන්ද? රාජ්‍ය අංශය නඩත්තු කරන්න. දුප්පතුන්ට සහනාධාර දෙනකොට වුණත් එයින් වැඩි ප්‍රමාණයක් යන්නෙ මධ්‍යම පන්තිකයන්ට.

ධනපති කොටස්වලට ලොක්ඩවුන් එකකදී පෞද්ගලික පැවැත්ම පිළිබඳ ගැටලුවක් නැහැ. ඒත්, ඔවුන්ගේ ව්‍යවසායන් අර්බුදයට ලක්වෙනවා. නිෂ්පාදන, වෙළඳාම, ආනයන, අපනයන ආදිය අඩාල වෙනවා. සමාගම් පාඩු ලබනවා. බැංකු ණය හිරවෙනවා. ඔවුන් සේවකයන් ඉවත්කරනවා. පඩි කපනවා.

වසංගතය මැද්දෙත් ලාභ ලබන සමාගම් තිබෙනවා. ලාභ ලබන එකේ කිසිදු වරදක් නැහැ. ධනේශ්වර ක්‍රමය පවතින්නෙ ලාභය මත. ලාභය තමයි නැවත ආයෝජනය වෙන්නෙත්. ආර්ථිකයක් සංවර්ධනය වෙන්න ඒ ආයෝජන වැදගත්. ඒ නිසා මං නම් ලාභයට විරුද්ධ නැහැ.

හැබැයි, මේ වගේ කාලෙකත් බැංකු අධික විදියට ලාභ ලබන එක නම් ගැටලුවක්. බැංකු එහෙම ලාභ ලබන්නට ඕනැද? බැංකු අධික විදියට ලාභ ලබනවා නම්, ඔවුන් තමන්ගෙ කාර්යය කරලා තිබෙනවාද? ඔවුන්ගේ කාර්යය ව්‍යවසායකත්වය හා ඉතුරුම් දිරිගැන්වීම නේද?

මේ වෙලාවෙ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටිනවා. බැංකුවලට තිබුණා නේද ඔවුන්ට සහන දෙන්න. ආර්ථික අර්බුදය නිසා ඉතුරුම් වෙනුවට රත්තරං, ඉඩම් වැනි දේවලට යොමුවන මිනිසුන්ගෙ ඉතුරුම්වලට වැඩි පොළියක් දීලා ඔවුන් දිරිගන්වන්නට තිබුණා නේද? බැංකු මේ කරන වැඩෙන් ආර්ථිකය විතරක් නෙමෙයි බැංකුත් අස්ථාවර වෙනවා. බැංකුවලට ගනුදෙනු අහිමි වෙනවා. ඔය සොමිය තාවකාලික වෙන්න පුළුවන්.

මේ අතර, කොවිඩ්-19 ආශ්‍රිත එන්නත්, ක්ලැරිත්‍රොමයිසින් වගේ ප්‍රතිජීවක, රැපිඩ් ඇන්ටිජන්, පීසීආර් කට්ටල ආදිය නිෂ්පාදනය කරන රටවල් අධික ලාභ ලබනවා. ඒවා මෙරටට ආනයනය කරන සමාගම් ද අධික ලාභ ලබනවා. මේ ඇතැම් සමාගම් ගජමිතුරු සමාගම්. උදාහරණයක් ලෙස, රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා දේශීය නියෝජිතයා වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම ගෝඨාභය රාජපක්ෂගේ චක්ගෝලයකු වන දිලිත් ජයවීරගේ සමාගමක් බව කියවෙනවා.

ඔය පීසීආර් ලක්ෂ ගණන් කළ යුතු බව මතුරන අය ගැන පවා පරිස්සම් වන්න. ඔවුන් සමාගම්වල ව්‍යාපාර ප්‍රවර්ධකයන් වෙන්නට පුළුවන් අපි නොදන්නවා වුණාට. එන්නත් ප්‍රවර්ධනය කිරීම වුණත් එහෙමයි. ඔය එන්නත් කෙරුවාවෙත් අවසානයක් නැහැ.

මේ පසුබිම තුළ, පුරවැසියන් විදියට අප මොකක්ද කළ යුත්තෙ? මම නම් හිතන්නෙ ආසාදනය සමග සටන් කරන්නට අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගාගැනීම හැර අපට වෙන විසඳුමක් නැහැ. හැබැයි ඉතින් අපි පසුගිය සමයේ ලෝකය වෙළාගත්ත පාරිභෝජනවාදයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා අපි වැඩිදෙනෙක් ලෙඩ්ඩු. ළඟ මරණයක් අපේ නළලේ කොටා තිබෙනවා වෙන්න පුළුවන්. දැන් අපට සිතන්නට වෙන්නෙ අප ගැනම නොවෙයි. අපේ අනාගත පරම්පරා ගැනයි. ඔවුන් නව සාමාන්‍ය තත්වයකට හැඩගැසිය යුතු වෙනවා. ඒක හුදෙක් මුඛ ආවරණ පළඳින එක හෝ කොවිඩ්-19 ව්‍යාපාරික සමාගම්වල දැලේ බැඳෙන එකත් නෙමෙයි. ආහාර, ක්‍රීඩා, ක්‍රියාශීලී ජීවිතය, නීරෝගීභාවය වැනි බොහෝ දේ එහි තිබෙනවා. ඒගැන වෙනම කතා කරමු.

කොහොම වුණත්, ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ තිබෙන්නේ අතිශය අර්බුදකාරී තත්වයක බව කවුරුත් දන්නවා. අත්‍යවශ්‍ය ආනයන පවා කරගන්නට අවශ්‍ය ඩොලර් හිඟවීම නිසා නිතර නිතර භාණ්ඩ හිඟයන්ට මුහුණදෙන්නට රටේ ජනතාවට සිදුවෙනවා. ඇඳිරි නීතිය දැමූ විට ආදායම් අහිමි වන ජනතාවට කන්නට දෙන්නට ක්‍රමයක් රජයට නැති බව පැහැදිලියි. අධික ලාභ ලබන ධනපති සමාගම්වල ලාභය පැහැරගන්නට නීති හා ක්‍රමවේද සම්පාදනය කිරීම පහසු වැඩක් නෙමෙයි. එයින් ආර්ථිකයට ඇතිවන හානි සුළුපටු නැහැ. එන්නත්, බෙහෙත්, ඉන්ධන ආදිය ආනයනය කරන්නට හෝ අපට ඩොලර් අවශ්‍යයි. රටේ නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ටික හෝ මිනිසුන්ට ලබාගන්නට හැකි තත්වයක් තිබිය යුතුයි. ඒ නිසා රටවල් වසාගෙන ඉන්නට අපට හැකියාවක් නැහැ. මම ඇඳිරි නීතිවලට විරුද්ධ හේතුව ඒකයි.

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය