වසංගතයට විසඳුම නවීන විද්‍යාවද?

 

අජිත් පැරකුම් ජයසිංහ

මං නූගත් මිනිහෙක්. මගේ නූගත්කම ඇතුළෙ මං කොවිඩ්-19 අධි වසංගතය ගැන සිතන ආකාරය නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදීමය රාමුවට පිටින් තියෙන්නෙ. මං තේරුම් ගන්න විදියට නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදය මිනිස් ජීවිතය පහසු කිරීම. දරුවන් ලැබෙන එක සම්බන්ධයෙන් වර්තමානයේදී නවීන විද්‍යාවේ තර්කනය ගැවසෙන්නේ වේදනා නොවිඳීමට තිබෙන අයිතිය සමගයි. දැන් මිනිස් ගැහැණු සතා කියන්නෙ ස්වාභාවික ලෙස දරුවකු ලබන්නට බැරි සතෙක්. සියලු දරු උපත් රෝහල්වල සිදුවිය යුතුය කියන එකත් දැන් පැරණි ඉලක්කයක්.

මං හිතන්නෙ මේ වසංගතය මානව පරිණාමයේ එක්තරා යුගයක/ අවධියක අවසානය සලකුණු කිරීම සඳහා උදා වූ අවස්ථාවක්. අපි ඒ අවස්ථාව පාවිච්චි කළොත් මානවයාගේ පැවැත්ම තිරසාර වෙන්න පුළුවන්. හැබැයි, ඒක මිල අධික ඔප්ෂන් එකක්. නූතන සමාජ දේශපාලනික හර පද්ධතිය ඇතුළෙ අපි මරණය සලකන්නෙ බැහැර කළ යුතු දෙයක් හැටියට. මේ සිදුවන දේ ඇතුළෙ අපට මරණය ජීවිතයේම කොටසක් ලෙස ඇතුළාන්තයට ගන්නට බලකරනවා. එතකොට අපට ජීවිතය කියන්නෙ හැම මොහොතක්ම විඳිය යුතු සීමිත අවස්ථාවක්. ඈතම අතීතයේ සිටි මිනිසා වගේ අපට නිරන්තරයෙන් ජීවිතය වෙනුවෙන් සටන් කරන්නට සිදුවෙනවා.

2019 වසර දක්වා අප ආ ගමන දිහා ආපසු හැරී බැලිය යුතුයි. ඒ වුණාට අප ඒක කරනවාද? අපේ ජීවිත හැම පැත්තෙන්ම වෙළාගත්තෙ ලෝකයට දරාගත නොහැකි පාරිභෝජනවාදයකින්. අති දීර්ඝ කාලයක් ජරපත් වෙමින් ජීවත් වීමේ ආශාව දක්වාම මේ පාරිභෝජනවාදය දීර්ඝ වුණා. මහපොළව මත මිනිසාගේ ක්‍රියාකාරකම්වල බර තව දුරටත් මහපොළවට දරාගන්නට බැරි තත්වයක් නිර්මාණය වුණා. මේවා මං නැවත කියන්නට අවශ්‍ය නැහැ. ඇති තරම් ‘විද්‍යාඥයන්’ ඒවා ගැන විස්තර කරලා තියෙනවා. ඒ යුගය/ අවධිය අවසන් විය යුතුව තිබෙනවා.

විද්‍යාව අපට ඒකට අවස්ථාව නොදෙන තරම් දියුණුයි. ඒ නිසා අපට මෙය මේ මොහොතේදී විද්‍යාවෙන් පරාජය කළ හැකියි කියා බලාපොරොත්තු තබන්නට පුළුවන්. හැබැයි, එතනින් එහාට අපි ආපහු 2019ට ගියොත් මානව වර්ගයාට තිරසාර අනාගතයක් නැහැ. තිරසාර කියන්නෙත් ඒ තරම්ම තිරසාර සංකල්පයක් නෙමෙයි. කොහොමත් මිනිසා කවදා හෝ අභාවයට යනවා. ඒත්, මේ විදියට ගියොත් ඒ විනාශය ඉක්මන් වෙනවා.

අලුත් යුගයක් නිර්මාණය කරගත්තොත් අනාගතයක් තියෙයි. හැබැයි, ඒක නවීන විද්‍යාව හා අවසන් විග්‍රහයෙදි කාමසුඛල්ලිකානුයෝගී පාරිභෝජනවාදයක් වන දැනට පවතින සමාජ හර පද්ධති ඒකට අවස්ථාව දෙන්නෙ නැහැ.
මේ වෙලාවෙ විද්‍යාවට වඩා ආගම වැදගත් කියලා මං හිතනවා. ආගමික සිතුවිල්ලක් නිසා විවාද කරන්න කැමති නැහැ. ආගම් තියෙන්නෙ අන්ධ භක්තියකින් විශ්වාස කරන්න.මං මේක පටන් ගත්තෙ මං නූගත් මිනිහෙක්ය කියලායි. ඒ නිසා විද්‍යාවේ සිට මරණය දක්වා දාර්ශනික සංකල්ප මෙතන වදාරන එක තේරුමක් නැහැ. මං ඒවා දන්නෙ නැහැ. මං ඒ නොදැනුම අගය කරන කෙනෙක්. දැනුමට ඕනෑවට වඩා වහල් වෙන තරමට නිර්මාණශීලීත්වය මොට වෙනවා. දැනුමයි, නිර්මාණශීලීත්වයයි අතර සංහිඳියාවක් අවශ්‍යයි.

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය