මහජන සහභාගීත්වයට එරෙහි උපායමාර්ගික නඩු (SLAPP) යනු මොනවාද?

“මහජන සහභාගීත්වයට එරෙහි උපායමාර්ගික නඩු” හෙවත් Strategic Lawsuits Against Public Participation (SLAPP) යනු විවේචකයින් තැතිගැන්වීම සඳහා රජය, දේශපාලකයන් හා සමාගම් විසින් භාවිතා කරන උපායක්. කීර්තිය කෙළසීම හා අපහාස කිරීම යන චෝදනා එහිදී සුලබව භාවිතා කරනවා.

නීත්‍යනුකූලව තම ප්‍රජාවන්ට බලපාන ගැටලු පිළිබඳව හඬ නඟන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව ගෙන එනු ලබන අධිකරණමය හිරිහැර කිරීමේ ස්වරූපයක්.

තායිලන්තයේ ලෝයි රත්‍රන් නිධිය හිමි සමාගම ගම්වැසියන්ගෙන් බාත් මිලියන 50ක වන්දි ඉල්ලා නඩු පැවරුවා. ගම් වැසියන් “ගමට පතල අවශ්‍ය නැහැ“ යැයි පැවසෙන දැන්වීමක් ගම ඉදිරියේ එල්ලා තිබීම ඊට හේතු වුණා. වාර්තාවන්ට අනුව, 1997 සිට තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන, ශාස්ත්‍රඥයින්, මානව හිමිකම් සුරකින්නන්ට එරෙහිව අපහාස නඩු 200 කට වඩා ගොනුකොට තිබෙනවා. එම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ නගිමින් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද මහජන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන්ට එරෙහිව මෙවැනි නඩු රාශියක් පවරා තිබෙනවා. ආසන්නම සිද්ධිය තමයි ජවිපෙ නායකයින් වන සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු පිරිසකට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග. බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේ පවත්වන ලද උද්ඝෝෂණයකදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බව තමයි ඔවුන්ට එරෙහිව එල්ලවන චෝදනාව.

මන්ත්‍රීවරුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර විකිණීම වැනි මහජනයාට ඉතා වැදගත් නඩු ගණනාවක් පැවරීමට කටයුතු කළ නීතීඥවරයකු වන නාගානන්ද කොඩිතුවක්කුට එරෙහි ක්‍රියාමාර්ග ද මෙවැනියි. මේ වන විට ඔහුගේ නීතීඥභාවය ද වසර තුනකට අත්හිටුවා තිබෙනවා.

විවේචකයන්ට එරෙහිව පවරනු ලබන බොහෝ නඩුවල ඉලක්කය වන්නේ නඩු ජයග්‍රහණය කිරීම නොවෙයි. වෙහෙසකර හා වියදම්කාරී නඩුවිභාග තුළින් විවේචකයාගේ කාලය, ශක්තිය හා සම්පත් නාස්ති කර හෙම්බත් කිරීමයි. ප්‍රජාව සහ මානව හිමිකම් ආරක්ෂකයා නැවැත්වීම, පරක්කු කිරීම සහ අපහසුතාවයට පත්කිරීමයි. එය සිදුවන්නේ දිළිඳු හා දෛනික වැටුප් ලබන ප්‍රජාව හෝ ගම්වැසියන් සම්බන්ධව නම්, ඔවුන්ට රැකියාව නවත්වා උසාවියට යාමට සිදුවෙනවා.

මේ ආකාරයේ බොහෝ නඩු සඳහා පැමිණිල්ල සිදුකළ පාර්ශ්වය නිතිපතා අධිකරණයට පැමිණිය යුතු නැති නිසා ඔවුන්ට ලොකු කරදරයක් නැහැ. කරදරය සිදුවන්නේ විත්තිකරුවන් බවට පත්වන අයටයි. ඔවුන්ට ඇප තැබීමට සිදුවන නිසා ඇපකරුවන්ටත් ප්‍රශ්නවලට මුහුණදෙන්නට සිදුවෙනවා.

අධිකරණය මගින් මෙවැනි නඩුවක් පසුපස සැඟවී ඇති න්‍යාය පත්‍රය හඳුනාගත යුතුයි. මෙය මහජන අවශ්‍යතාවන් පිළිබඳ කාරණයක් ද, නැතිනම් මහජන සහභාගීත්වයට සම්බන්ධිත දෙයක් ද යන්න ඔවුන් පළමුව විමසිය යුතුයි. එය මහජන සහභාගීත්වයට එරෙහි උපායමාර්ගික නඩුවක්ද යන්න සලකා බලා ඔවුන් ඒ පිළිබඳව නැවත සිතිය යුතුයි. තම අයිතීන් උදෙසා නැගී සිටින ජනතාව යනු ප්‍රශ්න ඇතිකරන්නන් නොවේ.

දේශපාලකයන්ට එරෙහිව නිරෝධායන නීති ක්‍රියාත්මක වූ ආකාරය ගැන උදාහරණයක්:

දේශපාලකයන්ගේ නැහැදිච්චකම හා නිරෝධායන නීති

 

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය