රජයේ සේවක උද්‍යෝගය යළි ඇතිකරන්නේ කොහොමද?

 

අජිත් පැරකුම් ජයසිංහ

ඊයෙ මම අම්මවයි, ඇගේ සහෝදර සහෝදරියන් දෙන්නෙකුවයි මතුගම රෝහලට එක්කගෙන ගිහින් ආවා වයස අවුරුදු හැටට වැඩි අයට දෙන එන්නත අරගන්න. වයස අවුරුදු 91ක් වන තාත්තා එන්නත ගන්න අකැමැති වුණා. ඔවුන් එන්නත ගත්ත තැන නිල් ඇඳුම් ඇඳගත් (දොස්තර) නෝනා කෙනෙකුයි, කොළ ඇඳුම් ඇඳගත් (හෙද) නෝනලායි, සුදු ඇඳුම් ඇඳගත් (කනිෂ්ඨ කාර්ය මණ්ඩල) නෝනලායි ඉඳලා. එන්නත දීලා “ටික වෙලාවක් ඉඳලා යන්න” කියලා. වෙන උපදෙස් මොකුත් නැහැ.

ආනන්ද ශාස්ත්‍රාලයේ පොහොට්ටු දේශපාලකයකු සංවිධානය කරපු එන්නත්කරණයක් තිබිලා. එතනට ගිය අය කිව්වා, තේ, වතුර බෝතල් එහෙම පවා දීලා, සියලු දෙනාට වෛද්‍ය උපදෙසුත් දුන්නාය කියලා.

රෝහල් සේවකයන්ට තේ, වතුර බෝතල් එහෙම දෙන්න බැරි බව ඇත්ත. එහෙත්, වෛද්‍ය උපදෙස් දෙන එක ඔවුන්ගෙ රාජකාරියෙම කොටසක්. ඇයි රජයේ සේවකයන් ඒක නොකරන්නෙ? සමහරවිට ඔවුන් කාර්ය බහුල වැඩි ඇති. හැබැයි ඉතින් ඔය උපදෙස් ටික දෙන්න පොඩ්ඩක් මහන්සි වෙන්න කෙනෙකු යොදවන්න බැරි තරම්ම කාර්ය බහුලය කියලා මා නම් හිතන්නෙ නැහැ. නිල කාර්ය මණ්ඩල ගණනය කිරීම් අනුව නම් සේවකයන් ප්‍රමාණවත් නැතුව ඇති.

සෞඛ්‍ය සේවකයන්ට වෘත්තීය ගැටලු තියෙනවා. ඒ වගේම, දොස්තරලා, හෙදියන් හා වෙනත් වෘත්තික ශ්‍රේණි අතරෙ ගැටුම් තියෙනවා. කණ්ඩායම් හැඟීමකින් වැඩකිරීමක්, නායකත්වයක් නැහැ. වැඩ කරන්නට උද්‍යෝගයක් නැහැ. පඩියට වැඩ කරනවා. රස්සාවෙ සීමාව ඉක්මවා අමතර දුරක් යන්න ඔවුන්ට උනන්දුවක් නැහැ. ඒ සම්බන්ධ අවදානමක් ගන්නෙ නැහැ. කිව්වොත් කරයි. ඇහුවොත් කියයි.

රජයේ සේවකයන් බොහොමයක් වැඩකරන්නෙ ඔය විදියට. උද්‍යෝගය අවමයි. රාජකාරියවත් හරියට කරන්නෙ නැහැ. නිතර වැටුප් අරගල. පඩි මදිලු. හැබැයි, පෞද්ගලික අංශයේ ලොකු පඩි අතෑරලා තරුණයන් රජයේ රස්සාවලට එනවා. රැකියා සුරක්ෂිතභාවය හා විශ්‍රාම වැටුප නිසා වෙන්න ඇති. හැබැයි, රජයේ සේවයේ බොහෝදෙනෙකු ඉන්නෙ අසතුටින්. ඒක සේවා ලබාගන්න රජයේ කාර්යාලවලට යන අයට දැඩිව බලපානවා.

රජයේ සේවකයන්ට දේශපාලන අධිකාරියෙන් හා ඉහළ නිලධාරීන්ගෙන් හරිහමන් නායකත්වයක් ලැබෙන්නෙ නැහැ. උඩ ඉන්නෙ හොරුන්ය කියන එක තමයි පහළ ඉන්න අය හිතන්නෙ. පහළත් ඉන්නෙ හොරු කියල තමයි ජනතාවට පෙනෙන්නෙ.
රජයේ සේවකයන් අතරෙ වැඩකිරීමේ උද්‍යෝගය ඇති නොකර රාජ්‍ය සේවය නංවන්නට හෝ මේ රට සංවර්ධනය කරන්නට හෝ බැහැ. මේ රට මේ මොහොතේ ඉන්න තත්වය අනුව නම් ඒක අත්‍යවශ්‍යයි. ඒත්, ඒක කොහොමද කරන්නෙ?
ඒකට සාමූහික දේශපාලන නායකත්වයක් අවශ්‍ය වේවි. අවංක, කැපවීමෙන් වැඩකරන, හොරකම් නොකරන, වරප්‍රසාද නොඉල්ලන, ඒ විදියට වැඩ කරන්නැයි රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නට සදාචාරාත්මක අයිතියක් තියෙන නායකත්වයක් අපි නිර්මාණය කරගන්නට ඕනැ.

ජනතාවට බොරු කරපු වත්මන් ජනාධිපතිවරයා වගේ අසාර්ථක නායකයන්ට ඡන්දය දීපු ජනතාව දැන් ඉන්නෙ දැඩි කලකිරීමකින්. ඔහුට රැවටුණු ප්‍රධාන බලවේගයක් තමයි රජයේ සේවකයන්. ඔවුන් මේ විදියට ප්‍රතිචාර දක්වන්නට එක හේතුවක් තමයි ඒ ඉච්ඡා භංගත්වය.

විවිධ වෙනස්කම් තිබුණත්, මේ රට වෙනුවෙන් අවංක අභිලාෂයක් තිබෙන ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග, පුරවැසි හා සිවිල් සමාජ ව්‍යාපාර, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන ආදිය එකතු වුණොත් එහෙම නායකත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙයිද? මේ දවස්වල මං කල්පනා කරන දෙයක් තමයි ඒ.

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය