2019-11-14

රටට විදේශ විනිමය එවන්නට විදෙස් රටවල දුක්විඳින අපේ ගැහැණු හා මිනිස්සු

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා ලංකා පුවත්පතේ පළ විය.

සෑම වසරක ම ලක්ෂ තුනකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වෙති. ඔවුන්ගෙන් බහුතරයක් යන්නේ ගල්ෆ් සහයෝගිතා රටවල රැකියා සඳහා ය. ඒ අතරින් වැඩිදෙනෙකු අඩු කුසලතා අවශ්‍ය ගෘහ සේවක සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් ආදී ලෙස සංක්‍රමණය කරති. ගැහැණුන් මෙන් ම පිරිමින් ද විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන්නට පොදු හේතු තිබේ. ඒවා නම්, දිළිඳුකම, ස්ථාවර ආදායමක්, ජීවනෝපායක් නැතිකම හා විශේෂයෙන් ම ණයගැතිභාවයයි. ඇතැමෙක් නිවසක් හදාගැනීම, දරුවන්ට ඉගැන්වීම වැනි අවශ්‍යතා වෙනුවෙන් මුදල් ඉපැයීමට විදේශගත වෙති. ඇතැම් කාන්තාවක විදේශගත වන්නේ හිංසාකාරී සැමියකුගෙන් බේරී සිටීමට ය.
Translations by Creative Content Consultants
වසර 40කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව විදේශ රටවලට ශ්‍රමය සඳහා තම පුරවැසියන් යවමින් සිටියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන ද තිබේ. 2016දී පමණක් ශ්‍රී ලංකාවේ විදේශ සේවා ප්‍රේෂණ ඩොලර් බිලියන 7.2ක් වූ බව මහබැංකු වාර්තාවේ දැක්වේ (ශ්‍රීලමබැ, 2018). එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කි. එයින් 50%කට වඩා මඳක් වැඩියෙන් උපයාගනු ලැබුවේ මැදපෙරදිග කලාපයෙනි. 2017 වසරේදී ප්‍රේෂණවල අඩුවීමක් ඇති වූ මුත්, එය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම විදේශ අදායම් මාර්ගයයි. එමගින් රටේ වෙළඳ ශේෂයෙන් 70%ක් පමණ පියවනු ලැබේ. ඒ අනුව, සංක්‍රමණික ශ්‍රමිකයන් යනු ශ්‍රී ලංකාවේ වඩාත් ම වටිනා අපනයනයයි.
විදේශ රැකියා සඳහා සංක්‍රමණය කිරීම සිදුකරන්නේ ප්‍රධාන වශයෙන් ම නියෝජිතායතන හරහා ය. එහිදී අතරමැදියන් ලෙස ක්‍රියා කරන උප නියෝජිතයන් ඉතා වැදගත් ය. මෙකී උප නියෝජිතයන් තැරැව්කරුවන් වැනි ය. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ පුද්ගලයන් විදේශ රැකියා සඳහා යවා තමන්ගේ කොමිස් මුදල ලබාගැනීමයි. එම නිසා ඔවුන් විසින් අනාගත සංක්‍රමණික සේවකයන් සුරංගනා කතාවලින් රැවටීම සුලබ තත්වයකි.
පිරිමින්ට විදේශ රැකියාවක් සඳහා සංක්‍රමණය වීම වෙනුවෙන් රු. 10,000 පමණ සිට රු. මිලියනයටත් වැඩි වටිනාකම් දක්වා වැය කිරීමට වේ. එය වෙනස් වන්නේ ගමනාන්ත රට අනුව ය. ගෘහ සේවය සඳහා කාන්තාවන්ට රු. 200,000 දක්වා මුල්‍ය දිරිගැන්වීම් ලැබේ. ඇතැම් විට මෙම දිරි දීමනා අතරමැදියන් විසින් ගසාකන බව ද වාර්තා වේ. බොහෝ විට මෙම මුදල් ගනුදෙනු ණයගැතිභාවය ඇති කරයි. ඒ නිසා ඔවුන්ට තමන් යවන ඕනෑම තැනක වැඩකරන්නට සිදු වන අවස්ථා තිබේ. ඇතැම් විට ඔවුන්ට ගිවිසුම ප්‍රකාර වැටුප් නොලැබේ. කාන්තාවන්ට නම් ඇතැම් විට එක නිවසක වැඩ කරනු වෙනුවට නිවාස කීපයක වැඩ කිරීමට සිදු වේ. නිශ්චිත වැඩ වෙනුවට පවරන ඕනෑම වැඩක් කිරීමට ද සිදු වේ.
කාන්තාවන්ට ඇතැම් විට නිවසින් බැහැර වීම, වෙනත් අය ඇසුරු කිරීම පමණක් නොව දුරකථන භාවිතය ද දැඩිව සීමා කෙරේ. නිරන්තරයෙන් සීසීටීවී කැමරා මගින් අවේක්ෂණය ද, ආහාර ප්‍රමාණවත් ලෙස නොලැබීම ද සිදු වේ. රැකියාව ඉතා උදෑසනින් ඇරඹී මධ්‍යම රාත්‍රිය දක්වා දිග්ගැසෙන අවස්ථා ද සුලබ ය. විවේක දිනයක් ලැබෙන්නේ නැති, වෛද්‍ය සත්කාර නොලැබෙන, පෞද්ගලිකත්වයකට ඉඩක් නැති නිවාස ද සුලබ ය.
ගෘහ සේවය සාමාන්‍යයෙන් බලහත්කාර ශ්‍රමය සමග පැටලී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. ලොව පුරා ගෘහ සේවිකාවන් මිලියන 67 කට අධික සංඛ්‍යාවක් සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර තිබේ (ගෘහ සේවිකාවන්2018). එහිදී කාන්තාවන් අපයෝජනයට ලක්ව ඇති බවට වැඩි වැඩියෙන් චෝදනා එල්ල වී ඇති අතර කිසිදු වැටුපක් නොමැතිව දිගු වේලාවක් වැඩ කිරීමට ද බල කෙරී තිබේ. රැකියාවේ පහත් තත්වයට අමතරවසංක්‍රමණික ගෘහ සේවිකාවන් භාෂාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් ද අභියෝග රැසකට මුහුණ දෙන අතර නියමිත කාල සීමාවක් තුළ ජීවත් වීමට හා වැඩ කිරීමටත් ඔවුන් විසින් චිත්තවේගීයව හා පෞද්ගලිකව දැඩි වෙනස්කම් ඇතිකරගත යුතුය.  දේශීය නීතිගත කිරීම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ ගෘහ සේවකයින්ගේ ගැටලුව තවදුරටත් සංකීර්ණ වී තිබේ. පසුගිය කාලය තුළ කෆීල් ක්‍රමය සංශෝධනය කිරීමට ගල්ෆ් සහයෝගීතා රටවල (GCC) විසින් ඉතා කලබලයෙන් නීති සම්පාදනයන්  සිදුකරනු ලැබූව ද, වෙනත් සංක්‍රමණික කම්කරුවන් සඳහා ‌ලබා දී ඇති දේශීය නීති මගින් ඇති මූලික ආරක්ෂාවෙන් ගෘහ සේවය තවමත් බැහැර‌කොට තිබේ. (ILO, 2017, පිටු. 12-15).
පිරිමි ද අනන්ත ගැටලුවලට මුහුණ දෙති. නිසි ලෙස වැටුප් නොගෙවීම ඒ අතර ප්‍රධාන ය. එහෙත්, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට තැනින් තැන යාමේ, අමතර වැඩ කර මුදල් ඉපැයීමේ ආදී නිදහස හා අවස්ථා තිබේ. පිරිමි බොහෝ විට තමන්ට මුහුණ දෙන්නට සිදුවන කටුක තත්වයන් විඳ දරාගනිති.
සේවායෝජකයා විසින් ගමන් බලපත්, වැඩ අවසර පත්‍ර ආදී අනන්‍යතා ලේඛන පවරාගැනීම කාන්තාවන් මෙන් ම පිරිමින් ද මුහුණ දෙන පොදු ප්‍රශ්නයකි.
2014 බලහත්කාර ශ්‍රමය කෙටුම්පතට අනුකූලව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් බලහත්කාර ශ්‍රමයේ දර්ශක ලෙස හඳුනාගෙන ඇත්තේ: වැටුප් අත්හිටුවීම, ණය බැඳීම්, බිය ගැන්වීම් සහ තර්ජන, හුදකලා කිරීම, චලනය සීමා කිරීම, අනාරක්ෂිත භාවය අනිසි ලෙස භාවිතා කිරීම, රැවටීම, ශාරීරික හා ලිංගික හිංසනය, අධික ලෙස අතිකාල, අපයෝජනීය සේවා හා ජීවන තත්වයන් සහ අනන්‍යතා ලේඛන රඳවා තබා ගැනීම යන ඒවා ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, කුට්ටනය යනු බලහත්කාර ශ්‍රමයේ සමස්ත සංසිද්ධියේ උප ලක්ෂණයකි.
දරාගැනීමට නොහැකි වූ විට කාන්තාවෝ සේවා ස්ථානයෙන් පළායති. එය ඉතා අවදානම්කාරී ක්‍රියාවක් නිසා බොහෝ කාන්තාවන් ඒ සඳහා එඩිතර වන්නේ නැත. පළා යන ඔවුන්ට තානාපති කාර්යාලවලින් රැකවරණ නිවාස වැනි යම් සේවාවන් සැපයේ. එහෙත් ඒවායේ ගැටලු ඇති බව එම අත්දැකීම් ලද කාන්තාවෝ පවසති. නිසි පහසුකම් ලබා නොදීමට අමතරව, නිලධාරීන් විසින් පළා එන සේවිකාවන් නැවත නියෝජිතායතනයට හෝ හිංසක සේවායෝජකයාට ම ලබාදීම පවා සිදුවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සිටින රටවල් හැම එකකම පාහේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සේවයේ යොදවා තිබේ.
2013දී විදේශ රැකියා ප්‍ර‍වර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් වැදගත් චක්‍රලේඛ දෙකක් නිකුත් කරන ලදී. පළමුවැන්න ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනවලට වන අතර දෙවැන්න නිකුත් කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ය. 2014 ජනවාරි සිට ක්‍රියාත්මක කරන ලද මෙම චක්‍රලේඛ මගින් ගෘහ සේවා ක්ෂේත්‍රයේ විදේශ රැකියා අපේක්ෂා කරන සියලු කාන්තාවන් විසින් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී.
කාන්තා විදේශ ගෘහ ශ්‍ර‍මිකයන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා සත්කාරකත්වය ගැන වැඩි අවධානයක් යොමු කරමින් තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව තහවුරු කිරීම මෙම පවුල් පසුබිම් වාර්තාවේ ඉලක්කය විය. එමගින් වයස අවුරුදු පහට අඩු කාන්තාවන් විදේශ ගෘහ සේවිකාවන් ලෙස සංක්‍ර‍මණය වීම වළක්වන ලදී. වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින කාන්තාවන්ට ද විදේශ ගෘහ සේවක රැකියා සඳහා සංක්‍ර‍මණය වීමට අවසර ලැබෙන්නේ දරුවන් රැක බලා ගැනීමට සෑහීමට පත් විය හැකි වැඩපිළිවෙලක් යොදන්නේ නම් පමණි.
එසේම, පළමු වරට විදේශ ගෘහ සේවිකා රැකියාවක් සඳහා සංක්‍ර‍මණය විය හැක්කේ වයස අවුරුදු 55ට අඩු කාන්තාවන්ට පමණි. එසේම සවුදි අරාබියට යා හැක්කේ වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට පමණි. අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවම වයස අවුරුදු 23කි. සෙසු රටවල් සඳහා 21කි.
පවුල් පසුබිම් වාර්තාව සඳහා ග්‍රාම නිලධාරිවරයාගේ, මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ, රැකියා නියෝජිතායතනයේ, ස්වාමි පුරුෂයාගේ, දරුවන්ගේ භාරකරුගේ (භාරකරු පියා නොවේ නම්) අවසර අවශ්‍ය ය. අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංක්‍ර‍මණය හා සම්බන්ධ සංවර්ධන නිලධාරිවරයා සතුව ය.
මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස 2013 වසරට සාපේක්ෂව 2014 වසරේදී කාන්තා ශ්‍ර‍මිකයන් විදේශ රැකියා සඳහා යාම 6.4%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. එහෙත්, එය දිගට ම එසේ තිබුණේ නැත.
2018දී රැකියා සඳහා විදේශගත වූ ලාංකිකයන් අතරින් 31.7%ක් කාන්තාවෝ ය. විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගෙන් 95%ක් පමණ යන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා ය. 2017දී රැකියා සඳහා විදේශගත වූ කාන්තාවන් අතර ගෘහ සේවිකාවන් සිටියේ 82%ක් පමණි.
මේ නව නීති නව ආකාරයක සංක්‍රමණයකට ද මග පාදා තිබේ. එනම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිසි ආකාරයෙන් සංක්‍රමණය වෙනවා වෙනුවට සංචාරක වීසා මත සංක්‍රමණය වීමයි. එසේ යන අය ගමනාන්ත රටේ රැකියා කරද්දී වැඩි සූරාකෑමකට හා අවදානමකට ලක් වන බව වාර්තා වේ. එපමණක් නොව, ඔවුන් එම රටවලදී ප්‍රශ්නවලට මුහුණ දුන්නොත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන්ට සේවා සපයන්නේ ද නැත. ඔවුන් උපකාර ලබාගත යුත්තේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙනි.
(ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තා ඇසුරෙනි)
(ඡායාරූපය Economy Next වෙබ් අඩවියෙනි)