2019-11-29

අලුත් ජනාධිපති යටතේ අලුත් ගමනක ආරම්භය ගැන නිරීක්ෂණ

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 29 අනිද්දා පුවත්පතේ ද පළ වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. මෙම සටහන තබන අද දින ඔහු සිය පළමු නිල විදේශ චාරිකාව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග ඔහුගේ සාකච්ඡා හා සම්බන්ධතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතිශය වැදගත් ය. ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඔහුගේ පාලනය විසින් සලකුණු කර තිබෙන ලක්ෂණ කිහිපයක් අධ්‍යයනය කර බැලීම මෙම සටහනේ අරමුණයි.
ගෝඨාභය රාජපක්ෂ පාලනය යනු රාජපක්ෂ පවුලේ ප්‍රධාන බලවේග දෙකක් අතර බලතුලනයක් ලෙස සැලකිය හැකි ය. එම බලවේග දෙක නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අතර බල තුලනයයි. මෙම පුද්ගලයන් දෙදෙනා විසින් ඉතා පැහැදිලි දේශපාලන ධාරාවන් දෙකක් නියෝජනය කරන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනප්‍රියවාදී නායකයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනප්‍රිය දේශපාලන චරිතයක් වුව ද ඔහු ජනප්‍රියවාදියකු යයි කිව නොහැකි ය. මෙම ලක්ෂණ මේ දෙදෙනා බාහිර සමාජයට පෙනී සිටින ශාරීරික ප්‍රතිරූපවලින් පවා පෙනේ. මහින්ද රාජපක්ෂ රූප ලාවණ්‍යයට විශාල අවධානයක් යොමු කළ අයෙකි. ඔහු අඳින ඇඳුම විසින් පවා ජාතිකවාදී සංඥාර්ථවේදවලින් බහුල ය. චර්යාවන් ආගම්වාදය දෙසට නැඹුරු ය. නූතනත්වයෙන් ඔබ්බට චලනය වන ලක්ෂණ පෙන්නුම් කරයි. ගෝඨාභය රාජපක්ෂ ඊට හාත්පසින් ම වෙනස්ව නූතනවාදී ලක්ෂණ පෙන්නුම් කරන්නෙකි. ඔහුගේ කෙස්සේ ඩයි ද, අතේ පිරිත් නූල් ද නැත. ජනාධිපති ලෙස ඔහු අඳින නිල ඇඳුම පවා බටහිර ඌරුවෙහි යම් ආසියාතික තනුකකරණයකි.

Translations
දේශපාලනික වශයෙන් ගත් කල, ගෝඨාභය රාජපක්ෂගේ හා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත් කරගන්නා ලද කැබිනට් මණ්ඩලය හා ඇමති මණ්ඩලයේ ලක්ෂණ ද සුවිශේෂ ය. එහි මෙම බලවේග දෙක අතර බල තුලනයක් දක්නට ලැබෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මහින්දගේ සුරතලෙකුට සෙස්සන් අභිබවා කැබිනට් ඇමති තනතුරු ලැබෙන්නේ ද, මීගමුව ආසනය පවා පරාජය වූ නිමල් ලන්සාට නියෝජ්‍ය ඇමති තනතුරක් ලැබෙන්නේ ද ඒ අනුව ය.
වඩා කැපීපෙනෙන වෙනස්කම් දැකිය හැක්කේ රාජ්‍ය ඇමතිවරුන් අතර ය. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ වැදගත් කරුණු ගැබ් විය. දුම්රිය අමාත්‍යංශයක වැදගත්කම පිළිබඳ ඔහු පැවසූ අදහස් පොදු ප්‍රවාහනයපිළිබඳ පසුගිය රජයේ තිබුණු අසංවේදීත්වයට පිළිතුරක් ලෙස සැලකිය හැකි ය. ඔහු දේශීය වෙදකම හා සංචාරක කර්මාන්තය පිළිබඳ එකට කතා කළේ ය. දේශීය වෙදකම ඇත්තට ම සංචාරක කර්මාන්තය සඳහා කදිම රුකුලකි. සමාජ ආරක්ෂණ අමාත්‍යංශය හා දිළිඳුකම පිටුදැකීම ගැන ද ඔහු විශේෂයෙන් කතා කළේ ය. 53දෙනෙකුගෙන් සමන්විත සමස්ත ඇමති මණ්ඩලයේ ම කාන්තාවන් සිටින්නේ එක් අයෙකු පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 0.5ක් පමණ වේ. කාන්තා ඇමති ධුරය ද පිරිනැමුවේ පිරිමියෙකුට ය. එසේ කළේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන හා ශ්‍රියානි විජේවික්‍රම නොතකා හරිමින් වීම ද විශේෂ වේ. කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පිළිබඳ ජනාධිපතිවරයා විසින් පළ කරන ලද අදහස් තුළ පවා ගැටලු තිබේ. කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු නිසා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළ බව ජනාධිපතිවරයා පැවසුවේ ය. 2005 වසරේ සිට මෙම විෂය වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් තිබුණු බව ඔහු නොදැන සිටියේ ද? නැතිනම් මෙය රෝදය අලුතෙන් සොයාගැනීමක් ද?
දෙමළ ඇමතිවරුන් දෙදෙනෙකු සිටිය ද, එක් මුස්ලිම් ඇමතිවරයකු හෝ නොමැති වීම ද මෙම ඇමති මණ්ඩලයේ විශේෂත්වයකි. එය දේශපාලන සංඥාර්ථයක් ලෙස ඉතා වැදගත් ය. පාස්කු ප්‍රහාරයට පෙර සිට ම සිංහල ජාතිවාදී බලවේග විසින් මුස්ලිම් විරෝධය බලය සඳහා පාවිච්චි කරන ලද අතර පාස්කු ප්‍රහාරයෙන් පසු එය තීව්‍ර විය. මුස්ලිම් විරෝධයෙන් බලයට පැමිණි රජය මුස්ලිම් ජනයා මේ අන්දමින් කොන් කිරීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, එය නින්දිත තත්වයකි.
මේ අතර, ආණ්ඩුව තුළ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයෙහි තරම කෙතරම් ද යත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරගනු ලැබුවේ ද චමල් රාජපක්ෂ ය. ආරක්ෂක, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන යන ඉතා වැදගත් අමාත්‍ය තනතුරු සියල්ල තිබෙන්නේ රාජපක්ෂ පවුල අතේ ය.
අමාත්‍ය ලේකම්වරුන් පත්කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් මතභේදයට තුඩු දුන් වෘත්තීය සමිතියේ නායක අනුරුද්ධ පාදෙනියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර නොදී සිටින්නට රජය තීරණය කළේ ඒ සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය හේතුවෙන් නම්, එය හොඳ තත්වයකි. ඇතැම් විට, රජය එවැනි අදහසක නොසිටියා වන්නටත් ඇත. එය හුදු මාධ්‍ය ප්‍රබන්ධයක් පමණක් වන්නට ද පුළුවන. කෙසේ වෙතත්, පාදෙනිය ඒ ගැන කිසිවක් සඳහන් නොකිරීමෙන් අදහස් වන්නේ ඔහු ද එම තනතුරට ඇල්මක් දැක්වූ බවයි.
ජනාධිපතිවරයා තමා වෙත සමීප කරගන්නා නිලධාරීන් ද වැදගත් දේශපාලන සංඥාර්ථ ලෙස සැලකිය හැකි ය. ජනාධිපති ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ කලින් විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයකු ලෙස හඳුන්වන ලද පී.බී. ජයසුන්දර ය. ඔහු ඊටත් පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැරදි අන්දමින් පෞද්ගලික අංශයට විකිණීම සම්බන්ධයෙන් වරදකරු ලෙස හඳුනාගන්නා ලද අයෙකි. ප්‍රකට නව ලිබරල්වාදියකු වූ ඔහු දැන් විමල් වීරවංශ කියන ආකාරයේ වෙනස් අයෙකු ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.
බදු වර්ග අටක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සිය පළමු කැබිනට් රැස්වීමේදී ම තීරණය කළේ ය. එම බදු වර්ග අතර ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසිකිරීම, භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද 8% දක්වා පහ. හෙළීම, විදුලි සංදේශ බද්ද 25% දක්වා පහත හෙළීම, උපයනවිට ගෙවීමේ බද්ද සඳහා අවම මාසික ආදායම රු. ලක්ෂ 2 1/2 දක්වා වැඩි කිරීම, පොලියෙන් අය කරන බද්ද මාසිකව ලක්ෂ 2 1/2ට වැඩි පොළියට පමණක් සීමා කිරීම, ඉදිකිරීමේ කර්මාන්ත බද්ද 14%කින් පහත හෙළීම ඒ අතර කැපී පෙනේ. බදු අඩු කිරීමෙන් ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට රජය ඉලක්ක කරන බව පෙනේ. එහෙත්, ඒ සමග ම රජයේ ආදායම් සමබර කරගැනීමේ අභියෝගයකට රජය මුහුණ දෙනු ඇත. ඒ වෙනුවෙන් ද වැඩපිළිවෙලක් ඇති බව පෙනේ.

Translations by Creative Content Consultants
රාජ්‍ය ආදායම් නිසි ලෙස අය කරගැනීමෙහි ලා වැදගත් ආයතන තුනක් තිබේ. ඒවා නම්, දේශීය ආදායම්, රේගු හා සුරාබදු දෙපාර්තමේන්තු ය. මෙම දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාව නැංවීම සඳහා රජයට කඩිනමින් ක්‍රියා කිරීමට සිදු වනු ඇත. සමස්ත රජයේ සේවය සම්බන්ධයෙන් ම දැඩි තීරණ ගැනීමට රජය බලාපොරොත්තු වන බව පෙනේ. 2020දී, ලක්ෂ 15ක් පමණ වන රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට රු. ට්‍රිලියනයක් (1,000,000,000,000) වැය වන බව දළ වශයෙන් ගණන් බලා තිබේ. එවැනි සංදර්භයක් තුළ රජයේ සේවකයන් තවදුරටත් සුරතල් කිරීමට රජයට කිසිසේත් ම නොහැකි ය. පසුගිය රජය ඉතා වැරදි සහගත ලෙස රජයේ සේවකයන් සුරතල් කරන ලදී. සියයට 107කින් පමණ වැටුප් වැඩි කරන ලදමුත්, කාර්යක්ෂමතාව වර්ධනය වූයේ සියයට දශම ගණනකින් විය හැකි ය. ලබන ජනවාරියේ ද රජයේ සේවකයන්ට තවත් වැටුප් වැඩිවීමක් ලබාදීමට නියමිතව තිබිණි. දැන් එය නොලැබෙන බව පෙනේ. මේ වන විට රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ද අත්හිටුවා තිබේ. මහජන මුදලින් පිටරට සවාරි ගැසූ නිලධාරීන් රටට ගෙනැවිත් ක්‍රියාවේ යෙදූ දැනුම අල්ප ය. රජයේ සේවකයන්ගේ විදේශ චාරිකා ඵලදායී අරමුණු වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය. මෙය දේශපාලකයන්ට ද අදාළ ය. පසුගිය රජය සමයේ සීමාවකින් තොරව නිලධාරීන් හා දේශපාලකයන් මහජන මුදලින් රට සවාරි ගිය හ.
පසුගිය රජය සැලකිය යුතු අන්දමින් ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට අසමත් වූ බව ඇත්තකි. රජයේ අස්ථාවරත්වයට අමතරව, විපක්ෂය විසින් ආයෝජකයන්ට කරන ලද තර්ජන, විදේශ වෙළඳ ගිවිසුම්ආදිය ඉරා දමන බවට කරන ලද ශපථ කිරීම් ආදිය මෙන් ම, දෛනික පදනමින් සිදු වූ වැඩ වර්ජන ඇතුළු කඩාකප්පල් ක්‍රියා ද මෙම තත්වයට හේතු විය. ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැටුප් විෂමතා ගැටලුව උච්ච තලයකට ගෙනැවිත් තිබිණි. වැටුප් අහිමිකිරීමක් ද හමුවේ දැන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කරනු ඇත්තේ කුමක් ද?
ජාතික ආරක්ෂාවේ නාමයෙන් මහජන ආරක්ෂක පනතේ බලතල ප්‍රකාරව හමුදාව භූමියට කැඳවීමෙහි අරුත තේරුම් ගත හැකි වන්නේ මෙම සංදර්භය තුළ ය. ඉදිරි කාලයේත් රට තුළ දෛනිකව වැඩවර්ජන පැවතීම ආණ්ඩුව අපේක්ෂා නොකරනු ඇත. වෙනත් උද්ඝෝෂණකරුවන්ට ද පාරවල් වසා, මහජනතාවට හිරිහැර වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් නැවත සිතාබලන්නට සිදු වන බව ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන සිදුවීමක් පසුගිය සතියේ සිදු විය.
රාජපක්ෂ පවුලේ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිය පවුලත් සමග පසුගිය ඉරිදා ස්විට්සර්ලන්තය බලා ගිය බව ද, ඔහු එහි දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට ඉඩ ඇති බව ද වාර්තා විය. මෙම සිද්ධියෙන් පසු, නාඳුනන පිරිසක් විසින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් පැය කීපයක් රඳවා තබාගෙන තානාපති කාර්යාලයේ අභ්‍යන්තර තොරතුරු ලබාගෙන නිදහස් කර ඇති බවට ද වාර්තාවක් පළ විය. එය ස්විට්සර්ලන්ත තානාපති අංශ විසින් ද තහවුරු කර තිබේ. කාලය සති දෙකකට අඩු වුණ ද බොහෝ දේ සිදු වී තිබේ. ශ්‍රී ලංකාව සුසමාදර්ශීය වෙනසකට ලක් වන බව අප මීට පෙර නොවැම්බර් 17න් පසු ලංකාව ගැන ලියූ ලිපියේ ද පෙන්වා දෙන ලදී. කියවන්න:

SRI LANKA GETS THE BAD NAME INTERNATIONALLY DUE TO ABDUCTION OF AN EMBASSY STAFF MEMBER

Ajith Perakum Jayasinghe

Swiss foreign ministry has confirmed the incident of the kidnap of a female embassy official by unknown assailants in Sri Lanka. Swissinfo.ch website reported that the Swiss foreign ministry announced in a written statement that the woman had been threatened in order to force her to disclose “embassy-related information”.
Translations by Creative Content Consultants
“Switzerland promptly reported the incident to the Sri Lankan authorities and is demanding an immediate and complete investigation into the circumstances surrounding the incident,” wrote ministry spokesman Pierre-Alain Eltschinger, as reported by swissinfo.ch.
The Sri Lankan ambassador to Switzerland has also been summoned to the foreign ministry in Bern, he added.
Meanwhile, another Swiss website, nzz.ch, stated that Nishantha Silva, a police inspector who investigated about Sri Lanka’s ruling family has fled to Switzerland with his family with the hope of seeking political asylum.
“In the Criminal Investigations Department, Silva investigated corruption cases and serious human rights violations dating back to the presidency of Gotabaya’s older brother Mahinda (2005-2015). The current president, Gotabaya, led the Ministry of Defense as top official and commanded the extermination campaign against the Tamil extremist organization LTTE until 2009. Gotabaya has recently appointed his brother prime minister,” the website reported in the German language. (Google translation)
“Police Inspector Silva identified, inter alia, in the case of 2009 disappeared cartoonist and human rights activist Prageeth Eknaligoda. He also interviewed members of the military who allegedly kidnapped 11 teenagers and extorted ransom from their relatives. Nevertheless, the kidnapped were killed. In some cases, witnesses have directly incriminated members of the Rajapaksa family, especially Gotabaya: he has instructed intelligence officials to silence unpleasant voices. The President elected in mid-November has always denied the allegations. The investigating authorities also targeted Gotabaya for allegations of corruption in connection with armaments business.
“From the environment of the Rajapaksas Silva is charged with politically motivated one-sidedness. Silva, however, has also investigated war atrocities of the LTTE. In professional circles, the volatile top official is considered to have integrity and competence. Sri Lankan media reports that Silva received death threats after the November 26 transfer of power. Nevertheless, the authorities removed his bodyguards. That a return of the Rajapaksa clan could bring the brave investigator in trouble, had already signed in 2018. In a coup d’état, President Sirisena appointed former opposition leader Mahinda Rajapaksa as head of government. In one of his first acts, Rajapaksa deposed the inspector. Only after the restoration of the constitutional order, Silva could continue his work.” (Google translation)
However, the sources said that the Swiss government had not confirmed the police officer’s entry to the country, staying there and applying for political asylum due to privacy concerns.
The incident brings back the memories of state atrocities prevailed in the country during the rule of the Rajapaksa family before 2015, immediately after their re-election to power in the presidential held on 16th November. No state-suspected abduction, torturing, assassination and disappearance was reported in the nearly five years of rule of the coalition government which was replaced by a government led by Rajapaksa family.
Thanks for the Swiss embassy photo byKeystone / Anthony Anex taken via swissinfo.ch

පමුණුවේ වෙළෙන්දන් ජනමතයට ගරු කළ යුතු නැද්ද?

මහරගම පමුණුවේ වීදි රෙදි වෙළඳුන්ට රාත්‍රී කාලයේදී තම කඩ ලෑලි පාර අයිනේ තබා නොයන්නැයි හමුදාව උපදෙස් දීම ගැන සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වී තිබේ.
Translations by Creative Content Consultants
පමුණුව වෙළඳපොළ වනාහි දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වෙළඳ අඩවියකි. ඔවුන්ට දිරි දීම මිස අධෛර්ය කිරීම ආර්ථිකයට හොඳ නැත. කෑලි රෙදි මූට්ටු කර මහන ඇඳුම විකුණාගෙන ජීවත් වන මිනිසුන්ට විකල්පයක් නොදී ඔවුන් පළවා හැරීමෙන් සිදුවන්නේ දිළිඳුකම තව තවත් වැඩි වීමයි.
එසේම, පමුණුව යනු යම් වෙළඳ සංස්කෘතියක් ලෙස ද සැලකීමෙහි වරදක් නැත. එය වෙළඳපොළ නම් සාධකයෙහි ඇති විචිත්‍රත්වය ද නිරූපණය කරන අවස්ථාවකි.
වීදියේ වෙළඳාම් කරන මිනිසුන් බොහෝදෙනෙකු කරන්නේ හැන්දෑවට තමන්ගේ බඩු ටික පෙට්ටිවලට පටවා ළඟපාත හිතවත් කඩයක තැබීමයි. කලාතුරකින් ඇතැමෙකුට ඩිමෝ බට්ටන් හෝ ත්‍රිරෝද රථවලින් ඒවා ගෙදර රැගෙන යා හැකි ය. ඇතැමෙකු වෙළඳාම් කරන වීදියට එන්නේ දුරබැහැර සිට ය. මොවුන්ගේ කඩ තට්ටු හදා ඇත්තේ පෙට්ටි ලෑලිවලිනි. හැන්දෑවට ඒවා ගලවා අසල බිත්තියකට හේත්තු කර තබනු ලැබේ. රාත්‍රියට ඒවා අවලස්සන බව ඇත්ත ය‍.
එහෙත්, ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දී ඇත්තේ විනය හා පිළිවෙල අන් සියල්ලට පළමු ඇතිකරන්නට නම් දැන් ඉතින් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවීම නොවැළැක්විය හැකි ය. ඡන්ද කාලයේ දේශපාලකයන් උපරිම නිදහසක් විඳිනු දක්නට ලැබුණුමුත් දැන් නැවත ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වී හමුදාව පාරට කැඳවා තිබේ. දුප්පතුන්ගේ කඩ තට්ටු ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකීම පුදුම විය යුතු තත්වයක් නොවේ.
වීදි වෙළඳුන් නගර සභාවට බදු ගෙවන බැවින් ඔවුන්ට තම කඩ තට්ටු පිළිවෙලට පවත්වාගෙන යාම සඳහා ක්‍රම සලසා දෙන්නැයි ඔවුන්ට නගර සභාවෙන් ඉල්ලා සිටින්නට පුළුවන. ඒවා සැපයීම ඔවුන්ගේ වගකීමකි.
ජනවරමට ගරු කිරීම දේශපාලකයන්ගේ පමණක් නොව මහජනතාවගේ ද වගකීමකි.
ඡායාරූපය මාලිංග ප්‍රසාද් සතු ය. ස්තුතියි

2019-11-27

ගෝඨාභයවාදය හා ජාතිවාදය අතර ආදරය හා වෛරය

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 24 අනිද්දා පුවත්පතේ පළ විය.

ජනාධිතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට බරපතල පරාජයක් බව පිළිගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද ජාතික ජන බලවේගය ද දැවැන්ත පරාජයකට ලක් විය. ඒ අතර ම, මෙම බලවේග දෙක ප්‍රජාතාන්ත්‍රික පදනමින් එක්සත්ව කටයුතු කළා නම් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ පරාජය වන්නට ඉඩ තිබුණු බව ද ප්‍රතිඵලයෙන් පෙනේ. එසේ වෙද්දීත්, දෙමළ හා මුස්ලිම් ජාතීන් පමණක් නොව, ක්‍රිස්තියානි ප්‍රජාව පවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැර ඇති බව ද ඡන්ද ප්‍රතිඵලවලින් පෙනේ.
Translations by Creative Content Consultants
නැගී එන සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයේ අභියෝගය පළමුව සුළුතර ජාතීන්ට හා ආගම්වලට දැනීම ස්වභාවික ය. එහෙත්, එය පසුව කුල හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය දක්වා ම අවබෝධ වනු ඇත. එහෙත්, එකී අවබෝධය ලැබෙන්නේ සවිඥානකත්වය සහිත ප්‍රජාවන්ට පමණි. අධිපතිවාදයන් විසින් වහල්භාවය ද ගොඩනගන බැවින් සමාජයේ සැලකිය යුතු බලවේගයක් අධිපතිවාදී පීඩනය දරාගන්නන් බවට පත් වීම ද ස්වභාවික ය.
ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය විග්‍රහ කරගැනීම ඉතා වැදගත් ය. එහි ජනප්‍රිය ම අක්ෂය වූයේ අනෙකක් නොව, ඉතා  ම පටු හා ආන්තික ජාතිවාදය හා ආගම්වාදයයි. මූලික වශයෙන් ම මුස්ලිම් හා දෙමළ විරෝධයයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග මුස්ලිම් විරෝධය කූටප්‍රාප්තිය කරා ගෙන යා හැකි තත්වයක් නිර්මාණය විය. පවත්නා මජර ක්‍රමය කෙරෙහි ඇති විරෝධය ද ජාතිවාදයට වඩා අඩු පරිමාණයකින් මෙම ප්‍රතිඵලය තුළ සලකුණු වේ.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ පළමු වටයේ ක්‍රියාකාරිත්වයන් ඔස්සේ ම මෙම අක්ෂ දෙක කෙරෙහි ප්‍රතිචාරය දැකගත හැකි විය. ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ මැතිවරණ කාර්යාලයේදී තමන්, තමන්ට ඡන්දය නොදුන් ජනයාගේ ද ජනාධිපති බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිසෑයේ දුටුගැමුණු පිළිරුව අභියස පැවති සිය දිවුරුම් දීමේ උත්සවයේදී  ජාතිය අමතා පැවැත්වූ කතාවේදී දෙමළ ජනයා සම්බන්ධයෙන් නිශේධාත්මක ස්වරයක් පළ කළේ ය. පළමු කතාවත්, දෙවන කතාවත් අතර කාලයේදී උපායමාර්ග සම්බන්ධ ගැඹුරු සාකච්ඡා සිදුවන්නට ඇත. ජනාධිපතිවරයා දිව්රුම දීම හා අනෙකුත් උත්සවවලදී අඳින ඇඳුම කුරහන් සාටක පෙරවූ ජාතික ඇඳුමත් නොවී, පූර්ණ යුරෝපීය ඇඳුමත් නොවීම පවා මෙම සාකච්ඡා සමග සම්බන්ධ ය. ඇඳුම් අඳින ආකාරය ගැන අධි සංවේදී හමුදා නිලධාරියකුව සිටි බටහිර ආරේ පුද්ගලයකු වූ ඔහු ජනාධිපති ධුරයේ ඇඳුම් අඳින ආකාරය සම්බන්ධයෙන් පෙරළිකාර පියවරක් ගැනීම ඉතා වැදගත් දේශපාලන අර්ථ සහිත පියවරකි.
දෙවෙනි අක්ෂය වන, පවත්නා මජර ක්‍රමය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය ජනාධිපති කාර්ය මණ්ඩලය අඩු කිරීම, රාජ්‍ය කාර්යාලවල නායකයන්ගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පෙන්නුම් කෙරිණි. ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් හෝ පත් වූ සැණින් තම නිහතමානිත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි ක්‍රියා සිදුකරනු දක්නට ලැබේ. ප්‍රශ්නය වන්නේ ඒවා ස්ථාවර කරගැනීමට නායකයන් අසමත් වීමයි. ඉතා සරල උත්සවයක් පවත්වා දිවුරුම් දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙදර ගියේ කොළඹ හතේ පැජට් පාරෙන් නිල නිවසක් තමාගේත්, බිරිඳගේත් ප්‍රාණ බුක්තියට ලියාගෙන ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනාගතය පිළිබඳ අනාවැකි කීමට තවමත් ඉක්මණ් වැඩි ය. එහෙත්, කැපීපෙනෙන යම් ලක්ෂණ තිබේ. ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ, පාසල් සිසුන් සම්බන්ධ නඩුහබවලට පවා පැටලී සිටින, කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් සමයේ ජයග්‍රහණ හේතුවෙන් කීර්තියට පත්, චණ්ඩ මානසිකත්වයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ හමුදා නිලධාරියකු වන කමල් ගුනරත්න ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි ඉතා වැදගත් පරිපාලන තනතුරකට කමල් ගුනරත්න පත්කිරීම සංඥාර්ථ රැසකින් යුක්ත ය. එවැනි දැඩි සිංහල ජාතිකවාදියකු එම ධුරයට පත්කිරීම ඉතා පැහැදිලිව ම දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළුතර ප්‍රජාවන්ට දැඩි සංඥාවකි. අනෙක් පැත්තෙන්, පසුගිය සමයේ කඩාකප්පල්කාරී මහා වැඩවර්ජන රැල්ලක් දියත් කළ වෘත්තීය සමිති ව්‍යාපාරයට ද, සතිපතා වීදි සටන් නිර්මාණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ද එමගින් දැඩි සංඥාවක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් කැපීපෙනෙන අනෙකුත් ලක්ෂණය වන්නේ මහ මැතිවරණය පැවැත්වීම දක්වා හෝ දැනට තිබෙන වාර්ගික ආතතිමය තත්වය පවත්වාගෙන යන්නට තිබෙන නැඹුරුවයි. එය සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයටත් වඩා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ උවමනාව මත විය හැකි ය. දෙමළ-මුස්ලිම් ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අන්දමින් ම, මහ මැතිවරණය ද සිංහල-බෞද්ධ පදනමින් ජයගැනීමේ උවමනාවක් ඔවුන්ගේ බලවේගය වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබේ. සමානුපාතික නියෝජනය තුළ වැඩි බලයක් ලබාගැනීම සඳහා ආසන බෙදී යාම තමන් වෙත වාසිදායක වන අන්දමින් සිදුකරගැනීමට ඔවුන්ට අවශ්‍ය ය. ඒ සඳහා තවදුරටත් ජාතිවාදය හා ආගම්වාදය ම භාවිතා කිරීමට ඔවුන් පෙළඹිය හැකි ය. අනෙක් පැත්තෙන්, ඔවුන් බලයට ගෙන ඒමට ක්‍රියා කළ බලවේගයේ උවමනාවන් විසින් ඔවුන් තල්ලු කරගෙන යාම ද සිදු වනු ඇත. විශේෂයෙන් ම, භික්ෂූන් විසින් නිහඬ කාලයේදී පවා පන්සල්වල මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන මට්ටම දක්වා ම ආන්තික බලවේගවල මැදිහත්වීම මෙම ජනාධිපතිවරණයට සිදු විය. අන්තවාදය සමග වෙළෙන තරම් පහසුවෙන් එයින් ගැලවිය නොහැකි ය. හොඳම උදාහරණය හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට වූ දේ ය. ජාතිවාදය බලයට වාහනය කරගත් කළු සුද්දකු වූ බණ්ඩාරනායකට අවසානයේදී සිදු වූයේ භික්ෂු කුමන්ත්‍රණයක ගොදුරක් වී අවසන් ගමන් යන්නට ය. බණ්ඩාරනායක යුගය වන විට භික්ෂු සංස්ථාව පිරිහී තිබුණු මට්ටමටත් වඩා අන්ත පිරිහීමක් වර්තමානය වන විට දක්නට ලැබේ. අද වන විට ආගම එදාට වඩා බෙහෙවින් පාරිභෝජනවාදී හා වානිජකරණය වී තිබේ.
පුරවැසි අර්ථයකට වඩා දේශපාලන අර්ථයකින් ඇමරිකානුවකු වූ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය බලය වෙනුවෙන් සිංහල බෞද්ධ අන්තවාදය සමග මුසු වූයේ බණ්ඩාරනායකටත් වඩා සීමාන්තික ලෙස ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ උභතෝකොටිකය නිර්මාණය වන්නේ එතැනිනි. ඔහු සමග සම්බන්ධ තවත් කණ්ඩායමක් විසින් ඉදිරියට ගෙන එන ලද, කුසලතාවාදී, වෘත්තීයවේදී, නවීකාරකවාදී, ආකර්ශනීය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආර්ථික සාමය හා ජාතිවාදය අතර තුලනය කෙසේ නිර්මාණය කරගන්නේ ද යන්න පැහැදිලි නැත. ජාතිවාදය මත යැපීම ඡන්දයෙන් ඡන්දයට දිගුවන්නේ නම්, ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ද, ඉන් පසු පළාත් සභා මැතිවරණ ද, ඊටත් පසු පළාත් පාලන මැතිවරණ ද පැවැත්වෙන නිසා ගැලවීමක් නැත.
ජාතිවාදය කරපින්නාගෙන, දෙමළ-මුස්ලිම් ජාතීන් යටපත් කරගෙන යන ගමනට තිරිංග යෙදෙන ඉතා වැදගත් සාධක කීපයක් තිබේ. ඉන් අතිශය ප්‍රධාන වන්නේ ආර්ථිකයයි. මහින්ද රාජපක්ෂ රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ගන්නා ලද දැවැන්ත ණය රැසක් ඉදිරි වසර කීපය තුළදී ආපසු ගෙවිය යුතුව තිබේ. ණය ගෙවීම සඳහා ණය ගැනීමේ හැකියාව පවත්වාගැනීම රජයේ ප්‍රධාන වගකීමකි. ලංකාවේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යා හැක්කේ පරිස්සමෙන් ගනු ලබන ණය හා අධාර ඔස්සේ ය. එහිදී පසුගියදා මතභේදයට තුඩු දුන් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය, රාජ්‍යයන් අතර මුල්‍ය හුවමාරු ආදිය ඉතා වැදගත් වේ. එසේම, ජීඑස්පී ප්ලස් බදු සහනය වැනි කාරණා ද අතිශය වැදගත් ය. මේවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සමග ඍජුව සම්බන්ධ ය. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවේ වාර්තාව විෂයෙහි ලා රජය සුළුතර ප්‍රජාවන් සමග කටයුතු කරන ආකාරය වැදගත් ය. මහින්ද රාජපක්ෂ රජය කළා සේ ඒ සියල්ල අතහැර චීනය වෙත යොමු වේ නම්, ඉන්දියාව හා බටහිර රටවල් නැවතත් පැරණි ප්‍රතිචාරය ම දක්වන්නට ඉඩ තිබේ. මේ සියල්ල ම අතරතුර ශ්‍රී ලංකාවේ ජනාධිපති වී සිටින්නේ ඇමරිකානුවකු වීම ද නවතම තත්වයකි. ගෝඨාභය ඇමරිකානුවකු ය යන යෙදුමෙන් ඔහු තවදුරටත් එරට පුරවැසියකු ය යන අදහස ප්‍රකාශ වන්නේ නැත. එහි ඇත්තේ ඔහුගේ දැක්ම, සංස්කෘතිය, දේශපාලනය හා බලය ගොඩනගාගැනීම සම්බන්ධ සංඥාර්ථයන් ය. 

2019-11-24

පළමු ප්‍රහාරය ස්වාධීන කොමිෂන්වලට ද?

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 24 දින ලංකා පුවත්පතට ලියූ ලිපිය

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවලට පැවසී ය.
Translations by Creative Content Consultants
19වන සංශෝධනයෙන් ව්‍යාකූල තත්වයක් ඇති කර තිබෙන බව ද ඔහු පැවසී ය. පසුගිය වසර පහක පමණ කාලය තුළ රට තුළ පැවති අස්ථාවර තත්වයට හේතුව 19වන සංශෝධනය යයි කෙනෙකුට බැලූ බැල්මට පෙනුණ ද, ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත් වූ මීට පෙර අවස්ථාවලදී ද මෙවැනි ම අස්ථාවර තත්වයක් ඇති විය. 2001 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන විට ජනාධිපති ධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. ඇය විසින් 2003 නොවැම්බර් මාසයේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යාංශ තුනක් පවරාගනිමින් නිර්මාණය කරන ලද තත්වය අවසන් වූයේ 2004දී හදිසි මහ මැතිවරණයක් පවත්වා එකී ආණ්ඩුව පරාජය කිරීමෙනි. එවකට ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුව අභිබවා ගිය අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති අද මෙන් වසර හතරහමාරක් බලා සිටිය යුතු වූයේ නැත.
මේ පිළිබඳව ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න විසින් මෙසේ පැහැදිලි කර තිබේ. “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබිණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70වන වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලුත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.” (උපුටාගැනීම: කලම්බු ටෙලිග්‍රාෆ්)
19වන සංශෝධනය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහු රටේ ජනාධිපති බවට පත් කිරීමට අදහස් කරන්නේ යයි කියන ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන දෙදෙනාට ඍජුව බලපාන ගැටලුවක් ඇති කරන ලද බව ඇත්තකි. පුද්ගලයන් ඉලක්ක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම යහපත් තත්වයක් නොවන මුත්, ශ්‍රී ලංකාවේ එවැනි ආණ්ඩුක්‍රම සංශෝධන සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහින්ද රාජපක්ෂ තමන් වෙනුවෙන් තුන්වන වරටත් ජනාධිපති පදවියට පත් විය හැකි තත්වයක් නිර්මාණය කරගත්තේ ය. ඔහු 2015 ජනාධිපතිවරණයට තරග කළේ ඒ අනුව ය. එහෙත්, ඔහු පරාජය විය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙවරක් පත් වූ ජනාධිපතිවරයකුට නැවත ජනාධිපතිවරණයට තරග කළ නොහැකි ය. එසේම, ජනාධිපති ධුර කාලය ද වසර හයක සිට පහ දක්වා අඩු කරන ලදී.
එසේම, ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේ අවම වයස අවුරුදු 35 දක්වා වැඩි කිරීම හේතුවෙන් නාමල් රාජපක්ෂට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි විය.
ඊට අමතරව, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන ලදී. එමගින් අගමැතිවරයා වඩා බලවත් වූ අතර, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා පාර්ලිමේන්තුව අවම වශයෙන් වසර 4 1/2ක් කල් පැවතිය යුතු ය. ජනාධිපතිවරයාට හිතුමතේ අගමැති පත් කළ නොහැකි අතර, අග්‍රාමාත්‍ය ධුරයට පත් විය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් ඇති මන්ත්‍රීවරයාට ය.
මේ කිසිවක් අවුල් සහගත නැත. රූකඩ, බලය නැති අගමැතිවරුන් පත් වන ඉතිහාසය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් විය.
එහෙත්, මේ කිසිවක් වර්තමානයේදී මහින්ද රාජපක්ෂට අභියෝග වන්නේ නැත. එහෙත්, අභියෝගාත්මක දේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබේ. ස්වාධීන කොමිෂන් සභා ඒ අතරින් ප්‍රධාන ය.
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදුකරන ලද වෙනස්කම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවේදී පැහැදිලි කළේ මෙසේ ය:
“19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පූර්ණත්වයට ආසන්න නීති මුක්තියක් තිබුණා. එය ද 19වන ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කළා. ඒ අනුව, මූලික හිමිකම් අධිකරණය බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂා කළ හැකියි. 2018දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද මෙම විධිවිධානය යටතේයි.
“19වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසායි. නිදසුනක් ලෙස, 2013දී එවකට අග්‍ර විනිශ්චයකාර වූ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව, රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණය ද ඉහළ ගියා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා. එම ස්වාධීන කොමිෂන් සභා වන්නේ,
  1. ස්වාධීන අධිකරණ සේවා කොමිෂම
  2. ස්වාධීන පොලිස් කොමිෂම
  3. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂම
  4. මැතිවරණ කොමිෂම
  5. මුල්‍ය කොමිෂම
  6. ජාතික විගණන කොමිෂම
“මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. අග්‍ර විනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද පත්කිරීම් අනුමත කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. වර්තමානයේදී, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නම් විකල්ප නිර්දේශ සමග ඔහු වෙත ආපසු යැවී‍මේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්න් කතානායක, අගමැති, විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගෙනුයි.
“ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දීම මගින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු ශක්තිමත් කරනු ලැබුවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවනු ලැබුවා. එමගින් පාර්ලිමේන්තුවේ සම්මත වන නීති යෙදවෙන ආකාරය විශ්ලේෂණය, තක්සේරුව සහ ඇගයීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඵලදායිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උපකාර කරනවා. සියලු පනත්, යෝජනා සම්මතයන්, ගිවිසුම් සහ වාර්තා පාර්ලිමේන්තුව විසින් සලකාබැලීමට පෙර අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.” (උපුටාගැනීම: ප්‍රජා වෙබ් අඩවිය)
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභ්‍යන්තර මූලධර්ම අතරින් එකක් වන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මූලික හිමිකමක් බවට පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ 2001 වසරේදී සියලු පක්ෂවල එකඟතාවෙන් සම්මත කරගන්නා ලද 17වන සංශෝධනයෙනි. එහි අරමුණ ම වූයේ රජ්‍ය සේවයේ, අධිකරණ සේවයේ සහ පොලිස් සේවයේ ඉහළ නිලවලට පත්කිරීම් කිරීමේදී ජනාධිපතිවරුන් විසින් සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියා වැළැක්වීමයි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා (සභාපති) විපක්ෂ නායකවරයා, ඔවුන් විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සිවිල් සමාජ නියෝජිතයන් පස්දෙනෙක් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ විසින් නම් කරනු ලබන නියෝජිතයෙකු වශයෙන් සාමාජිකයන් 10දෙනෙකුගෙනි. එහි සාමාජිකයන් හත්දෙනෙකු ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සිවිල් සමාජ නායකයෝ වූ හ.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කණ කොකා හැඬුවේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සභික ධුර වෙනුවෙන් පත්කිරීම් සිදු නොකළ ජනාධිපතිවරයා එය අක්‍රිය තත්වයට පත් කළේ ය. ඉන් අනතුරුව 2010දී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා ඒ වෙනුවට පාර්ලිමේන්තුව සභාව නමින් හැඳින්වුණු නව ආයතනයක් පිහිටුවන ලදී. එය සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් දෙදෙනෙකු වශයෙන් පස්දෙනෙකුගෙනි. ස්වාධීන සිවිල් සමාජ නියෝජනය සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලදී. ගෙදර යන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීමක් ද රැගෙන යා හැකි තත්වයක් නැවත ස්ථාපිත වූයේ ඒ සමග ය.
බොහෝ විට ලංකාව ආපසු එතැනට රැගෙන යාමට වත්මන් පාලකයන්ට වුවමනාව තිබිය හැකි ය.

ජනාධිපති ගෝඨාභය දිළිඳුකම නැති කරන්නට රජයේ රස්සා දීම

අජිත් පැරකුම් ජයසිංහ

රජයේ රැකියා ලබාදීම පිළිබඳ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවරක් ම කතා කර තිබේ. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා පිළිබඳ කතා කරමින් ඔහු එම රැකියා ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පැවසූ අදහස් මෙසේ ගොනු කළ හැකි ය.
Translations
නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා ඇබෑර්තු සියලු දෙනාට ම ලබා දිය යුතුයි. ඒ ඇබෑර්තු බොහෝ වෙලාවට පිරෙව්වේ ඇමතිවරයාගේ ආසනයෙන්. එම රැකියා දිය යුත්තේ දුප්පත්කමේ පහළම සිටින අයටයි. එය දුප්පත්කම නැති කිරීමට ඉවහල් වෙනවා. ඉහළ සුදුසුකම් ඇති අයට මෙම රැකියාව දුන් විට එම රැකියාවන්ට අදාළ කාර්යයන් ඔවුන්ගෙන් ඉටුකරගන්නට බැහැ. එවැනි පුරප්පාඩු ඇමතිවරයා විසින් කෙළින් ම පුරවන්නේ නැතුව, රටේ සෑම ප්‍රදේශයක ම සිටින මන්ත්‍රීවරුන්ට එම පුරප්පාඩුවලට අවස්ථාව ලබාදිය යුතුයි. එවැනි පුරප්පාඩු තිබේ නම් ඒ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දෙන්න.
නිපුණතා අවශ්‍ය නැති රැකියා යන්න වැරදි යෙදුමකි. සනීපාරක්ෂක කම්කරු වෘත්තිය නිවැරදිව කිරීමට පවා කම්කරුවකුට නිපුණතා අවශ්‍ය ය. එසේම, තම රැකියාව පිළිබඳ යහපත් ආකල්ප අවශ්‍ය ය. ඔවුන්ට අවම හෝ පුහුණුවක් ලබා දිය යුතු ය.
දිළිඳුකම නැති කිරීම සඳහා රජයේ රැකියා ලබාදීම වර්තමානයට කෙතරම් ගැලපෙන ක්‍රියාවක් ද යන්න පැහැදිලි නැත. එසේම, මෙය අලුත් අදහසක් හෝ වැඩපිළිවෙලක් ද නොවේ. ජනසවිලාභී පවුල්වල සාමාන්‍ය පෙළ සමතුන්ට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් අභ්‍යාසලාභී ගුරු පත්වීම් පවා ලබා දෙන ලදී.
රජයේ රැකියාවලට දිළිඳු පවුල්වල දේශපාලන අන්තේවාසිකයන් පිරවීම පසුගිය කාලාන්තරය පුරා ම සිදු විය. කම්කරු රැකියාවලට බැඳුණු මෙම පුද්ගලයන් අතරින් වැඩිදෙනෙකු කරන්නට අකැමැති ම දෙය වැඩ කිරීම ය. මෙවැනි පුද්ගලයන්ගෙන් පාසල් හා රෝහල් වැනි ආයතන පිරී තිබේ. ඔවුන් වැඩිදෙනෙකුගේ විනය ද අන්තිම දුර්වල ය. මහජනතාව මෙම ආයතනවලින් සේවා ලබාගන්නට ගිය විට ඔවුන්ගේ ගෙම්බර් බලන්නට සිදුවීම ඉතා සාමාන්‍ය සිදුවීමකි.
මා දැක තිබෙන වැඩකට ම නැති කම්කරු පිරිස ඉන්නේ පාසල්වල ය. බොහෝ ජාතික පාසල්වල මෙවැනි ඊනියා කම්කරුවෝ දුසිම් ගණන් සිටිති. එහෙත්, පාසල්වල පිරිසිදු කිරීම් වැඩි ප්‍රමාණයක් කරන්නට සිදුවන්නේ පාසල් දරුවන්ට ය. ජනාධිපතිවරයා කී පරිද්දෙන් ම ඉහළ අධ්‍යාපන සුදුස්මක් ඇති අය රජයේ සේවයට පිවිසීම සඳහා ඇතැම් විට පාසල් කම්කරු රැකියා තෝරාගන්නා අවස්ථා තිබේ. කලක් මා සේවය කළ පාසලක බාහිර උපාධිධාරිනියක් පාසල් කම්කරු රැකියාවක යෙදුනා ය. එම පාසලේ බොහෝ ගුරුවරුන් උපාධිධාරීන් වූයේ නැත. මෙසේ රජයේ සේවයට පිවිසෙන්නට හේතුව වන්නේ අභ්‍යන්තර විභාග ඔස්සේ ලිපිකරු ශ්‍රේණිවලට උසස්වීම් ලබාගැනීමට හැකි වීමයි. කම්කරු රැකියාවලට පිවිසුණ ද මේ බොහෝ දෙනෙකු කම්කරු වැඩ කරන්නට අකැමැති ය. කම්කරු වැඩ අවසානයේදී කරන්නට සිදුවන්නේ පාසල් සිසුන්ට ය.
පසුගිය සමය පුරා ම උපාධිධාරීන්ට ද මේ අන්දමින් ම රජයේ රැකියා ලබාදෙන ලදී. මේ වන විට ලක්ෂ දෙකක් පමණ පිරිසක් හුදු උපාධිධාරීන් වීම නිසා දෙන ලද රැකියාවල යෙදී සිටිති. ඔවුන් බොහෝ විට කරන්නේ ලිපිකරුවන්ගේ කාර්යයන් ය. එම නිසා, කලින් උසස් පෙළ සමතුන් අතරින් කරන ලද කළමනාකරණ සහකාර සේවයට බඳවාගැනීම් දැන් සිදුවන්නේ නැති තරම් ය. උසස් පෙළ සමතුන් පවා රජයේ කම්කරු රැකියාවලට බැඳෙන්නේ එම නිසා ය.
බොහෝ හැකියාවන් සහිත පුද්ගලයන් රජයේ සේවයට බැඳී ඵලදායී නොවන රැකියා කරති. ඔවුන් රජයේ සේවයට ඇදී එන ප්‍රධාන හේතුව වන්නේ රැකියා සුරක්ෂිතභාවය හා විශ්‍රාම වැටුප ය. එහෙත්, අලුතෙන් රජයේ සේවයට බැඳෙන පුද්ගලයන්ට විශ්‍රාම වැටුප ද නැත.
තෝරාගත් පුද්ගලයන්ගේ දිළිඳුභාවය නැති කිරීමට නම් මෙවැනි රජයේ රැකියා ඉවහල් වේ. එහෙත්, මෙසේ රැකියා දීම නිසා රට දිළිඳු වී තිබේ. රජයේ සේවයේ කාර්යක්ෂමතාව වැඩි නොකර රටේ දිළිඳුකම නැතිකරන්නට බැරි ය.
දිළිඳුකම නැති කරන්නට ය කියා මේ රටේ විවිධ ආණ්ඩු විසින්, ජනසවි, සමෘද්ධි, ජනපද ඉඩම්, උදාගම් ගෙවල් ආදී බොහෝ සහනාධාර දී තිබේ. ඒවායින් දිළිඳුකම නැති නොවන බවත්, හිඟනකම ම ප්‍රවර්ධනය වන බවත් නැවත, නැවත ඔප්පු වී තිබේ. දිළිඳුකම නැති කරන්නට අලසයින්ට මහජන මුදල් බෙදා දෙනවා වෙනුවට මහන්සි වී ඇත්තට ම වැඩ කරන මිනිසුන්ට රජය උදව් කළ යුතු ය. විදේශ රැකියා කර ආපසු එන කාන්තාවන්ට, පිරිමින්ට ස්වයං රැකියා, සුළු කර්මාන්ත ආදිය ආරම්භ කිරීමට අත දිය යුතු ය. රජයේ රැකියා ඉල්ලමින් දේශපාලකයන් පසුපස යනවා වෙනුවට වැඩ කරන්නට මිනිසුන් දිරිගැන්විය යුතු ය.
මෙම රැකියා දෙන්නට යන්නේ ද දේශපාලකයන් හරහා ඉතා වැරදි ක්‍රමයකට ය. අඩු තරමේ මෙම පුරප්පාඩු පිරවීම සඳහා විවෘත අයදුම්පත් කැඳවීමක් හෝ නොකෙරේ නම් මෙහි කිසිදු අලුත්බවක් නැත.
රජයේ රැකියා ලබාගැනීම සඳහා දැන් සිට ම පොහොට්ටුවට ඡන්දය දුන් අය දේශපාලකයන්ගේ ගෙවල්වල පිරෙන්නට පටන්ගෙන ඇතුවාට සැකයක් නැත. හැත්තෑලක්ෂයට ම රජයේ රැකියා දෙන්නට තරම් රජය නිර්ලෝභී නොවේවා යයි ප්‍රාර්ථනා කරමු.

ජනාධිපති ගෝඨාභය මැදමුලන නඩුවෙන් නිදහස් කිරීම ඉතා නිවැරදි ක්‍රියාවක් වන්නේ මෙහෙමයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කටුගෙය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගන්නා ලදී.
Translations
නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා වලින් නිදහස් කළ යුතු බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කර ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදාහරින ලදී.
මෙය නිවැරදි පියවරකි. හේතුව, ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩුවක් විභාග කිරීම හා එයින් ජනාධිපතිවරයා වැරදිකරු වීම බරපතල අර්බුදයකට හේතු විය හැකි බැවිනි. ජනාධිපතිවරයා පත් වන්නේ රටේ සමස්ත ජනතාවගේ ම ඡන්දයෙන් බැවින් ඔහු මේ අන්දමින් නීතියට ඉහළින් සිටීමෙහි යුක්තියුක්තභාවයක් තිබේ.
මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: “යම් තැනැත්තකු ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය:
එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:
එහෙත්, මෙම වගන්තිය මතභේදාත්මක ය. එහි දැක්වෙන්නේ යම් තැනැත්තකු ජනාධිපති ධුරය දරන අවස්ථාවකදී කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතු බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ ඔහු ජනාධිපති වීමට බොහෝ කලකට ඉහතදී කරන ලද වරදක් සම්බන්ධයෙනි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය තුළ, දැන් මෙම නඩුව පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඉතා පැහැදිලි ය. එම නිසා ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සිදු වේ. නීතිපති දෙපාර්තමේන්තුව එසේ නොකරන්නේ නම් නඩුව අවසානයේදී දඬුවම් ලැබුණ ද, ජනාධිපතිවරයාට ම තමාට සමාව ලබා දිය හැකි ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව,
ශ‍්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;
(ආ) නියම කරන ලද යම් දඬුවමක් ක‍්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට;
(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට; හෝ
(ඈ) නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප‍්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කළ වරද හේතුකොට ගෙන ඔහුගෙන් ජනරජයට අය විය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින් ම නිෂ්ප‍්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතුකොටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ නම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට,
ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය:
ජනාධිපතිවරයකු තමන් සම්බන්ධයෙන් ම මෙම පියවර ගැනීම වළක්වන කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.
Translations by Creative Content Consultants
මෙවැනි ගැටලුවක් ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් මතු වූ ලාංකීය ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වෙමින් සිටියදී ඔහුට ද මෙවැනි ගැටලුවකට මුහුණ දෙන්නට සිදු විය. 2004 සුනාමි සිදු වන විට අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් හෙල්පිං හම්බන්තොට නම් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එවකට ඇමතිවරයකු වූ කබීර් හෂීම් විසින් කරන ලද පැමිණිල්ලක් මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.  මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. නඩුවේ වගඋත්තරකරුවන් වූ පොලිස්පති චන්ද්‍රා ප්‍ර‍නාන්දු, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක හා කබීර් හෂීම් රු. ලක්ෂය බැගින් වන්දි ද පැමිණිලිකරු වන මහින්ද රාජපක්ෂට ගෙව්වේ ය. රජය රු. ලක්ෂ දෙකක් ඔහුට ගෙව්වේ ය. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. සරත් නන්ද සිල්වා පසු කලෙක ප්‍ර‍සිද්ධ රැස්වීමකදී මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කළේ මෙම නඩුවෙන් තම නම මුදාගෙන ය. එවැනි නඩුවක් තිබියදී ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි ය යනුවෙන් මතයක් එකල තිබිණි.
ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව දිගින් දිගට ම කල් යමින් තිබිණි. නඩුව ඉක්මණින් විභාග කර අවසන් කරගැනීම සඳහා විත්ති පාර්ශ්වයෙන් ද සහයෝගයක් ලැබුණු බවක් නොපෙනිණි.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබුණු නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කළ අතර එම අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. එම තීරණය වැරදි බව සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. අභියාචනාධිකරණය ද එය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් අනතුරුව, එම තීන්දුවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කර තිබිණි. මෙම නඩුව 2019 ජනවාරි 20 දින විභාගයට ගැනීමට දින නියම කර තිබිණි. කෙසේ වෙතත්, අවසානයේදී විත්තිකරු ජනාධිපති විය. නඩුව ඉවත් කරගැනීම සිදු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් මගිනි.
මෙය අපූර්ව තත්වයකි. එම තත්වය තුළ ජනාධිපතිවරයා නඩුවෙන් නිදහස් කිරීම නිවැරදි ය.

2019-11-18

අයං මහජනතාවට බනින කාලෝ

මේ ඡන්දෙ පැරදුණු අය මහජනතාවට බනින කාලයයි. සමහරුන් මාධ්‍ය ඉදිරියට ඒමට පවා බියක් දක්වති.
ඡන්දෙ ඉවර වුණ හැටියේ පිටි මිළ රු. අටකින් ද, පාන් මිළ රු. පහකින් ද වැඩි විය. ඒ ගැන කතාකරන්නට තවම කවුරුවත් ඉදිරිපත් වුණේ නැත. ඡන්ද කාලේ නම් පාන් බෙදන්නට නම් කට්ටිය සිටි බව දැන් අමතක වී යමින් පවතී.
දැන් කවුරු කවුරුත් කරන්නේ මේ කාටුනයේ ඇති දේ ය.

චිරන් ජයතු ගෝඨාභය; අලුත් ප්‍රශස්ති නිකුත් වේ

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා නිර්මාණය කිරීම ආරම්භ වී තිබේ.
ප්‍රශස්ති යනු අතීතයේදී රජුන්ගේ ගුණ වර්ණනා කරමින් ගායනා කරන ලද ගීත විශේෂයකි. ඒවා ගායනා කරනු ලැබුවේ වන්දිභට්ටයන් නම් වූ සේවකයන් පිරිසකි. ඔවුන්ගේ ප්‍රශස්ති අසා රජු සතුටු වූ අතර ඔවුන්ට තෑගි බෝග, වැටුප් ආදිය පිරිනැමුවේ ය. ඇතැම්විට, වෙනත් ප්‍රභූන් වෙනුවෙන් ද ප්‍රශස්ති ගායනා කරන ලදී. පහත දැක්වෙන්නේ පැරණි ප්‍රශස්තියකට උදාහරණයකි.
චන්දනම් යස තේජ කුංකුම ඇන්ද දිග ගණන් උරතල
බින්ද සතුරු අඳුරු පැහැර බන්දු කමල සේ
නන්ද විජය ශ්‍රි වික්‍රම රාජසිංහ නම් අප හිමි
ඉන්ද සිරින් නිති රැක දෙන් කන්ද සුරිඳුනේ

රාම චන්ද්‍ර විය රිවිකුල නාම ගගන තල බබලන
රාජ මෙතුම් සිංහල කිවි බෝජ රාජනේ
තේජ විකුම් යුතු වික්‍රම රාජසිංහ සිරිනම් දැරූ
රාජ රත්නමය අප හිමි රාජ රාජනේ

නූතන ප්‍රශස්තිවලින් වඩා ප්‍රකට වන්නේ සහේලි ගමගේ නම් නවක ගායිකාවක විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ගායනා කරන ලද ‘ආයුබෝ වේවා – මහරජාණනේ’ ගීතයයි. ඇය වෙනුවෙන් නුගේගොඩ පාරක් ද නම් කිරීමට රජය පියවර ගත්තේ ය.
සේනානායක වේරලියද්ද ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගැයූ තවත් කලාකරුවෙකි.
මේ සමග පළ වන්නේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගායනා කරන ලද අලුත් ප්‍රශස්ති ගායනයකි. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ගැයූ ප්‍රශස්තිවල මෙන් මෙහි ඔහු රජකු යයි කියනු මෙහි දක්නට ලැබෙන්නේ නැත.

2005 ජනාධිපතිවරණය නැවත කියවීමක්

අජිත් පැරකුම් ජයසිංහ

ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණ අතරින් දේශපාලනික වශයෙන් වැදගත් ම ජනාධිපතිවරණය වුණේ 2005 නොවැම්බර් 17දා පැවැත්වුණු පස්වෙනි ජනාධිපතිවරණයයි. එයට තරග කළේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තවත් අයයි.
Translations
ඒ වන විට 2004 අප්‍රේල් මස මහ මැතිවරණය පවත්වා අවුරුදු එකහමාරක් පමණ ගත වී තිබිණි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සන්ධානගතව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කරනු ලැබුවේ එම පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 82ක් ද දිනාගෙන තිබිණි. ජවිපෙ විසින් දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිරිපත් කරන ලද සියලු අපේක්ෂකයන් වැඩි ම මනාපයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට ලැබුණු ආසනවලින් එකක් ශ්‍රීලනිපයට පරිත්‍යාග කරන්නට ඔවුහු තීරණය කළ හ. ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ගණන 40ක් නොවී 39ක් වුණේ එබැවිනි.
2003දී ගංගොඩවිල සෝම හිමි රුසියාවේ විශ්වවිද්‍යාලයකින් පිරිනමන ලද සම්මාන ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගොස් සිටියදී, එහි අධික සීතල හා දියවැඩියාව ඇතුළු සංකුලතා නිසා අපවත් විය. මෙය ක්‍රිස්තියානි කුමන්ත්‍රණයකින් අපවත් කිරීමක් බව කියා දැවැන්ත උද්ඝෝෂණයක් නිර්මාණය කළ චම්පික රණවක සිහල උරුම දහං ගැටයක් ගසමින් මෙම මැතිවරණයේදී පක්ෂය සංඝයා වෙත පූජා කළ බව කියමින්, ජාතික හෙළ උරුමය නමින් භික්ෂූන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කරන ලදී. මේ වන විට, අධි සංවේදී බණ දේශනා කිරීමේ දේශපාලන බණ රැල්ලක් රටේ පැතිර තිබුණි. ඒ ඔස්සේ ඉදිරියට ආ ඊනියා විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් හත්නමක් මෙම ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තුවට වැඩම කළ හ.
පාර්ලිමේන්තුවේ කතානායක තේරීමේ ඡන්දයේ පටන් ම අවුල් නිර්මාණය වූ අතර එජාප මන්ත්‍රී විජමු ලොකුබණ්ඩාර කතානායක ඡන්දය ජයග්‍රහණය කළේ මන්ත්‍රී භික්ෂූන් රෝහල්ගත වන තරම් ගෝරියක් මැද ය. මර්වින් සිල්වා විසින් වෘෂණ කෝෂ මිරිකීම නිසා දැඩි සේ ගිලන් වූ කොළොන්නාවේ සුමංගල හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ම අස් වී පන්සලට වැඩම කළ හ.
එසේ වුණ ද, 2005 වන විට ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ තුළ ය. එයට ප්‍රධාන හේතුවක් වූයේ එජනිසට ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයකු නැති වීමයි. සිය ධුර කාලය දීර්ඝ කරගැනීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක දරණ ලද උත්සාහය අසාර්ථක විය. ඇය මහින්ද රාජපක්ෂට කැමැත්තක් නොදැක්වූ අතර ඔහු ඉදිරිපත් කළ ද ඔහු පරාජය වනු ඇතැයි අපේක්ෂා කළා ය.
මේ වන විට සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙමින් තිබිණි. සටන් විරාමය අතරතුරදී ම කොටි සංවිධානය විසින් 2004 ජුලි මාසයේදී ඇමති ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට උත්සාහ කරන ලද අතර, ස්නයිපර් තුවක්කුකරුවකු යොදවා ලක්ෂ්මන් 2005 අගෝස්තු 12දා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කරන ලදී. රජය ද සටන් විරාමය ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨානශීලී වූයේ නැත. 2004 දෙසැම්බරයේ සිදු වූ සුනාමි ආපදාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවධානය වැඩිපුර යොමු වී තිබුණේ පශ්චාත් සුනාමි පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කෙරෙහි ය. සාම ක්‍රියාවලිය කඩාකප්පල් වී රට නැවත යුද්ධයට ඇදී යාම පමා වෙමින් තිබුණු හේතුව එය විය.
Translations by Creative Content Consultants
2005 ජනාධිපතිවරණය එළඹෙන්නේ මෙම වකවානුවේ ය. මේ වන විට සිංහල ජාතිවාදයේ අසු පිට නැග සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. දෙමළ ජාතිවාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයත්, ජවිපෙත් අතර නොනිල අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිණි. දෙපාර්ශ්වයේ ආන්තික ක්‍රියා දෙපාර්ශ්වයට ම බෙහෙවින් ප්‍රයෝජනවත් විය. නිදසුනක් ලෙස, රජය හා ජාත්‍යන්තර බලවේග සුනාමියෙන් පසු ලබාදෙන සංවර්ධන ආධාර කළමනාකරණය කිරීම සඳහා කොටි සංවිධානය ද ඇතුළත් පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය යෝජනා කළ අවස්ථාවේ කොටි සංවිධානය එයට ඇතුළු වීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ යුදමය ක්‍රියාමාර්ග ඔස්සේ තවත් වටයකින් ඉදිරියට යාමට ය. සාම ක්‍රියාවලිය තුළ සිරවීමෙන් තමන්ට සිදුවන්නේ හානියක් බව ඔවුන්ගේ විග්‍රහය විය. මෙම අවස්ථාවේදී ජවිපෙ දඹර අමිල හිමියන් යොදවා කරන ලද මාරාන්තික උපවාසයත් සමග පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය හෙවත් P-TOMs අවසන් විය.
2005 ජනාධිපතිවරණයේදී ද මෙම දෙපාර්ශ්වය ම තත්වය විග්‍රහ කරගත්තේ සමාන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ යනු ඒ වන විට ලෝක වෙළඳ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ජපානය මුල්වෙමින් ලංකාවට යෝජනා කර තිබුණු ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ නමින් හැඳින්වුණ නව ලිබරල් ආර්ථික වැඩසටහනේ නියමුවා විය. බටහිර සහයෝගය ලද ශක්තිමත් ලිබරල් පාලකයකු වූ ඔහුට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ දුර්වල, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් නැති, ජාතිවාදය හා ගැමිකම ප්‍රවර්ධනය කළ, එතරම් නිශ්චිත දේශපාලන දර්ශනයක් නොතිබුණු දුර්වල පාලකයකු විය.
ජවිපෙ හා කොටි සංවිධානය දුර්වලයා තෝරාගත් හ. ජවිපෙ සිතුවේ ලංකාවේ ධනේශ්වර රාජ්‍යය දුර්වල වීම හා බෙදුම්වාදී යුද්ධය මැද ජවිපෙට විප්ලවීය මාවතක් එළිපෙහෙළි කරගත හැකි වනු ඇතැයි කියා ය. කොටි සංවිධානය සිතුවේ දුර්වල පාලකයකු සමග ගැටී පහසුවෙන් ඊලාම් රාජ්‍යය දිනාගන්නට ය.
ජවිපෙ මහින්ද රාජපක්ෂගේ දුර්වල ජනාධිපතිවරණ ව්‍යාපාරය තම කරට ගත්තේ ය. කොටි සංවිධානය සිය බලය පාවිච්චි කරමින් උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කළ අතර ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂගෙන් මුදල් ද ලබාගත්තේ ය. උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම 2% දක්වා අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ වැඩිඡන්ද 180,000කින් පමණ ජයග්‍රහණය කළේ ය. රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂයක පමණ ප්‍රමාණය මැතිවරණ වර්ජනය නොවිණි නම් පහසුවෙන් උතුරෙන් ලබාගත හැකිව තිබිණි.
මෙම මැතිවරණය වන විට මා ඇතුළු කණ්ඩායමක් හිරු කණ්ඩායමෙන් වෙන්ව, කොළඹ දෙමළ කණ්ඩායමක් සමග එක්ව ලංකා ලෙෆ්ට් නම් වෙබ් අඩවියක් පාදක කරගෙන වැඩ කරමින් සිටියෙමු. අපත්, ඒ වන විට එක්ස් කණ්ඩායමෙන් ඉවත්ව සිටි නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු පිරිසේ ඇතැම් අයත් එකතුව නොවැම්බර් ව්‍යාපාරය ගොඩනංවන ලද්දේ ද මෙසමයේ මය. කෙසේ වෙතත්, නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මහින්ද රාජපක්ෂට සහාය පළ කළ හ.
අපි එදා ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩි කැමැත්තක් දැක්වූයෙමු. එහෙත්, ඒ වන විට ලෝක මට්ටමෙන් ම පසුබසිමින් තිබුණු ලෝක වෙළඳ සංවිධානයේ නව ලිබරල් වැඩසටහන වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ තවදුරටත් පෙනී සිටින්නේ ය යන සැකය අපට තිබිණි. එම නිසා අප එම ජනාධිපතිවරණයේදී උදව් කළේ වාමාංශික අපේක්ෂකයන්ට ය. ලංකා ලෙෆ්ට් වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී වාමාංශික අපේක්ෂකයන් තිදෙනාගේ පොදු සංවාදයක් අපි සංවිධානය කළෙමු. එම මැතිවරණයේ වාම අපේක්ෂකයන් වූයේ චමිල් ජයනෙත්ති (නව සමසමාජ පක්ෂය), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය) හා විජේ ඩයස් (සමාජවාදී සමානතා පක්ෂය) යන අයයි. වාමාංශිකයන් මෙම සම්මන්ත්‍රණයේදී පවා කුළල් කාගත් අතර ජනාධිපතිවරණයේදී ඉලක්කම් පහක ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වූයේ සිරිතුංග ජයසූරියට පමණි.
උගුරට හොරා බෙහෙත් කමින් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනු ඇතැයි බලා සිටි අපට උණ ගැනුණේ කොටි සංවිධානයේ ඡන්ද වර්ජනය නිසා ය. එය සිදු නොවනු ඇතැයි වාමාංශිකයෝ අවසන් මොහොතේත් බලාපොරොත්තු වූ හ. එහෙත්, කිසිවකුට එය වැළැක්වීමේ උවමනාවක් හෝ තිබුණේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී පවුලේ පිරිස ළංකර ගත්තේ ය. ඒ වන විට, ගැමුණු නම් සිංහල ජාතිවාදී සංඥාර්ථ සහිත නම පටබැඳගෙන සිටි දෙමළ ජාතිකයකු වූ කුමාර් ගුනරත්නම් ජවිපෙ අභ්‍යන්තරයේ අති ප්‍රබල පුද්ගලයකු විය. ඒ වන විට සිංහල ජාතිවාදය පාවිච්චි කරමින් ඉදිරියට පැමිණ තිබුණු ජවිපෙ තුළ වාම අන්තවාදී ප්‍රවණතාව නියෝජනය කළ කුමාර් ගුනරත්නම්ගේ බලපෑම නිසා සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, විමල් වීරවංශ වැනි අයට පවා ජවිපෙ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට සම්බන්ධ විය යුතු ය යන මතය හකුළාගැනීමට සිදු විය. අවසානයේදී ජවිපෙ කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් තමන් විසින් බලයට පත් කරන ලද මහින්ද රාජපක්ගේ ආණ්ඩුවට සහයෝගය දුන්නේ නැත. මහින්ද ඇමතිකම් භාරගෙන ආණ්ඩුවට සහාය දෙන්නැයි ජවිපෙට පුන පුනා ආයාචනා කළ ද ජවිපෙ එය නොතකා හැරියේ ය. ජවිපෙ වෙනුවට එතැනට ආදේශ වුණේ පාර්ලිමේන්තු ආසන හතක් හිමිව සිටි අන්ත ජාතිවාදී ජාතික හෙළ උරුමයයි. නිශ්චිත මතයක් නොමැතිව, ලිබරල්වාදයත්, ගැමි පසුගාමිත්වයත් අතර දෝලනය වෙමින් සිටි මහින්ද රාජපක්ෂට ජාතිවාදය රස වැටෙන්නට පටන් ගත්තේ ඒ සමග ය. ලාභ හා බාල ජාතිවාදයේ ජනප්‍රියත්වයත්, යුදවාදයත්, ඒ ඔස්සේ ලබාගත් යුද ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ සියලු ජාතිවාදී පසුගාමී අගතීන් රාජ්‍යය තුළට ගෙන ආවේ ය. හතර කේන්දරේ පාළු වීම හා දුප්පත්කම නිසා සසුනට භාර දුන් අනාථයන් පමණක් නොව හොර වෙදුන්, කට්ටඩියන් ආදීන් පවා රටේ රජවන යුගයක් පහළ වූ අතර අධ්‍යාපනය, ජනමාධ්‍ය, ජනමත නායකත්වය ආදී සෑම තලයකින් ම මුග්ධකම ප්‍රවර්ධනය කිරීම කූටප්‍රාප්තියට පැමිණියේ ය. ඊනියා දේශප්‍රේමිත්වයේ සරුව පිත්තල දවටනයෙන් ඕනෑ ම අසූචි ගොඩක් ඔතා අලෙවි කළ හැකි ලංකාවකට අප සම්ප්‍රාප්ත වූයේ එසේ ය.
2015 ජනවාරි 8 මෘදු විප්ලවයට හෝ එකී ජාතිවාදය ආපසු හරවන්නට බැරි විය. මේ සියල්ලට මුල් වූ ජවිපෙන් ජාතිවාදී පලුවක් ද, සමාජවාදී පලුවක් ද ගැලවී ගොස් ජවිපෙ අන්ත අසරණ අඩියකට වැටිණි. 2019 වන විට තවත් නන්නත්තාර ඊනියා බුද්ධිමතුන් කුලකයකට සුදු සළුවලින් සැරසී ජවිපෙ පිට නැගී තව රවුමක් යන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා ය.
2005දී අප සිදු කළ වරද ඉන් පසු අප නම් නැවත කළේ නැත. එක ම වරද නැවත නැවත කරන අය කවදාවත් තමන් කරන ලද වැරදි සම්බන්ධයෙන් වගකියා නැත.
ඉතිහාසයේ ඇතැම් වැරදි වැළැක්විය නොහැකි ය. එහෙත්, අඩු තරමේ ඔබට එයට දායක නොවී සිටිය හැකි ය.
(කවරයේ ඡායාරූපය: මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 18දා අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද සිල්වා ඉදිරියේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් ආකාරය)

අජිත් පැරකුම් ජයසිංහ (නොවැම්බර් 13දි නිකුත් වූ, නොවැම්බර් 17දා අනිද්දා පුවත්පතේ පළ කරන ලද ලිපියකි)

සාර්ථක ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාමාලා දෙක තුනක අවසානයේ ජනාධිපතිවරණය තියුණු තරග වටයකට පිවිසෙමින් ප්‍රචාරණ ව්‍යාපාර අවසන් විය. සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක සාර්ථක ප්‍රචාරණ ක්‍රියාමාලා දියත් කළ අපේක්ෂකයෝ ය. සෙසු අපේක්ෂකයන් අතර ඇතැමෙකු ප්‍රධාන අපේක්ෂකයන්ට අමතර අවස්ථා ලබාගැනීම පිණිස දමන ලද ඉත්තෝ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද ප්‍රචාරණ ක්‍රියාමාලාවේ අරමුණ වන්නට ඇත්තේ තමන් සුළුතර සුවිශේෂ පිරිසක් බව පෙන්වීම විය හැකි ය. ජවිපෙ ද තමන් සුවිශේෂ පිරිසක් බව නිතර නිතර අවධාරණය කළ හ. අනෙක් පක්ෂ දෙකේ ක්‍රියාමාලාවල උද්‍යෝගය එළිපිට ම පෙනෙන්නට තිබිණි. ඒවාට අති විශාල ජනකායන් උනන්දුවෙන්, සතුටින්, විනෝදයෙන් රැස්වන ආකාරය දකින්නට ලැබිණි. විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාසගේ රැළිවල බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා විශාල ජනකායන් දක්නට ලැබිණි.
Translations
සජිත් ප්‍රේමදාස සිය රැස්වීම්වලදී වැඩිපුර ආමන්ත්‍රණය කළේ දිළිඳු, ගැමි ජනයාට ය. ඔහු ව්‍යාපාරිකයන් හමු වූ විට චතුර ඉංග්‍රීසියෙන් දැනුම මත පදනම් වූ කතා පවත්වනු දක්නට ලැබිණි. එහෙත්, ඔහු රැස්වීම්වලදී කතා කළ විලාසය සම්බන්ධයෙන් බුද්ධිමත්, මධ්‍යම පන්තික කොටස් අතර විවේචන තිබිණි. කෙසේ වෙතත්, සජිත්ගේ රැස්වීම්වලට එන්න එන්න ම ජනතා ආකර්ශනය වැඩි විය. සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ කතිකාව මෙම දේශපාලන ක්‍රියාමාලාවේ ඉතාම ප්‍රගතිශීලී හා ඵලදායී ප්‍රතිඵලය ලෙස සැලකිය හැකි ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ ධාවන පථයේ බොහෝ ඉදිරියෙන් සිටිමිනි. එහෙත්, එම ප්‍රචාරණ ක්‍රියාමාලාව ඕනෑවට වඩා දිග්ගැසුණු, අපේක්ෂකයා අධික ලෙස වෙහෙසට පත් කළ, අවසානයට එන විට ඇල් මැරුණු ස්වභාවයක් පෙන්වූ එකකි. මේ ලියන මොහොත දක්වා ම ගෝඨාභය ද්විත්ව පුරවැසියකු ය යන සැකය මතුකරමින් තිබිණි. ඔහු හා ඔහුගේ නීතීඥයන් විසින් ඉදිරිපත් කරන ලද සාධක සම්බන්ධයෙන් ගැටලු තවදුරටත් නොවිසඳී තිබිණි. ඔහුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පිළිගත්තා ද නැද්ද යන්න අපැහැදිලි ය.
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී නිසි පටිපාටිය අනුගමනය නොකිරීම ඔහු විසින් කරන ලද මූලික වරද බව පෙනේ. ඕනෑම අයෙකුට ඉතා සාමාන්‍ය පරිදි කළ හැකිව තිබුණු මෙම කාර්යය නිසි අන්දමින් කරගැනීමට ඔහු අසමත් වී තිබෙන්නේ ඔහුගේ සහෝදරයාගේ බලය ගැන අධි විශ්වාසයක් තැබූ හෙයිනි. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඔහු සාමාන්‍ය පටිපාටිය අනුගමනය කර ඇති බවක් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් පවරන ලද නඩුවෙන් ද ඔප්පු වූයේ නැත. එම නිසි පටිපාටිය අනුව ඉදිරිපත් කළ යුතුව තිබෙන ලේඛන ඇමරිකාවෙන් ලබා නොගැනීම නිසා ඇතැම් විට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේදී එය නියමානුකූලව විකසනය වීමේ ප්‍රමාදයක් ඇති වූවා ද යන සැකය මතු වේ. කෙසේ වෙතත්, මෙය වනාහි අනවශ්‍ය ප්‍රශ්නයක් තමන් විසින් ම නිර්මාණය කරගැනීමකි. මෙම කරුණු නිසි පරිදි සිදුකරගැනීමේ කිසිදු බාධාවක් ඔහුට තිබුණේ නැත. එසේ තිබියදීත් ඒවා හරි හැටි සිදු වී නැතැයි කෙනෙකුට චෝදනා කළ හැකි තත්වයක් ඉතිරි වී තිබීම කණගාටුදායක ය.
කෙසේ වෙතත්, නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් බව ඉතා පැහැදිලි ය. අනුර කුමාර දිසානායක මිලියනයක ඡන්ද ලබාගත්තත් එය ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයකදී වාසිදායක වනු ඇත. එහෙත්, ඔවුන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ඊට අඩු වුවහොත් මහ මැතිවරණයකදී අලුත් උපායමාර්ග කරා යාමට ඔවුන්ට සිදු වනු නියත ය.
ජනාධිපතිවරණය නිමා වූ සැණින්, පරාජිත පක්ෂය තුළ දරුණු අර්බුදයක් ඇති වනු නිසැක ය. කැඩී, බිඳී විසිරීම් සමග ජයග්‍රහණය කළ පක්ෂයට මහ මැතිවරණයේදී විශාල වාසිදායක තත්වයක් නිර්මාණය වේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට කුමන ජනාධිපතිවරයකු වුව උත්සාහ කිරීමට ඉඩ තිබේ. එහෙත්, එමගින් ඔක්තෝබර් 26 අර්බුදය වැනි දිග්ගැසුණු අර්බුදයක් නිර්මාණය වේ යයි සිතිය නොහැකි ය. බොහෝ විට, කල් තබා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවකට පවා අවස්ථාව ලැබෙනු ඇත. මේ රටේ ජනතාව දේශපාලන අස්ථාවරත්වය එපා වී සිටින නිසා ජනාධිපති අයත් පක්ෂයට වැඩි බලයක් ලබාදීමට කටයුතු කරනු ඇත. එහෙත්, ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම බරපතල ගැටලුවක් වනු ඇත. ශක්තිමත් විපක්ෂයක් යන සටන් පාඨය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පුළුල් බලවේගයකට වඩා වාසිදායක වනු ඇත.
ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළත්, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළත්, ඔවුන් හමුවේ ඇත්තේ තියුණු අභියෝගයකි. මූලික ම විලංගුව වන්නේ ණය බරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ ලබාගෙන තිබෙන ණය ගෙවා නිම කිරීමට 2025 දක්‌වා කල් ගතවනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර 2018 ඔක්තෝබර් 26දා සක්‍රීය වගකීම් කළමනාකරණ පනත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවේදී පැවසී ය. 2019 හා 2020 ගෙවිය යුතු ණය ප්‍රමාණය සියයට 77ක්‌ම රාජපක්‍ෂ රජය ගත් ණය බව ද 2019 දී ඩොලර් බිලියන 4285 ක ණයක්‌ ගෙවිය යුතු බව ද ඉන් සියයට 77ක්‌ රාජපක්‍ෂ සමයේ ගත් ණය බව ද 2020 සිට 2024 දක්වා ගෙවිය යුතු ණයවලින් වැඩි ප්‍රතිශතයක්‌ රාජපක්‍ෂ සමයේ ණය බව ද 2025 දී නම් රාජපක්‍ෂ සමයේ ණය සියයට 33 දක්‌වා අඩු වන බව ද ඔහු එදා පැවසී ය. ණය ක්‍රීඩාව යනු පරිස්සමෙන් සෙල්ලම් කළ යුතු එකකි. ණය නොගෙන රට සංවර්ධනය කළ නොහැකි ය. එහෙත්, ණය ගන්නා විට ආපසු ගෙවිය යුතු බව ද සිහි තබාගත යුතු ය. මහින්ද රාජපක්ෂ රජය ඒ වගකීම දැරූ බවක් නොපෙනේ. ඔවුන් විසින් ආයෝජනය කරන ලද ආර්ථික වශයෙන් ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය ගෙවීම ඉදිරි ආණ්ඩුවකට ද හිසරදයකි.
Translations by Creative Content Consultants
එවැනි වාතාවරණයක් තුළ, ජනාධිපති අපේක්ෂකයන් විසින් දෙන බොහෝ පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් ආණ්ඩුවට ලැබෙන්නේ නැත. මූලික පොරොන්දුවක් වන බදු බර අඩු කිරීම කිසි සේත් ම කළ හැක්කක් නොවේ. දැඩි රාජ්‍ය මුල්‍ය විනයකින් තොරව, ජනප්‍රියත්වය උදෙසා ක්‍රියාමාර්ග ගතහොත්, එයින් ආර්ථිකයට ඇති වන පීඩනය තුලනය කිරීම අති දුෂ්කර ය. පවත්නා තරගකාරී වටපිටාව තුළ ආයෝජකයන් ආකර්ශනය කරගන්නට නම් ඔවුන්ට අති විශාල වරප්‍රසාද ලබාදීමට සිදු වේ. වාර්ගික සමගිය ආරක්ෂා කරගැනීම ද ආයෝජකයන්, සංචාරකයන් ආකර්ශනය කරගැනීමේදී ඉතා වැදගත් ය. කුමන පාලකයෙකුට වුව ද අනිවාර්යයෙන් ජාතිවාදී අන්තවාදයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇත. එසේම, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි හිසරදයක් වී තිබෙන වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගැනීමට හා රාජ්‍ය විනය ඇතිකිරීමට සිදු වනු නිසැක ය.
කුමන නායකයා බලයට පත්වුණත්, ඉදිරි වසර පහක කාලය තුළ ජනතාව අතර සුවිශාල ජනප්‍රියත්වයක් දිනාගැනීමේ හැකියාව ආණ්ඩුවට නැත. දේශපාලක විනය ඔස්සේ මහජන විනයක් ගොඩනගා ගැනීමට ජනාධිපතිවරුන් උත්සාහ කළ යුතු ය. අර්බුදකාරී සමය පියමං කරගැනීමට මහජන සහයෝගය බලමුළුගන්වා ගත යුතු ය.
එහෙත්, රාජපක්ෂවරුන් බලයට පැමිණියහොත් තත්වය බොහෝ වෙනස් වනු වැළැක්විය නොහැකි ය. මූලික වශයෙන් ම, ගෝඨාභය රාජපක්ෂගේ සිට ම රාජපක්ෂ පවුලේ අයට හා හිතවතුන්ට එරෙහිව පවතින නඩු හමුවේ අධිකරණ ස්වාධීනත්වය බරපතල ප්‍රශ්නයක් වනු ඇත. පසුගිය වසර පහ තුළ නීති මගින් යම් දුරකට ශක්තිමත් වූ රාජ්‍ය ආයතන පද්ධතිය ද ඔවුන්ට ප්‍රශ්නයක් වනු ඇත. මතු වන අභියෝගවලට ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ආණ්ඩුවක් ප්‍රතිචාර දක්වන ආකාරය අනුව එහි සත්‍ය දිශානතිය තීරණය වනු ඇත. එය පුරෝකථනය කිරීමට තවමත් කල් වැඩි ය. එහෙත්, එය බොහෝ අන්තයන් කරා ගමන් කිරීමේ විභවය සහිත බලවේගයකි. එහි තිබෙන අභ්‍යන්තර ආන්තික විභවයන් කළමනාකරණය කරගැනීම ම දැඩි අභියෝගයකි.
අනෙක් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන්නෙකු වුව ද, සජිත් ප්‍රේමදාස ද කලින් පැවති ආණ්ඩුවේ නායකත්වයට වඩා හාත්පසින් ම වෙනස් පෞරුෂයක් බවට පත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කුමන තත්වයක් යටතේ වුව, ලංකාව පාලනය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසකට ලක් වන බව නම් නිසැක ය. ඉදිරි පස් වසරක කාලය තුළ, ජාතික ආරක්ෂාවේ නාමයෙන් මහජන විනය ද, සංවර්ධනයේ නාමයෙන් වැඩි වැඩියෙන් ආර්ථික ලිබරල්කරණය ද ඉදිරියට එනු ඇත. ජාතිකවාදයට හා ආගම්වාදයට තවදුරටත් සිදු වන විකෘති අධ්‍යයනය කිරීම රසවත් වනු ඇත. පුරවැසියන් ලෙස අපගේ පාර්ශ්වයෙන් අසුබවාදී නොවන දැක්මක් හා සක්‍රිය මැදිහත් වීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා බලය බෙදාගැනීම වැනි සටන් පාඨ මෙවර ජනාධිපතිවරණ වේදිකාවේ ශක්තිමත්ව ඇසෙන්නේ නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නන් නොවේ. එහෙයින්, 2025දී ද ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින්, උන්නතිකාමී බලවේග දැන් සිට ම සිය ක්‍රියාමාලා ආරම්භ කිරීම නරක නැත.
(කවරයේ ඡායාරූපය 2004 සුනාමියෙන් පසු උනවටුණ ප්‍රදේශයේදී මවිසින් ගන්නා ලද එකකි. දකුණු වෙරළෙන් ගොඩබැස, කොග්ගල වාඩි ලාගෙන සහන කටයුතුවල යෙදී සිටි ඇමරිකන් හමුදාවට සුබ පතනු පිණිස දකුණේ වැසියකු ඇමරිකානු ධජය එසවූ හැටි එහි දැක්වේ.)