ලංවිම හා ටෙලිකොම් වයර් ඇදිල්ල

ලංකාවේ ඡායාරූපයක් නො වේ. එහෙත්, ලංකාව ද මෙවැනි ය. 
ගොඩක් කාලෙකට කලින් සැඩ සුළඟක් ආවා මතක ද?

අන්න එදාට පසුව අද තමයි ඔන්න අපට නැවත අන්තර්ජාල සබඳකම් ලැබුණේ. එපමණක් නෙමෙයි, දුරකථන, පියෝ ටීවී ආදියත් නැවත ලැබුණේ අද.

සේවා සම්පාදකයා ශ්‍රී ලංකා ටෙලිකොම්.

මට මතක විදියට මේ කියන සැඩ සුළඟ ආවෙ නොවැම්බර් 29. අද දෙසැම්බර් 18. දින 19ක්. මෙයින් දින පහක් ම අපට විදුලියත් තිබුණෙ නැහැ. සමහර ප්‍රදේශවලට සතියකට වැඩි කාලයක් විදුලිය තිබුණෙ නැහැ.

මුළු ප්‍රදේශයට ම දුරකථන සම්බන්ධකම් නො තිබුණු බව සමාගම දන්නවා වුණාට ටෙලිකොම් සමාගම කියන්නේ බිලෙන් කුලිය අඩු කිරීම කරන්නෙ අප දුරකථන දෝෂය දැනුම් දුන් දින සිට පමණයි කියලායි.

පසුගිය වකවානුවේ මෙම බ්ලොගය යාවත්කාලීන වීම දිගින් දිගට ම අතපසු වුණේ මෙම දුෂ්කරතාව නිසායි. අවසන් ලිපි කීපය ම ලියන්නට සිදු වුණේ ජංගම දුරකථනයෙනුයි.

විදුලිය, විදුලි සංදේශනය යන අංශවලින් ලංකාව දැන් මූලික සේවාවන්ගේ සිට ගුණාත්මක සේවාවන් වෙත සංවර්ධනය විය යුතුයි. මේ අංශ දෙකෙන් ම මේ වන විට ලංකාව 100%කට ආසන්න ආවරණයක් සපයා හමාරයි. හැබැයි, සේවාවන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා.

විදුලිබල හා විදුලි සංදේශන සේවා සම්පාදනයේදී නගර හා පාරිසරික අලංකරණය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. කොළඹ නගරයේ පමණක් මෙම කාරණාවලදී අලංකරණය පිළිබඳ කිසියම් අවධානය යොමු කිරීමක් මෑතක සිට දක්නට ලැබුණත්, කොළඹින් බැහැරදී හා ග්‍රාමීය ප්‍රදේශවලදී අලංකරණය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නො කිරීම පමණක් නොවෙයි, පරිසරය අවලස්සන කිරීම ම මෙම සේවා සම්පාදකයන්ගේ ප්‍රතිපත්තිය වී තිබෙනවා.

සුන්දර කඳු මුදුන් මත ඉතා අවලස්සන ලෙස විදුලි සංදේශ කුළුණු ඉදි කිරීම එක් ගැටලුවක්. ඊට අමතරව විදුලි බල මණ්ඩලයත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් වයර් අදින ඇදිල්ල නම් අලංකරණය කිසිම හැඟීමකින් කරන දෙයක් නො වන බව පැහැදිලියි. මේවායින් නගර හා පරිසර අලංකරණයට සිදු වන්නේ සුළුපටු හානියක් නොවෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් නම් තමන්ගේ රැහැන් පද්ධති නඩත්තු කිරීමක් නො කරන තරම්. 

එපමණක් නොවෙයි. මග දෙපස ගස් හා අතු නිසි පරිදි කපා නො දැමීම නිසා වැසි සුළං සමග විදුලි හා දුරකථන කණුවලට හානි වූ බොහෝ විට මෙම ආයතන විසින් බොහෝ විට කරනු ලබන දෙයක් වන්නේ ඒ සුන්බුන් එලෙස ම ඒ තැන්වල ම තිබෙන්නට හැරීමයි. මේ වන විට මාර්ග අද්දර ගොඩගැසී ඇති මෙවැනි කැඩුණු ලයිට් කණු, ටෙලිෆෝන් කණු සංඛ්‍යාව විශාලයි. එමගින් පදිකයන්ට මෙන් ම මාර්ග අද්දර ජීවත් වන වැසියන්ට ද විශාල කරදරයක් සිදු වෙනවා. පොදු දේපල ලෙස සැලකෙන නිසා මේවායින් මිනිසුන්ට ප්‍රයෝජනයක් ගන්නට ද බැරි වුණත්, මේවා කුඩු කර පහත් බිම් පිරවීම හා වෙනත් ඉදිකිරීම් වැනි දේවලට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම, ඒවායේ තිබෙන යකඩ කම්බි ද ප්‍රතිචක්‍රීයකරණය කළ හැකියි.

ගුණාත්මක සේවාවන් සැපයීම අරමුණු කරගෙන ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ව්‍යවසායවලට පෞද්ගලික අංශය සමග පුළුල් හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ කාරණා පිළිබඳ විශේෂඥයන් නො වුණත්, පාරිභෝගිකයන් හා පුරවැසියන් ලෙස අපට මෙහෙම දේවල් හිතෙනවා. වඩා විශ්වාසනීය හා වගකීම් සහගත ලෙස භූගත රැහැන් මගින් විදුලිය සැපයීමේ සේවාවක් වැනි අමතර වටිනාකම් සහිත ව්‍යවසායකට විදුලි බල අංශයේ ඉඩ සැලැස්වීම නරක ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මා වාසය කරන Australian ගමේ නම් දුරකථන, විදුලි බල රැහැන් සියල්ලම තියෙන්නේ බිම්ගතවයි. ගම මැද්දෙන් යන අධි සැර උඩිස් ජව මං රැහැන් පමණයි පෙනෙන්න තියෙන්නේ.

    මා වාසය කරන Australian ගමේ නම් දුරකථන, විදුලි බල රැහැන් සියල්ලම තියෙන්නේ බිම්ගතවයි. ලාම්පු කණු පමණයි, රැහැන් නෑ.
    https://www.facebook.com/photo.php?fbid=10155730536903793&set=pb.683613792.-2207520000.1513552177.&type=3&theater

    ගම මැද්දෙන් යන අධි සැර උඩිස් ජව මං රැහැන් පමණයි පෙනෙන්න තියෙන්නේ.

    ලංකාවේ අලුතෙන් බිහිවන විල්පත්තු ගම්මානවල මේ ක්‍රමය පටන් ගන්න පුළුවනි!
    ;-)

    ReplyDelete
    Replies
    1. ගම මැද්දෙන් යන අධි සැර උඩිස් ජව මං රැහැන් ටිකත් බිම්ගතව දමන්ට තරම් Australian ගම් වල තාක්ෂනය ඉහළ නැද්ද මන්දා?

      Delete
    2. ඩැනිස්ටර් ද සිල්වා මාවතේ බොරැල්ල සිර කඳවුර ඉදිරිපිටට ගියොත් ඔබට 220 kV අධි බලති විදුලි රැහැන් බිම යටින් යොදන ව්‍යාපෘතියක් බලාගන්න පුළුවන්.

      Delete
  2. දෙගොඩ තලාගෙන ගංවතුර එන විදියට භුගත රැහැන් ඇද්දොත් අවුරුද්දෙන් බාගයක්ම ලයිට් සහ ටෙලිපෝන් නැතුව ඉන්න පුළුවන්.

    ReplyDelete
  3. ආය මක්කයෙි , අපේ ගෙදරට ටෙලිකොම් වයර් අදිද්දි කණුවක් දාන්න වුනා එයාල කණුව හයි කරේ වැටට ඉතාම ආසන්නයේ නමුත් පාරට වෙන්න එළියෙන්. ඒ පාර මහ පාරක් නෙමෙයි පුංචි පාරක් ගෙවල් කීපයකට යන. පාරේ වාහන යන්න ඉඩ තියනවා.ඒත් ඒ ගෙදරක කෙනෙක්ගෙ කටේ සද්දෙකට බය වෙච්චි කණුව ඉන්දන්න ආපු කොල්ලා වයර් එක කණුවට මාරු නොකර ගෙදර ලයිට් කණුවෙ ආධාරයෙන් ඇදල දීලා යන්න ගියා.ඔය වයර් එක අදාල කණුවට මාරු කර ගන්න අවුරුද්දකටත් වඩා ගියා.

    ReplyDelete
  4. මුංට ඒව තේරෙන්නෙ නෑ බං. ඕව කියන්නෙපා..
    පැරා, බලපං, මතුගම උසාවිය ගාව කොයි තරම් යට වෙනවද කියල? ගොඩනැගිලි හැදුවට වතුර බැහැල යන්න ඇල කාණු නෑ නෙ බං. සංවර්ධනය වෙන්න ඕන ඔය සේරම.

    කොහොම ද මාග එකේ වැඩ දැං? එතකොට ගහන්න තියෙන්නෙ පැලවත්ත -අගලවත්ත - මතුගම පාර විතරයි නේද?

    මේ පැරා, ඔය හදපු නෙළුව - මතුගම පාරෙ ගිහිං බැලුවම දුකයි. බොහොම තැන්වල කාණු නැහැ. ගස් වැටෙන්න ඔන්න මෙන්න..

    උඹලැයි දිහා ආවොත් රා කලයක් එහෙම බොන්න ඇහැකිද?

    ReplyDelete
  5. භූගත විදුලි රැහැන් ඔවර්හෙඩ් ලයින් වලට වඩා පස් ගුණයක් විතර ගණන්. යම් පිළිවෙලකට රැහැන් ඇදීමත් හොඳින් නඩත්තු කිරීමත් තමයි වඩා ප්‍රායෝගික වෙන්නෙ.

    ReplyDelete
  6. how about day time and night time scam for data?

    ReplyDelete
  7. සියදිවි හානි කර ගැනීමට අපට ඇති අවස්තා අහිමි නොකරනු - වවුලා.

    අපගේ ගමන් මාර්ග අහිමි කිරීමේ අන්තර ජාතික කුමන්ත්රණ හෙළ දකිමු - රිලවා.

    ReplyDelete
  8. ඔයි පැරා ඔය NGO වලින් ලැබෙන සොච්චම එකතු කරලා එකෙන් හයිකරගන්නකෝ සුර්ය කෝෂ විදුලි පද්දතියක් පෙන්වනකො මාත් පොරක් කියලා ගෙවල්වටේ ඉන්න එවුන්ට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා