“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear
(2010 මැයි 30, W3Lanka ) වසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය. උතුරු නැඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ. දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම න...