රනිල් ජයවර්ධන ගැන ආඩම්බර වෙන ගමන් අප ඉන්නේ කොතැනදැයි විමසා බලමු
පසුගියදා අවසන් වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිව්දෙනෙක් තරග කළ හ. ඔවුන් අතරින් කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරන රනිල් ජයවර්ධන ඊසානදිග හැම්ප්ෂයර් ආසනය ජයගෙන ඇත. රනිල් ජයවර්ධන ගැන අපේ ලාංකිකයෝ ගොඩක් ආඩම්බර වන බව මේ දිනවල පුවත්පත්වල පළ වන වාර්තාවලින් පෙනේ. එහෙත්, රනිල්ගේ තාත්තා වන නලින් ජයවර්ධන එංගලන්තයට සංක්‍රමණය වී තිබෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන කලකිරී බව ද එම වාර්තාවල ම සඳහන් විය. තාත්තා ඇමතිවරයකු හෝ එවැනි දේශපාලනඥයකු නො වන, කෝටි ගණනින් මුදල් වියදම් කළ හැකි ධනවතකු නො වන 29 හැවිරිදි තරුණයකුට පාර්ලිමේන්තුවට තබා පළාත් සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත් වන්නට පුළුවන් තත්වයක් ලංකාවේ නම් නැත. දක්ෂයකු නො වන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආවේ හා අනාගත ජනාධිපති වන්නට පෙරුම් පිරුවේ තාත්තා නිසා ය. නාමල් රාජපක්ෂට වඩා දක්ෂ බොහෝ තරුණයන්ට ලංකාවේ පක්ෂ දේශපාලනය තුළ ඉඩක් නැත. ලංකාවේ මහජන නියෝජිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් වයස අවුරුදු හැත්තෑව පැන්නූ ජ්‍යේෂ්ඨ පුරවැසියන් වනමුත් තවමත් ඔවුන්ගේ වැඩකටයුතු නම් කණිෂ්ඨ ය. අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකික ස...