ග්රාමසේවක හමු වන්න ගෙවල් ගානේ බඩ ගෑ කාලය ඉවරයි; ඔන්න දැන් එයා කන්තෝරුවේ
(අගෝස්තු 13, 2009 - W3Lanka) ඔබේ ගමේ ග්රාමසේවා නිලධාරිවරයා හමු වීම ඔබට බොහෝ විට දුෂ්කර කාර්යයක් වන්නට පුළුවන්. කාර්යාලයක් තිබුණත් ග්රාමසේවා නිලධාරිවරයා එහිදී දකින්නට ලැබෙන්නේ හාවා හඳ දකින්නා සේ ය. හදිසියකට ඔහු හමු වීමට ඇතැම් විට ගෙවල් ගානේ පමණක් නොව හොර පොට් ගානේත් යන්නට වන බව බොරුවක් නොවේ. මේ ගැන ලැබුණු මහජන පැමිණිලි නිසා රජය දැන් ග්රාමසේවා නිලධාරිවරයා අනිවාර්යයෙන් ම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා, සිකුරාදා දිනවල පෙ.ව. 8.30 සිට 11.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වාත් සිය කාර්යාලයේ රැඳී සිටිය යුතු බවට නීතියක් පණවා තිබේ. මෙම වේලාවලට ග්රාමසේවා නිලධාරීන් කාර්යාලයට නොකැඳවන ලෙස ප්රාදේශීය ලේකම් කාර්යාලවලට ද උපදෙස් දී තිබේ. එසේම, කාර්යාලයේ රැඳී නොසිටින්නේ නම් ඒ බව ප්රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී සේවාදායකයන්ගේ දැනගැනීම පිණිස කාර්යාලයේ දැන්වීමක් ද තැබිය යුතු බවට උපදෙස් දී තිබේ. මෙම නීති ද අනෙක් නීති මෙන් ම ක්රියාත්මක නොවී අක්රිය වීමට ඕනෑතරම් ඉඩ තිබේ. ක්රියාත්මක කරවා ගැනීමේ වගකීමක් මහජනතාවට ද තිබේ.