ජනමතවිචාරණවලින් වෙනම රාජ්‍ය බිහිකිරීම: ක්‍රිමියාවේ සිට ලංකාව දක්වා
කළු මුහුදේ කහ පාටින් දැක්වෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයයි. ලෝක දේශපාලන සිතියම ඉතිහාසය තුළ ස්ථිතිකව තිබුණු දෙයක් නොවෙයි. බලතුලනය විවිධාකාරයෙන් වෙනස් වන විට ලෝක සිතියමත් වෙනස් වී තිබෙනවා. රටවල් තව රටවල් සමග එක් වීම, වෙන් වීම, රාජ්‍යවල දේශ සීමාවන් වෙනස් වී ලොකු පුංචි වීම ආදිය ලෝක ඉතිහාසයේ සාමාන්‍ය තත්වයක්. ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. එහෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර යට බල දේශපාලන අවශ්‍යතා ක්‍රියාත්මකයි. ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි. සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවෙයි. ඒත්, ස්විට්සර්ලන්තය පවා යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දී තිබුණා. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය...