උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා හොඳ ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් යයි සිතමි. එය යුගයක හරස්කඩක් රළු ලෙස සටහන් කරන්නකි. ඒ යුගය වනාහි හැටේ දශකයේ අගභාගයේ සිට වර්තමාන කාලය දක්වා විහිදෙන, රටේ ආර්ථිකය විවෘත වීම හරහා දැවැන්ත සමාජ විපර්යාසයකට ලක් වූ යුගයකි. උපුල් ස්පර්ශ කරන්නේ මේ යුගය තුළ මිනිස් සම්බන්ධකම්වල ඇති වූ පරිණාමයයි. එය ගැමි අශිෂ්ටත්වයේ සිට නාගරික පරමාදර්ශයන් වෙත සිදු වන චලනයකි. දිළිඳුකමේ පතුලේ එරෙමින් සිටි ගැමි පවුලක් සංවර්ධනය ඔස්සේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර අඛන්ඩ අරගලයක් සමග පරිණාමය වන අයුරු ඔහු කදිමට සිත්තම් කරයි. සීමිත සම්පත් ප්‍රමාණයක් මැද අසීමිත කටුක, දිළිඳු දිවියක් ගෙවන මිනිස්සු එක පැත්තකින් නගරයට සිය නිෂ්පාදනය අලෙවි කිරීමෙන් ජීවනෝපාය සරි කර ගනිමින් සංවර්ධනය වන්නට දැවැන්ත අරගලයක යෙදෙති. එහෙත්, අර්තාපල්වලට වැළඳෙන අංගමාරය සේ ඔවුන්ගේ ජීවිත ද නිරතුරුව ම අනපේක්ෂිත විනාශයන්ගෙන් පීඩාවට පත් වේ. අසංස්කෘතික ජීවිතය හා එහි අංග වන කසිප්පු, පවුල් ආරාවුල්, ව්‍යභිචාරය හා ප්‍රචණ්ඩත්වය මැද විමුක්තිය නිර්මානය වන්නේ අධ්‍යාපනය හා ගමින් පළා යාම තුළ ය. ගමින් පළා යන බඩපිස්සා වැනි මිනිස...