කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ
කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාරයෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ. රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි. අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති...