ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් පාලකයන් වෙත


  Health Politics Uncategorized

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-10-16

දෙවෙනි කොරෝනා රැල්ල අප්පා නැති දරුවෙකි. හදාවඩා ගන්නට හෝ කෙනෙකු නැත. කොරෝනා ලංකාවෙන් තුරන් කිරීමට හෙවත් සීරෝ කිරීමට සිටි හීරෝලා ආගිය අතක් නැත. බොහෝ දෙනෙක් ජනතාවට බනිති. ජනතාවට මුඛ ආවරණය අමතක වූ බව, එය මුඛයේ වෙනුවට බෙල්ලේ එල්ලෙමින් තිබුණු බව, මීටරේ පරතරේ නොතිබුණු බව, දෑත් නොසේදූ බව කියන්නේ හරියට මේ රටේ ජනතාව කොරෝනා වයිරසය නිෂ්පාදනය කළා සේ සලකාගෙනය.

මේ රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පවා පසුගිය කාලයේ තම පෞද්ගලික සෞඛ්‍යය ගැන පවා නොතකා මුඛ ආවරණ, මීටරේ පරතරය, ස්පර්ශය තඹයකට නොතකමින් දේශපාලන මාධ්‍ය සංදර්ශන තබනු අපට දක්නට ලැබිණි. කොරෝනා දෙවෙනි රැල්ල සමග ඔවුන් මාධ්‍යවලින් අතුරුදහන් වී ගොසිනි. අජිත් රෝහණ දමා ජනතාවට බනින එක ලේසි ය. ජනතාවට ආදර්ශ දුන් අය සොයන එක ඊට වඩා අමාරුය.

දෙවෙනි රැල්ලෙහි කොවිඩ්-19 ආසාදනය පළමු වරට හඳුනාගත් රෝගියාට අපහාස කිරීමට රජයේ ස්වාධීන රූපවාහිනී සේවය පවා කටයුතු කළේය. ඒ පිළිබඳ රජය මේ මොහොත වනතෙක් කණගාටුව හෝ පළ කර නැත. ජනාධිපතිවරයාගේ නම වැරදියට පළ කළ මිහිර පත්තරේට මාධ්‍යකරුවන්ට එරෙහිව කටයුතු කළ ඉක්මන මෙහිදී දක්නට නොතිබිණි.

කොරෝනා රැල්ල මතු වූ ඇඟලුම් කම්හල පොහොට්ටුවට ආධාර කළ මුස්ලිම් ජාතිකයකුට අයත් එකක් වීම ඇත්තටම වාසනාවකි. නැතිනම්, මේ වන විට ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගේ චර්යාව බොහෝ වෙනස් වන්නට ඉඩ තිබිණි. කොරෝනා මුල් අවධියේ එය පැහැදිලිව දක්නට ලැබිණි. මේ අතර, ආණ්ඩුව කොවිඩ්-19 මෙහෙයුම්වලටත් වඩා මහා මෙහෙයුමක් රිෂාඩ් බදිඋදීන් අල්ලන්නට යොදවා තිබේ. රිෂාඩ් බදිඋදීන්ට චෝදනා එල්ල කර තිබෙන්නේ ජනාධිපති මැතිවරණ පනත උල්ලංඝනය කරමින් මහජන මුදලින් බස් දමා ඡන්දය දීම පිණිස පුත්තලමේ අවතැන් වී සිටින ජනතාව මන්නාරම වෙත ප්‍රවාහනය කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ තම මව්පිය සොහොන හැදීමට මහජන මුදල් යෙදවූ බවට ඇති චෝදනාවත්, මෙම චෝදනාවත් නීති හරයාත්මකව සමානය. දෙදෙනා ම පසුව වරද නිවැරදි ද කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ අවුරුදු ගණනකට පසුවයි. රිෂාඩ් බදිඋදීන් දින හයෙනි. මේ වෙලාවේ මේ නඩුව ගෙන එන්නේ

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය.

කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ යළි මතුවීමේ අවදානම ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුමාන කළ හැකි තත්වයක තිබිණි. තිරසර ලෙස කොවිඩ්-19 පාලනය කිරීමේ අභියෝගය පිළිබඳ ඕනෑතරම් ජාත්‍යන්තර අත්දැකීම් තිබියදී නායකයන් රජය මෙහෙයවිය යුතුව තිබුණේ කොවිඩ්-19 පාලනය කිරීමේ නීති හා ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කිරීමටයි. එහෙත්, සිදු වූයේ නොවේ. ආයතන ඉදිරිපිට තාවකාලිකව ෆ්ලෙක්සිබල් හෝස් දමා සැකසූ දෑත් සේදීමේ පහසුකම් ස්ථිරව සැකසෙනවා වෙනුවට ඒවායේ සබන් පමණක් නොව වතුර පවා අතුරුදහන් විය. අවසානයේදී කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට පවා අවසර ලැබිණි. ලෝකය කොවිඩ්-19 සමග තව වසර කීපයක් ජීවත් වීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකාව හැසිරුණේ කොවිඩ්-19 මුළුමනින් ම තුරන් කළ උතුරුකුරු දිවයිනක් පරිද්දෙනි.

පළමු කොරෝනා රැල්ල රජය විසින් දේශපාලන වාසි සඳහා භාවිතා කරන ලදී. සාධාරණ හේතු නොමැතිව රට පුරා ඇඳිරි නීති දමමින්, මහජන මුදලින් රු. 5,000 පියලි පුදමින් ආර්ථිකය මුළුමනින් ම කඩාකප්පල් කර දමන්නට රජය කටයුතු කළේය. දෙවෙනි කොරෝනා රැල්ල ඊට වඩා දැවැන්ත අභියෝගයක් වී තිබියදීත් ආණ්ඩුව පැත්තෙන් අනුගමනය කරමින් සිටින්නේ ‘වෙන දෙයක් වෙච්චාවේ – අපි පරිස්සම් වෙමු’ ප්‍රතිපත්තියකි.

මෙම සටහන තබන මොහොත වන විට පොදු ප්‍රවාහනය හරහා කොවිඩ්-19 පැතිරීම පිළිබඳ උදාහරණයක් මතුගමින් ලැබී තිබේ. එම බස් රථයේ ගමන් කළ මගියකු වන ජාතික රෝහලේ හෙදියක ද කොවිඩ්-19 ආසාදිත වී තිබේ. ඇය ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව බසයේ රියදුරා හා කොන්දොස්තරවරයා පීසීආර් පරීක්ෂණ කරගත් අතර ඔවුන් ද කොවිඩ්-19 රෝගීන් බව හඳුනාගන්නා ලදී. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කරගැනීමට හා පොදු ප්‍රවාහනය සුරක්ෂිත කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ හා රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බස් සේවාවලට බැන වදිමින් විිවධ තර්ජන නිකුත් කරනු දක්නට ලැබිණි.

ජනතාවට බනින එක ඉතා පහසු වැඩකි. එහෙත් ජනතාවට බනින වගකිවයුත්තන් මතක තබාගත යුතු කරුණ වන්නේ තමන් ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් තමන් වෙත දිගු වී තිබෙන බවයි.

දැන්වත් වගකීම භාරගෙන හරියට කටයුතු කරන්නට ආණ්ඩුව උත්සාහ කළ යුතුය.

Adapted from praja.lk

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)