2019-11-14

ඔන්ලයින් ජොබ් හා දියවැඩියාව

අජිත් පැරකුම් ජයසිංහ

අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක් තිස්සේ අපට වැස්ස. කලාතුරකින් තමයි හවසක නොවැහැ තිබුණේ. ජීවිතයට හැන්දෑව හරි වටිනවා. හැන්දෑව නැති ජීවිතේ විෂාධජනකයි.
Translations by Creative Content Consultants
රැකියාවෙදි මට බොහෝ වේලාවක් පරිගණකය ඉදිරිපිට වාඩිවෙලා ඉන්නට වෙනවා. මං අන්තර්ජාලය පාදක කරගෙන රැකියා කරන්නට පටන් අරගත්තෙ 2005දි. මුලින් ම අන්තර්ජාලගත වුණේ CDMA දුරකථනයකින්. 2005දිත් ඒකට රු. 4000ක විතර බිලක් ගෙව්වා. මං ඉන්නෙ ගමකනේ. 2007දි විතර තමයි ADSL ගත්තෙ. තර්ජන නිසා විදේශගත වීම නිසා ගුරු වෘත්තියත් නැති වෙලා හිටපු ඒ කාලෙ දුවත් බලාගෙන හවුස් හස්බන්ඩ් කෙනෙකු විදියට සිටිමින් මං අන්තර්ජාලෙන් රැකියාවල යෙදුණා. ඒක ඒ දවස්වලත් මං එච්චර ආසා කළ දෙයක් නෙමෙයි. ඒ නිසා ආපසු ගුරු වෘත්තියට ගියා. එතනින් අයින් වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානෙත් වැඩ කළා.
මං පූර්ණකාලීන රැකියාවලින් අයින් වුණේ මට ලියන්නට තියෙන කතා ටික ලියන්නට වෙලාව හොයාගන්නයි. පූර්ණකාලීනව අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන්න පටන් අරන් මේ ගතවෙන්නෙ තුන්වන මාසය. වෙනදා බස්සෙකේ, කෝච්චියේ හා ඒවායින් බැහැලා පයින් ඇවිදලා ලබපු ව්‍යායාමයත් ලබන්නට පසුගිය මාස දෙක පුරා ම ඉඩක් ලැබුණෙ නැහැ, කාර්යබහුලකම නිසා. ඇත්තෙන් ම මේ මාස දෙකට තරබාරු වුණ තරම මට ම හොඳට දැනෙනවා. අපි වගේ අයගෙ පිටුපසින් මාරයෙකු වගේ දියවැඩියාව හිටගෙන ඉන්නවා. කොහොමද එයින් වැළකෙන්නෙ?
මා නම් හිතන්නේ මා මෙන් වැඩකරන අප වැඩිදෙනෙකු මුහුණ දෙන අභියෝගය වන්නේ අවධානය නිරතුරු වෙනතක යොමු වීමයි. එසේ නොවේ නම් අප කරන කාර්යය ඉක්මණින් අවසන් කර පරිගණකයෙන් ඉවත් විය හැකියි. අපේ අවධානය නිරතුරුව පැහැරගන්නේ වැඩිපුර ම සමාජ මාධ්‍ය විසිනුයි. පරිගණකයේ වැඩ කරමින් සිටින විට එහි හෝ සුහුරු දුරකථනයේ හෝ නාද වන විවිධ දැනුම් දීම් සංඥා විසින් හා තිරයේ මතුවෙන පණිවුඩ හේතුවෙන් අපගේ අවධානය වෙනතක යොමු වෙන එකෙන් අපගේ අත්‍යවශ්‍ය කටයුතු පමා වෙනවා පමණක් නොවෙයි, ප්‍රමාණවත් නින්දක් හා විවේකයක් පවා ලබාගැනීමට බැරි වෙනවා. නව පරම්පරාවේ මිනිසෙක් දිනකට සාමාන්‍යයෙන් 150 වතාවක්වත් සුහුරු දුරකථනය පරික්ෂා කරන බව පර්යේෂකයන් පවසනවා.
මා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ බොහෝ විට සමාජ වෙනස්කම් සිදුකිරීම සඳහා උද්දේශන මෙවලමක් ලෙසයි. එසේම, තොරතුරු ලබාගැනීම සඳහාත් මා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ සමාජ මාධ්‍යයි. ඒත්, එවැනි අරමුණකින් සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයකු පවා අතරමං වන තරමට සමාජ මාධ්‍ය අවකාශය වංකගිරියක්.
මේ ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කළ සමාජ ව්‍යාපාරයක් තමයි Time Well Spent. එය ආරම්භ කළේ ගූගල්හි හිටපු නිෂ්පාදන කළමනාකරුවකු වන ට්‍රිස්ටන් හැරිස්. එවැනි ව්‍යාපාරත් සමග පරිගණක සහ මිනිසා අතර අන්තර්ක්‍රියාව නැවත අර්ථකථනය කිරීම වෙත අවධානය යොමු වී තිබෙනවා.
ඇමරිකානු ලේඛකයකු සහ පුවත්පත් කලාවේදියකු වන සිඩ්නි හැරිස්ගේ ප්‍රකාශයක් මෙසේයි: “ප්‍රශ්නය වන්නේ පරිගණක මිනිසුන් ලෙස සිතීමට පටන් ගැනීම නෙමෙයි. මිනිසුන් පරිගණක ලෙස සිතීමට පටන්ගැනීමයි.”
ඇල්බට් අයින්ස්ටයින් පැවසූ පරිදි විය යුතු දෙය නම් මිනිස් ආත්මය තාක්ෂණය අභිබවා නැගී සිටීමයි.
මේ කාටුනය මා ඇන්දේ ටික කලකට ඉහතදී යි. මා සිතන්නේ එය අදටත් ගැලපෙන බවයි.