2019-05-23

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම යනු කුමක් ද?

අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම එතරම් පුදුම විය යුතු කාරණයක් නොවේ. කුමන චෝදනා යටතේ සිරගත වුව ද එම භික්ෂුව දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය හැකි නිසා ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කිරීම දේශපාලන ක්‍රියාවකි. නිරන්තර දේශපාලන අර්බුදවලට මැදි වී සිටින අස්ථාවර රටවල එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මෙවැනි සිරගත කිරීම් හා නිදහස් කිරීම් ය.
එහෙත්, ඥානසාර හිමි නිදහස් කිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියා අතර සම්බන්ධයක් නැත. ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද මැදිහත්වීමක් නිසා නොවේ. ඔහු එවැනි මැදිහත්වීම් කර තිබේ නම්, ඒවා ද මතභේදයට තුඩු දෙන සිදුවීම් ය. මන්ද, එකී ක්‍රියා හේතුවෙන් තව්හීද් ජමාත් වැනි අන්තවාදීන්ට සිදු වූ දෙයක් නම් නැත. සිදු වී තිබෙන්නේ අලුත්ගම, ධර්ගා නගරය වැනි තැන්වල සිදු වූ විනාශයන් ය.
දේශපාලන සිරකරුවන් මෙසේ නිදහස් කළ අවස්ථා ගණනාවක් තිබේ. ඒ අතරින් සුවිශේෂ ම සිද්ධිය වන්නේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව යටතේ දෙන ලද නඩු තීන්දු අහෝසි කරමින් 1971 කැරැල්ලේ වරදකරුවන් වී සිටි ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු සිරකරුවන් රැසක් නිදහස් කිරීමට 1977දී එවකට අගමැති ජේ.ආර්. ජයවර්ධනගේ රජය ගත් තීරණයයි.
එසේම, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ දෙවසරකට සිරගත කරන ලද එස්.බී. දිසානායකට සහ යුද අධිකරණයක් විසින් සිරගත කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ප්‍රදානය කළේ ය.
ලේඛන කටයුත්තක යෙදීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරකට සිරගත කරන ලද ජේ.එන්. තිස්සයිනායගම් නිදහස් කරනු ලැබුවේ ද ජනාධිපති සමාව යටතේ ය.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඔහු ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කර දස වසරකට සිරගත කරනු ලැබ සිටි එල්ටීටීඊ සාමාජිකයකු වූ 36හැවිරිදි සිවරාජා ජෙනිවන්ට 2016දී සමාව දුන්නේ ය. ඒ වන විටත් ජෙනිවන් නව වසරක් රිමාන්ඩ් බන්ධනාගාරව සිට එක් වසරක් සිර දඬුවම ගෙවා තිබිණි. එය ද දේශපාලන සිරකරුවකුට දුන් සමාවක් ලෙස සැලකිය හැකි ය.
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී.
Sinhala Tamil English Translations and Content Writing
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් ගොනු කර තිබිණි. එම චෝදනා හතර මෙසේ ය:
නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධා වන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම
එම අවස්ථාවේදීම අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බවට සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව සහ නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම, අවමන් කිරීමෙන් වරදක් කිරීම
එහිදී බී 7417/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින් අණකර සිටීමෙන් අධිකරණ කටයුතුවලට බාධාකිරීමෙන් වරදක් කර තිබීම
එම අවස්ථාවේදීම බී 7417/10 නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පාරිභවාත්මක වචනයෙන් ඇමැතීම මඟින් වරදක් කිරීම
ඒ අනුව පළමුවන චෝදනාවට වසර හතරක, දෙවන චෝදනාවට වසර හතරක, තෙවන චෝදනාවට වසර හයක, සිව්වන චෝදනාවට වසර පහක යනාදී ලෙස බරපතල සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් එකවර ගෙවීයන ලෙස ද නියම කෙරිණි.
ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ 2018 අගෝස්තු 8දා ය. ඔහු වසරක් ඉක්ම යාමට මත්තෙන් 2019 මැයි 24දා නිදහස් වීමට නියමිත ය.
දේශපාලනය නිසා කවුරු වුණත් සිරගත වීම වැරදි ය. එහෙත්, ඥානසාර හිමි වැරදිකරු වී සිරගත වන චෝදනා රටේ නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස අභියෝගයට ලක් කළ අවස්ථාවකි. ඔහු එම ක්‍රියාවල යෙදුණේ ආවේගශීලීව නොමග ගොස් වන්නට පුළුවන. එහෙත්, ඔහු ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වන්නේ ද යන්න සැක සහිත ය.
ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ජනාධිපතිවරයා ද හෙළිදරව් වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවකු නිසා මේ සිදු වන කිසිවක් පුදුම විය යුතු කාරණා නොවේ.
ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26දා කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව අගමැති රනිල් වික්‍රමසිංහ සමග ගසාගෙන තිබෙන ඩීල් නිසා ය.
මෙම සිදුවීම් පෙළගැස්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් සම්බන්ධයෙන් දැවැන්ත අභියෝගයක් නිරූපණය කරයි.