පාසල් යාම තහනම් - බොකෝ හරාම්
ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වෙන අතරතුර එයට සහභාගි වූ නයිජීරියානු තරුණ තරුණියන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්ත කණ්ඩායම පැහැගෙන ගොස් සිටින තරුණියන් 275කට වැඩි පිරිසක් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ලෝකයාට බල කිරීම සඳහායි ඔවුන් උද්ඝෝෂණය කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියා. යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් ඔවුන්ට මාධ්‍ය හමුවක් ලබාදෙන බවට පොරොන්දු වී විරෝධතාව සමථයකට පත් කළා. එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණා ද යන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත්, පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන නිවේදනයක් නිකුත් කළා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැරගෙන යාම හෙළා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් වෙත පණිවුඩයක් යැව්වා. ලෝක හෘද සාක්ෂිය කම්පනයට පත්කළ හා විශ්ව පිළිකුලට පාත‍්‍ර වූ මෙම බියගුළු කි‍්‍රයාව තරයේ හෙළාදකින බවත්, ගැහැණු ළමයින් පැහැරගැනීම නින්දිත ත‍්...