ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාසය ද?
(2011 පෙබරවාරි 08, W3Lanka ) මේ මොහොත වන විට ලංකාවේ ගංවතුරින් හා අධික වැසි හා සම්බන්ධ වෙනත් හේතු මත අවතැන් වී තිබෙන ජන සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි. ජීවිත හානි සංඛ්‍යාව අඩු මුත්, මේ වනාහි 2004 වසරේ ඇති වූ සුනාමිය වැනි තත්වයකි. පවුල් 333,986 කට අයත් පුද්ගලයන් 1,249,533 දෙනකු පීඩාවට පත් වී ඇති බව අද දිනමි පුවත්පත සඳහන් කරයි. එහෙත්, සුනාමි අවස්ථාවේ මෙන් දේශීය හෝ විදේශීය ජනයා විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත් වී නැත. ලංකාවේ මහ තැන්වල සිට සුනාමි ආධාර වංචා කළ ආකාරය ලෝකයට ප්‍රසිද්ධ වීම මේ තත්වය ඇති වන්නට එක් හේතුවක් වන්නට ද පුළුවන. ගංවතුරින් හානියට පත් ප්‍රදේශවල මේ වන විට දැඩි ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. අනිවාර්යයෙන් ම මෙවැනි ස්වාභාවික විපත් පසුපසින් වසංගත, මන්ද පෝෂණය හා දරිද්‍රතාව පැමිණෙයි. ලංකාවේ ගංවතුරින් වැඩි ම හානි සිදු වී ඇත්තේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියා, කිලිනොච්චි, මන්නාරම වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්කවලටයි. ගොවිජන සේවා හා වනජීවී ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසන පරිදි කුඹුරු අක්කර ලක්ෂ පහක් වතුරින් යට වී එයින් ලක්ෂ තුනක...