සිලෝන් ටකරං බස්
පාන් ගෙඩි බස් එකක් බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කොටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි . බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම් නොවෙයි, චෙක් පොයින්ට් හය හතක බහිමින්. ඒත්, පුංචි කාලෙ වැඩියෙන් ම ආසා කළ වස්තුවක් වන බස් ගැන මේ සටහන ලියන්න හිතුණේ බස් පිස්සෙකු විසින් කරනු ලබන බස් බ්ලොග් එකක් නිසායි. මට අවුරුදු හතරක් විතර කාලෙ ෆොටෝ එකක් ගන්න ආච්චි එක්ක බස් එකක මතුගම ටවුමට ගිය හැටි තමයි, මට බස් ගැන තිබෙන මුල් ම මතකය. ඒකත් හීනයක් වගේ. ඒ කාලේ අතරමග හිරිකැටිය පාලම කැඩිලා. මෙහා ගොඩින් සෙනග බස්සලා, පාලම උඩින් හෙමින් ගිහින් එහා ගොඩින් ආපහු සෙනග නංවාගෙන තමයි, බස් එක ගියේ. ඊට පස්සෙ එකේ පංතියේ ඉඳන් බස් එකේ ඉස්කෝලෙ ගියා. තුනේ පංතියේ ඉඳලා ගියේ තනියම. යන්න කැමති ම රියදුරු අසුන පිටිපස්සෙ. ඩුයිවර් උන්නැහේ බස් එළවනවා බලන් ඉඳලා ම නිකම් ම බස් එළවිල්ල පුරුදු වුණා. ඒ කාලෙ බස්වල තිබුණු කරකවන රෙදි බෝඩ් අපට මාර මැජික්. ඩ්‍රයිවර් උන්නැහේ බස් බෝඩ් කරකවනකොට අපි බිම ඉඳන්...